Friday, May 24, 2013

දෙලොවක් අතර......


වඩා හොඳ 
ඉරිඟු කරලක් සොයා
පියනගන විට
ඉරිඟු යායක් මැදින්
හමුවුණි එකදිගට
එකක් දෙකක් නොව
දුසිමකට වඩා.....
පෙනුණි නෙක අසමානතා
අතහැරුණි මා'තින්
ඒ හැම..
යළිත්
දිස්වේ අස්වනු
මගේ නෙතු මානයෙන්
නෙළාගත හැක
නොවෙහෙසී...
එනමුත්
හද ගැහේ..
අත වෙව්ලයි..
නෙළාගන්නේ කුමන කරලද?
මෙවරත් 
අත ළඟම
කරල් 2ක්...............



Thursday, May 23, 2013

මලක සුසුම...


තනි තරුව
අඩ සඳ සමග සිටින
දෑස රිදෙයි
නෙතු නොපියා
ඔබ දෙසම බල හිඳ..
පලක් නැති බව 
දැන දැනම
ඔබ දෙසම බලා හිඳින
අකලට පිපුණු
සුවඳ මල මම....
නෙතු රවටන 
පැහැයක් නැති
රෑ අඳුර මැද
සුසුම් පිට සුසුම්ලන..........



ආරාධනා.....!


වන්දනාවක යන්න
ඔබත් එනවාද පේ වී..
නගර ගම් දනව් මැදින්
රළු බොරළු පාරවල් මතින්..
ජීවිතය ජීවත් කරවමින්
හැකිද ඔබට පියනගන්නට
මගේ දෑතම රැගෙන
බැඳී ස්නේහයෙන්..
ආපසු නොහැරෙමින් කිසිදිනක
දිවි තියෙන තුරාවට........



සතුට


රොනට ඇදෙන සමනලුන්
මල වට රඟන බිඟුන්
දුටු කල..,
මලක් නොවූ පවට
දුක් ගත්තද....
පිපී පරවෙන 
මල් යාය දුටු විට..,
ජීවිතය සොයා ඇදෙන 
කිරිල්ලියක වීමේ පින
මදහසින් 
විඳගතිමි.........



සිහින

බෝ සිහින තිබුණි
යෞවනයේ හිඳන්ම
එකින් එක ජයගතිමි
දළුලමින් නව හීන..
කාල නිර්ණය කළෙමි
ඉලක්ක තබමින්ම
කඩඉම් පසුකළෙමි
සිතූ අයුරින්ම..

අවැසි හැමදේම 
ළඟා කරගතිමි..
අවැසි හැමතැනම
කෙසේ හෝ ගියෙමි..

ගන්ට දේ තව ඇත
යන්ට තැන් තව ඇත
කාලයත් ඉතිරිය
පියඹන්න සිව්දෙස.....




රූප රචනා.....


පද පෙළ වී කවක්
තනුව සමගින්
වූ පසු ගීතයක්
රූප රචනා යොදා
නෙක විකාර නටා
වෙහෙසෙන්නේ මන්ද..
සහෘද හිත තුළ
මැවුනු රූපය 
හෑල්ලු කර දමා.....


කඳුළු...




කියනවාද මට
කඳුලක මිල
තනන්නට මාළිගා
නෙතඟ රැඳි
කඳුළු බිඳු
මිලකර.......

දරු සෙනෙහස....


ආදරෙයි මං
දරුවන්ට හැමදාමත්
තුරුළු කරන් සිඹින්නට
විසිතුරු ඇඳුම් අන්දන්නට
සිහිනයක් විය නිරතුරු
දරුවන් වටකරන් සැනසෙන්නට
ඒත්,
"ඔයාට බබෙක්"
දොස්තර කියූ විට
භ්‍රමණය විය ලෝකයම
සිහිවිණි අනාගත සැලසුම්
නැත ඉඩක් බාධා කරන්නට
දරුවෙකුට වත්
මගේ ගමනට
"මට එපා"
කීවෙමි නොපැකිළව
දරු සෙනෙහස ඉවතලා..........

කර්ම


ඔබ
රොකට්ටුවක් මෙන්
අහසට යන විට
හෙමින් 
හෙමින්
පොළොවට පතිත වූ
වායු බැලූනයයි 
මම.....



අහිමි වසන්තය....


වසන්තය ඇවිත්
සරසවිය සිව් දෙසට
මල් පලස් අතුල මාවත්
කුරුළු ගී නදින් පිරුණු පරිසරය
ගයන සොඳුරු අඬහැරය
පසෙකට වී නිහඬව 
අසා සිටින්නට
ඔබට මට හැකිද
සොහොයුර...

පොත්පත් ලැප්ටොප්
තුරුළු කරන් උදෑසනම 
lecture halls වලට දුවන
දහවල් කෑම පැය
නෙක පෝළිම් මතට දියවෙන
හවස් වනතුරු 
නිදිකිරමින් පුටු රත් කරන
රෑ තුන්යම 
assignments, course work, model
සමගින් දිවිගෙවන
බුද්ධිමත් යෞවනයට
ඉඩක් තිබේද විඳින්නට
යළි යළිත් උදවන වසන්තය......

හඳට කියන අවනඩුව


හඳ අහිංසක වුනේ ඇයි ඒ තරමටම
එහෙම නොවුණා නම්
මං තාම හඳ ලඟ...
හඳ බය වුනේ ඇයි මාව දකින්න
එහෙම නොවුණා නම්
මං හැමදාම හඳ ලඟ...
හඳ ඇයි සාවියක් හොයාගත්තේ 
එහෙම නොවුණා නම්
මං තනි රකිනවා හඳට...
හඳ ඇයි රැඳුනෙ දුර අහසෙම
එහෙම නොවුණා නම්
මං හඳ ගන්නවා මගෙ ළඟට....


මගේ සනුහරේ...


මගේ සනුහරේ
වරෙක 
වංගෙඩියකට මරාගත්හ...
තවත් වරෙක
පර්චස් 90 කට ඇඬූහ...
විටෙක 
අභිමානවත් වූහ...
තවත් විටෙක
අනිකුන් සිනාගැන්වූහ...
කලෙක 
එකට සිටියහ...
තවත් කලෙක
සිව් දෙසට විසිරුණහ...

කවුරුන් කෙසේ කීවද
මගේ සනුහරේ 
ඊයේ, අද මෙන්ම හෙටත්
ෆීනික්ස් කුරුල්ලන්ම විය.....

වෙනස


දෑස් හැරි ඔබ
අහස දුටු කල
දෑස් වැසි මම 
පොළොවටම වැටුණි..
යළිත් අවදිව
ඔබව දුටු කල
වෙනස වැටහිණි
ලෝක දෙක තුළ..

තනා පාලම්
වෙහෙස වනු බෑ..
කැමති දෙසකට 
යන්න සිත නෑ..
තවත් කඳුලැලි 
සලනු මට බෑ..
අහිමි හීනෙක 
හිඳ පලක් නෑ........


Wednesday, May 22, 2013

කටු ඔටුනු


දයාබර වසන්තය
කිමද මා තනිකර දමා
දුර ඈතටම දිව ගියේ
ගිම්හානයට පෙම් බැඳ 
ඔබව අමතක කළා දැයි 
සිතුවේ කෙලෙසකද....
සුරපුරක් සොයා මා 
අසපුවෙන් පැමිණි සඳ
බොහෝ දෑ අහිමි වී ඇතැයි 
අරුත්සුන් දිවිය
යළි යළිත් පසක් කරනා සඳ 
කෙලෙස නම් මුහුණ දෙන්නද
මේ රුදුරු ලෝකයට....
වත පුරා නැගෙන සිනහව 
හිත පුරා නොමැති යයි 
හැඟෙන කල....
වාවාගන්නේ කෙලෙසකද 
දිවිය අයදිමින් යදිනා යැදුම.


හිස් අහස...


සිත නිවන ගීතයක
මුල් පදය මුමුණන්න
කල්පයක කාලයක් 
අයදින්නෙ ඇයි මසිත
පද ඇතත් තනු ඇතත්
ඒකාත්මික නොවේ
මන්ද මේ ජීවිතය 
හිස් බවින් තැවෙන්නේ...........???????


වෙන්දේසියට සූදනම්....


මවමි නෙක සිහින
දරනෙමි දහසකුත් එකක් වෑයම්
විකිණෙන්නට
වැඩිම ලංසුවට
ජීවිතය මිල කරන
යාන්ත්‍රික ලෝකයක.....


රාත්‍රිය හා මම





රාත්‍රිය
නිසලය
නිහඬය
අඳුරුය
පාළුය
මා මෙන්ම.....

මගේ කවිය.....


රන් රුවන් මුතු මැණික්
සොයන විට ලෝකයම
ගල් බොරළු සිප්පි කටු
නොදැක පෑගෙයි පයට
රන් රුවන් සොයන්නන්
සිහින මවනා සතුට
නිති පයට පෑගෙනා
සිප්පි කටු අතර ඇත........