Sunday, December 28, 2014

නුඹ මගේ නොවුණට කම් නැතී............


අමතක කරන්න මොන තරම් ඕනි වුණත් ඉබේටම හිතට එන ආදරයක් ගොඩක් හිත් වලට පොදුයි..... අහිමි වූ නිසාවෙන් වටිනාකම වැඩියෙන් දැනෙන එක හැමෝටම පොදු දහමක් වෙන්න ඇති..... ඒ වුණත් හිමිවීම් වලට වඩා අහිමිවීම් වැඩි මේ ලෝකේ හිතට දුකක් නැතුව අතීත මතක සිහි කරන්න පුළුවන් නම්......

කොහේ හෝ නුඹ නතර වී 
කාට හෝ ජීවිතය දී
තුටින් නම් මට ඒ ඇතී
මගේ නොවුණට කම් නැතී
නුඹ මගේ නොවුණට කම් නැතී

ආදරය කියන හැඟීම ඇතුලේ ආත්මාර්ථයක් තියෙනවා වගේම අනිත් කෙනාගේ සතුට ගැන හිතන පරාර්ථකාමී ගතියකුත් තියෙනවා..... හිමි කරගන්න තිබුණා නම් කියලා හිතෙන අතරේම අහිමි වුන ආදරය දිහා ආදරෙන් බලන්න පුළුවන් අයත් ලෝකේ නැතුවාම නෙමෙයි. වඩා වටින්නේ මම ආදරේ කරපු කෙනා මට හිමි වෙන එක නෙමෙයි, කාත් එක්ක හරි සතුටින් ඉන්න එක කියලා හිතෙන්නේ එහෙම අයට වෙන්න ඇති..... 

උන්නු දා අපි අපේ වී නුඹ 
දුන්නු සෙනෙහස අරුමෙකී
ලෝබ නෑ හිත අහිමි දා අද 
මමත් අද මට හිමි නැතී

අපිට අපිව හිමිවුණ යුගයක් තිබුණා අතීතයේ..... නුඹට මට පමණක් ම වෙන් වුණු අතීතයක්..... ඒ අතීතයේ හිපපු අපි මොන තරම් ආදරණිය ද කියලා හිතට තදින්ම දැනෙන්නේ තවදුරටත් ඒ කාලය අයිති අතීතයට පමණක් වුණාම.... කොහොම වුණත් හිතට ලෝබ දැනෙන්නේ නෑ ඔබව මට අහිමි වුණා කියලා..... ඒ වෙනුවට මට හිතෙනවා මේ අරුම පුදුම ලෝකේ ඇතුලේ මට මාව වත් හිමි නෑ නේද කියලා......

නුඹ ලඟත් මතකය ඇතී
නමුදු අපි වෙන් වී ඇතී
එපා රිදවුම් ගන්න දිවියට
අපට හිමි ජිවිත ඇති......

මතක උරුම මට පමණක් වෙන්න බෑ..... අමතක කරන්න ඕනි වුණත් නැතත් ඒ මතකයන් ඔය හිතෙත් ඇති..... ඒත් තවදුරටත් අපි ඉන්නේ ඒ අතීතේ නෙමෙයි. ඉතිං ඒ ගැන හිතලා හිත රිදවගන්න එපා.... මොකද අපිට හිමි වුණු ජිවිත තියෙනවා මේ වෙද්දී.... ඒවායේ වගකීම අපිට තියෙනවා..... අපේ ඒ හැබෑ ජිවිත වලට වෙනස්කමක් කරන්න අපිට අයිතියක් නෑ මොනම හේතුවක් නිසා වත්....... 

ජිවිතේ පසුපසට යන්න බෑ අපි කාටවත්..... සිදු වුණු දේවල් වෙනස් කරන්නත් බෑ..... අනිත් අතට දැන් අපිට උරුම වෙලා තියෙන ජිවිත වඩා වටිනා ඒවා වෙන්න පුළුවන්..... අපි ජිවිත කාලයක් පුරාවට කැපවීම් කලේ අද ඉන්න තැනට මේ ජිවිත ගොඩ නගා ගන්න...ඉතිං ඒ ලෝකේ හැබෑ අයිතිකරුවෝ තමා අද අපි ළඟ ඉන්නවා ඇත්තේ.... සසර පුරා පතාගෙන ආව විදියට තමා දේවල් සිද්ධ වෙන්න ඇත්තේ..... ඒ නිසාම අපිට අයිතියක් නෑ මේ වර්තමානේ ඉන්න ආදරණියයන්ට කිසිම සිත් තැවුලක් දෙන්න, අපේ අතීත කතා සිහි කරලා.....

ඉතිං අපි ජිවත් වෙමු..... අපිට හිමි මේ ජිවිතේ සතුටින්...... කවුරු කොහොම කිවුවත් වඩා වටින්නේ හිතේ සතුට නේ......


ගායනය : කරුණාරත්න දිවුල්ගනේ 
සංගීතය : දර්ශන වික්‍රමතුංග 
පද රචනය : ශාමිලා හුසේන් 








Saturday, December 27, 2014

තාලය වැරදුන ද බැස යා නොහැකි රඟමඩල.........



පවතින රාමුවෙන් 
පලා යනු බැරි හෙයින් 
රඟන්නට සිතුයෙන් 
වේදිකාවට පැමිණියෙමි............

කෙල්ලක් නිසාවෙන් 
නොබිඳෙමින් නොවැටෙමින් 
සෙමෙන් මුත් තිර ලෙසින් 
රැඟුම මා ඇරැඹීයෙමි.............

රිද්මය නොනසමින් 
පා තබා පැකිලෙමින් 
සිටියදී රඟමින් 
තාලය වැරදුනි..............

කරනු කිසිත් නැති හෙයින් 
බැස යන්න සිතමින්
සිත මගේ සැලෙමින් 
අවට බැලීමි.............

අඬමින් වැලපෙමින් 
ජීවිතය පරදිමින් 
බැස යාම පහසුවෙන් 
කරන්නට නොසිතුණි...........

කෙසේ හෝ දිනමින් 
අවසන හිනැහෙමින් 
නරඹන්නන් කෙරෙන් 
යන්නට සිතුවෙමි............ 

මගේ ම ආරකින් 
රිසි සේ රඟමින් 
යම් දිනෙක මා ඉතිං 
ඒ රැඟුම නිම කරමි.................


තහනම් නෑ තවත් මගේ හද වැහි දිය ට.....................


නා කපනා වැස්සට මා තෙමෙන විට 
මතකය මගේ නොදැනිම යයි අතීතෙට 
සැමරුම් එකින් එක අමතක වී යන්ට 
කල් යල් බලා වැහැපන් වැස්සක් හදට 


Thursday, December 11, 2014

ආදරයක් මිතුදමකින් අවසන් කරන්න පුළුවන් ද...



“Friendship often ends in love; but love in friendship, never” කියල ශේක්ෂ්පියර් කිව්වේ මං ඉපදෙන්න ආත්ම ගාණකට කලින් වෙන්ඩ ඕනි දන්නා තරමින් නම්...... හැබැයි ඉතිං කියලා තියෙන කතාව නම් අමූලික ඇත්තක් බව තේරෙනවා මේ වෙද්දී...... නාදුනන දෙන්නෙක් යාළුවෝ වෙන්නේ අහම්බෙන් වෙන්න ඇති..... මේ කාලේදී රණ්ඩු වෙන එක සාමාන්‍ය දෙයක් වුණත් සමාව ඉල්ලගෙන ආයෙමත් සුපුරුදු සබඳතාවට යන්නේ ඒකෙ වටිනාකම හිතට දැනෙන නිසා වෙන්නත් ඇති....... කාලේ ගෙවිල යද්දී හිතට හොරා යාළුකම් ආදර කතා වෙන්නෙත් ඒ නිසාම වෙන්න ඇති.....

ඒ වුණත් ආදරයක් යාළුකමකින් අවසන් කරන්න පුළුවන් ද............................?

අත්හැරුණු දීගේ හෙවනැල්ලත් ඇදයි කියනවා වගේ අනිත් කෙනා කරන කියන හැමදේම වැරදියට පේනවා නම්..... පොඩි අතපසු වීමක් වුණත් දෙන්නටම දැනී හෝ නොදැනී ම ඒක රණ්ඩුවක නිමිත්තක් වෙනවා නම්.... අනිත් කෙනා නිසා තමන් ජිවිතේ විඳවනවා කියලා දැනෙනවා නම්...... තවදුරටත් ඒ සම්බන්ධතාවේ වටිනාකමක් දෙන්නටම නොපෙනෙනවා නම්....... අඩුම තරමේ යාළුකමක් වත් ඉතුරු වේවිද අවසානේ........

මම කැමති වුණේ දැන් ඉන්න කෙනාට නෙමෙයි පරණ හිටපු කෙනාටයි කියල හිතෙනවා නම්.............

මට නම් දැනෙන්නේ ආත්ම ගාණකට කලින් ශේක්ෂ්පියර් කිවවා හරියටම හරි වෙන්න ඕනි...... මේ වගේ දේකදී ආපස්සට අඩියක් තියන්න හිතන තරම් ලේසි නෑ.... එක්කෙනෙක් ඉදිරියට යද්දී අනිත් කෙනාට දුක් වෙවී මග නතර වෙලා ඉන්නත් බෑ...... මෙහෙම වෙලාවක දී  ගොඩක් වෙලාවට හිතට එන්නේ තීරණ දෙකයි..... එක්කෝ අනිත් කෙනාගෙන් ඈත් වෙන එක..... නැත්නම් කිසිම කෙනෙක්ට ආදරේ නොකර "ආදරෙන්" ඈත් වෙන ඒක..... එහෙම නැතුව මේක ලෝකේ හැටි කියල හිත හදාගෙන අලුත් ජිවිතෙකට යන මිනිස්සු හරි අඩුයි ලෝකේ......

මනුස්සයෙකුට වෛර කරනවා වත්.... ඉරිසියා කරනවා වත් කියන එක.... හොද දෙයක් කියල මම හිතන් නෑ කිසිම වෙලාවක...... දියුණු ලෝකෙක ඒක නිකං ගෝත්‍රික අදහසක් වගේ...... අනෙක් අතට ලෝකේ විශ්ව පවුලක් තරමට පුංචි වෙමින් තියෙන කාලෙක සදහටම මුණ නොගැසී..., කතා නොකර ඈත් වෙලා ඉන්න පුළුවන්ද කියන එකත් සැකයි......  

ඒත් එක්කම නිකමටවත් හිතල බැලුවද ආදරේට වෛර කරන එක හොදයි ද කියලා...... ආයෙමත් කවදාවත් ආදරේ කරන නෑ... ආදරේ කියන්නේ පවතින දෙයක් නෙමෙයි වගේ දෙයක් කියලා තනිකඩව ඉන්න එකවත්...... ආදරයක් නැතුව රටේ ලෝකේ මිනිස්සුන්ට ඕනිවට කසාදයක් බැඳගන්න එකවත් හොදයි කියල හිතෙනවද...... ඒ අලුත් ජීවිතේට ඒක සාධාරණයි කියල හිතෙනවද.....


ඉතිං එහෙම බැලුවාම ආදරයක් මිතුදමකින් අවසන් කරන්නම බැරිද.......? 

මට හිතෙනවා පුළුවන් කියලා..... හිත රිදවාගෙන ඈත් වෙලා ඉන්නවට වඩා.... පරණ දේවල් දෙපැත්තකට වෙලා මතක් කරලා දුක හිතනවට වඩා....දෙන්නටම පුළුවන් නම් එකිනෙකාව හොදින් තේරුම් අරගෙන අනිත් කෙනා අපහසුතාවයට පත් නොකර ඉන්න..... තමන්ගේ අලුත් ජිවිතේ ගැන තොරතුරු අනිත් කෙනාගේ හිත රිදේවි කියල සඟවන්නේ නැතුව, ඇත්ත තිත්ත වුණත් කියනවා නම්........ 

මොහොතකට හිත රිදුණත්, දිගුකාලීනව දෙන්නට දෙන්න ගැන තියෙන විශ්වාසෙ බිඳිලා නොයාවි නේද...... මොන දේ වුණත් වඩා වටින්නේ විශ්වාසයයි කියලයි මට නම් හිතෙන්නේ...... මොකද ආදරයක් අහිමි වීමකට වඩා මනුස්සයින්ගේ හිත රිදෙන්නේ "මොන දේ වුණත් අනිත් කෙනා තමන්ට ඇත්ත කියනවා" කියලා හිතලා ඒ ගැන තියාපු විශ්වාසය බිඳිලා යන එක නෙමේද ඇත්තටම බැලුවොත්...... 

ඒ නිසා ආදරය කරන්න බැරි වුණත් අනිත් කෙනාට...., පුළුවන් නම් එයා තමන් ගැන තියාපු විශ්වාසෙ නොකඩා ඉන්න බොරුවක් නොකියා.... තමන්ගේ ජිවිතේ ගැන වුණත්...... මං හිතන්නේ යාළුකමකින් ආදරයක් අවසන් කරන්න ඒ හොදටම ඇති..... 

මොකද යාළුකමක් වත් වෙන සම්බන්ධතාවක් වත් විශ්වාසෙකින් තොරව රඳා පවතින්නේ නැති නිසා...... 


Tuesday, October 7, 2014

"ආල වඩන යන තේරුම බෝසත් කම සකි"




ජිවිතේ හරිම පුදුමාකාරයි. අපි හිතන දේවල් නෙමෙයි අපිට අත්විඳින්න වෙන්නේ හැමවෙලේම..... පතන්නේ එක දෙයක්..... ලැබෙන්නේ තව දෙයක්..... ආදරෙත් එහෙමයි..... රජ මැදුරේ ඉඳන් පාරේ ඉන්න හිඟන්නා දක්වාම හැමෝම හැමදාමත් ආදරේට මේ තරම් ආදරේ කරන්නේ ඇයිද කියල මං තාමත් හිතනවා..... ටෝල්ස්ටෝයි ගේ පරම්පරාවේ ඉඳන් ඉඳන් අපේ පරම්පරාවේ සුමිත්‍රා රාහුබද්ධ, සුනේත්‍රා රාජකරුණානායක දක්වාම නේක කතුවරයෝ මේ ගැන එදත් ලිවුවා.... අදත් ලියනවා..... හෙටත් ලියවේවි..........

'ජිවිතේ කවියක් - ආදරේ එහි සොඳුරුතම වදනක්' කියලා නන්දා මාලිනී වරක් කියන්න ඇත්තේ ඒක සදාතනික සත්‍යයක් නිසා වෙන්න ඇති.....

ඒත් ආදරයක් අහිමි වුණාට පස්සේ දැනෙන විරහව මොන තරම් ශෝකී ද.... ජිවිතේ පුදුමාකාර හිස් බවක් දැනෙන්නේ ඊට පස්සේ..... සමහරු අඬනවා.... සමහරු වැළපෙනවා...... තවත් සමහරු තමන්ටම අවේණික විදියට ඒ දුක දරාගන්නවා..... කවි... කතා... ඔය ඕනෑම දුක්බර නිර්මාණයක් ඇතුළේ සැඟවිලා තියෙන්නේ කාගේ හරි කෙනෙක් ගේ දුකක්..... කොහොම වුණත් මොනවා වුණත් මිනිස්සු විදියට අපිට ඒ හැම අත්දැකීමකටම මුහුණ දෙන්න වෙනවා......

ඉතින් ඒ වෙලාවට වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අබිමන් නොකියා වෙන මොනවා කියන්නද...... 

ඊටත් වඩා ඒ ආදරේ කවදාවත් අනිත් කෙනාට නොකියපු ඒක පාර්ශවිය ආදරයක් වුණාම......... හැමදාමත් පැත්තකට වෙලා අනිත් කෙනාව සතුටින් තියන්න හීන මවාපු ආදරයක් වුණාම...... අයිති කරගන්නේ නැතුව දැක සැනසෙන ආදරයක් වෙලා තිබුණාම......... අන්තිමේදී තමන්ට ඒක අහිමි වෙලාම ගියා කියලා දැනගත්තාම හිතට දැනෙන අත්දැකීම මොනතරම් නම් වේදනාකාරීද......

එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට - නෙලා නොගත්තේ මගේ බෝසත් කමට කියලා කියනවා මිස තවත් මොනවා නම් කියන්නද එහෙම වෙලාවක.......

මෙහෙම ආදරයක් අහිමි වුණාට පස්සේ ටිකෙන් ටික හදාගන්න හිතට ආයෙමත් ඒ මතක වද දෙනකොට.... තව දුරටත් හිමි නැති දෙයක් ගැන දුක් වෙලා පලක් නෑ කියල තමන්ගේම හිත සනසවා ගන්නකොට...... 

'මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා' කියලා වෙන්න ඇති හැමෝම හිත හදාගන්නේ.......

ඒත් ඒ ආදර කතා ඔක්කොම අපේ ජිවිත වලින් ඈත් කරලා දාලා ආයෙමත් හිත හදාගත්තාම මොනතරම් සුවිසල් ලෝකෙක වුණත් ඒ අය නැවත නැවතත් තමන්ගේ ජිවිත අසළටම කැරකිලා එද්දී හිත මොනතරම් නම් අසරණ වෙනවද....... ආදරේ නොකර හොඳම යාළුවෙක් වගේ ලඟින් ඉන්න වුණාම................

' ආල වඩන යන තේරුම බෝසත් කම සකි '


කිවුවට අපි ආදරේ කරන මිනිස්සු සදහටම අපෙන් ඈත් වෙලා යන බව දැන දැනම වෙනසක් නැතුව ආදරේ කරන්න නම්....  ඒ ආදරේ නොපෙන්නා හොඳ යාළුවෙක් වගේ ළඟින් ඉන්න නම්........ හැබෑවටම හිතට පුදුම ශක්තියක් තියෙන්න ඕනි නේද........



Thursday, August 14, 2014

පායා ආ ඉර.........


දුරලනු පිණිස ගණඳුර
මා වටා වූ ලෝකයේ පැතිර
ගෙවා කාලය දුෂ්කර
ආමි ගමනක් වෙහෙසකර

විලස මා පැතූ නිතර
ළබැඳියක් විණි මා ඇසුර
පමාවෙන් මගේ පිළිතුර
ඈ ගියා මා තනිකර

ඈට හිමිතැන හිස්කර
ඇගේ මතකය පසුකර
නැගෙන විට නිලඹර
දුටිමි සඳවත තරු අතර

නොදී ඈ හට අවසර
ගත් නිසා සිත දැඩිකර
නවතා ඒ මිතු ඇසුර
ආමි මා සඳ අතහැර

දුෂ්කර ගමන කෙළවර
දුරැල මා ලොව ගණඳුර
බලන කළ නෙත් හැර
වසන්තය හිත අද්දර    

නොවෙමි දුක් නිරතුර
අතීතය මා සිහිකර
වැයේ දැන් සත්සර
ඒ යුගය අවසන් කර.........

   

හිරු ට පෙම් බැඳ...



ඉර 
පායා ආවේ 
එළිය දෙන්නට මිස 
එක් ව 
අහසේ රැඳෙන්නට
නොවන බව 
දැනගතිමි
නැගෙන විට 
දසතින් ම අරුණළු
සරා සඳ 
මම........


එකමත් එක කතාවක්......



ආදර කතාවක් ද ශෝකාන්තයක් ද එහෙමත් නැත්නම් වෙන මොකක් හරි නමක් මතක් වෙන්නේ නැති එකක්ද කියලා හිතාගන්න බැරි කතාවක් මේ...... මේ විසි එක්වෙනි සියවසේ මිතුදමක තුන් පැත්තක් කියලා හිතගත්තත් කමක් නෑ වගේ.......

ඔහු ඇයට ගොඩාක් ආදරේ කළා......  ඒක නොසිතූ විදියට අවසන් වුනා. ඒ වෙනුවෙන් කාලෙකට පෙර මුණු පොතේ ඔහු තැබූ සමරුව මේ.....

මිරිඟුවක හිත තියලා
නුඹ දුරක ඇදුනා
රංචු ගැහෙනා රෑනේ
තනිකමක් දැනුනා........

ඒත් ඇත්තටම බැලුවොත් ඇයත් ඔහුට ආදරේ කළා...... ඔහු හිතුවාටත් වඩා.... අවසානයක් නොදැන ගමනක් යන්න බෑ කියල තීරණය කරපු නිසයි ඒ ගමනට ඇගේ පැත්තෙන් තිත වැටුනේ..... ඒ නිසයි එදාම ඇගේ සටහන මේ විදියට තිබ්බේ.....

අරුත නොදකින සෙනෙහේ
ඔය නමත් රැඳුනා........

ඉන් පස්සේ රිදුනු හිතත් එක්ක තමන්ගේ ගමන ගිය ඔහුට මුණ ගැහුණේ තවත් අපූරු සහායිකාවක්..... තවත් වසර තුනකට පස්සේ ඒ මිතුදම අවසන් වුනාම ඇය ඒ කතාව කිව්වේ මෙහෙමයි.....

ඇසිල්ලක දුටු හීනෙන්
හිත හුඟක් රිදුනා......

මතක් වෙනවද මේ පද පේළි..... ඒවා ඔක්කොම අයිති එකම ගීතයකට බව.... එකිනෙකාට දැනුනු විදිය වෙනස් වුණත් මේ ඔක්කොම ඇතුලේ එකිනෙකා ගැන දැනුණු හැඟීම..... ආදරය... තනිකම.... අවිනිශ්චිත බව.... දුක.... අහිමි වීම.... වගේම තවත් නොකී කතා ඕනෑ තරම් ඇති......

“මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇදුනා
රංචු ගැහෙනා රෑනේ තනිකමක් දැනුනා
ඇසිල්ලක දුටු හීනෙන් හිත හුඟක් රිදුනා
අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රැඳුනා........”

අහම්බයක් නෙමෙයි මේ..... තුන්කොන් ආදර අන්දරෙකුත් නෙමෙයි.....  එකිනෙකා හරි හැටි හඳුනා නොගත් තුන් දෙනෙක් කියලා හිතුනත් එහෙම කියන්නත් බෑ.... ඒත් අන්තිමේදී බැලුවාම කාලෙන් කාලෙට හැමෝම ගයලා තියෙන්නේ එකම ගීතයක්......

කොහොම වුණත් කවදාවත් මේ ගීතය හරියට තේරුම් නොගත්තු මම මුණුපොතේ තැන් තුනක අපිළිවෙලට වැටුණු මේ තුනෙන් ජිවිත කාලෙටම අමතක නොවෙන විදියට ඒ ගීතය තේරුම් ගත්තා......





Wednesday, August 6, 2014

දයාබර තරංග.....



Wrong Numbers කිවුවාම අපි කාටත් සිහිවෙන්නේ හරිම කරදරකාරී මතකයන් වුණාට මගේ අතින් dial වුණු මේ Wrong Number එක ගැන නම් මම කවදාවත් දුක් වෙන්නේ නැත්තේ ජීවිතේ මං ලබපු ගණඳුරු සමයක පායපු රිදී ඉර ඔහු වීම නිසා....

සරසවියට ආව මුල් කාලයේදී මනුස්සයෝ අඳුනගන්න බැරිව දහසක් ප්‍රශ්න වලට මුණ දීපු මගේ අවසන් විකල්පය වුණේ පරණ පුරුදු කටහඬක් අහල හිත සනසව ගන්න එක...... ඉතිං මං අපේ පරණ යාළුවෙක් ට පණිවිඩයක් තිබ්බා මගේ තවත් හොඳ යාලුවෙක්ගෙ no.1 එවන්න කියලා..... ඒ ආව no එකට call කලාම මට ඇහුණේ කවදාවත් අහපු නැති කටහඬක්...... හැබැයි අපි දෙන්නටම ආව ඊළඟ අවුල වුණේ අපි දෙන්නටම no.1 වැරදිලා නැත්නම් මං හොයන කෙනා ඔහු නොවෙන්නේ කොහොමද කියලා.......

අනිත් අතට මං අහපු කෙනා ඔහු දැනගෙන හිටියා.... ඒවගේම ඔහු මේ no.1 මගේ අතට එන්න ඇතැයි කියල guess කරාපු හැමදෙනාමත් මගේ යාළුවො......

කොහොම වුණත් sorry කියල මම phone එක තියලා වැඩි වෙලාවක් ගියේ නෑ අයෙමත් call කරපු ඔහු මම කවුද.... දැන් කොහෙද ඉන්නේ..... මොනාද කරන්නේ.... කියන හැමදේම කියාගෙන ගියා....... මම dial කරාපු no. 1 අපේ සෑහෙන යාලුවෝ ගොඩක් use කළ එකක් වගේම ඒකෙ හැබෑ අයිතිකරු ඔහු බව මම දැනගත්තේ ඒ මොහොතේ.....

එදා ඇරඹුණු ඒ මිතුදම මේ වෙද්දී පස් වසක් සම්පුර්ණ කරලා...... අපි දෙන්නාගෙන් හඳුනගත් තවත් යහළු යෙහෙළි ගණනාවකගෙන් අපේ දයාබර කවය සමන්විත වෙලා..... ගෙවල් වල අය පවා අපි හඳුනගෙන අවසන්..... ඕනිම දුකකදී එකිනෙකාව සනසන්නටත් සතුටේදී එකට එකතු වෙලා හිනාවෙන්නටත් අපිට පුළුවන් වෙලා.....

MC එකේ කඩයක් ඉස්සරහ නතර වෙලා ඇතුළේ තියෙන මාලයක් ලස්සනයි කීවම ඒක ඒ වෙලාවෙම අරං දෙන්න තරමට ම ඔහුගේ මිතුදම දයාබරයි..... ඒ මාලේ පස්සේ කාලෙක අයින් කලත් අදටත් ඒ පෙන්ඩන්ට් එක වෙන මාලයකට දාල මගේ කරේ රැඳෙන තරමටම මගේ මිතුදමත් දයාබරයි...... ඇත්තටම ගොඩක් දෙනෙක් මගෙන් අහපු ඒ ප්‍රශ්නෙට අද තමයි උත්තර ලැබෙන්නේ...... ඔව්. Promise කියලා කොටලා තියෙන ඒ මාල පෙත්තේ තියෙන්නේ හැමදාමත් සතුටින් ඉන්නවා කියලා එකිනෙකාට වුණු නිහඬ පොරොන්දුවක්..... ඒක ඇත්තටම නොබිඳෙන විශ්වාසයක් වගේම එකිනෙකා අතරේ රැඳුනු තේරුම් ගැනිමකුත් කැටි වුණු  දයාබර මිතුදමක සොඳුරු පැතුමක්.....

මට තාමත් මතකයි අතපය දිග රෙදි බෝනික්කෙක් ඕනි කීවාම town එක පුරාම මාත් එක්ක බෝනික්කෝ හොය හොයා වතාවක් ඇවිදපු හැටි...... කැමරාවක් ගන්න MC ගිහිං අන්තිමේදී කැමරා හෙවිල්ල පැත්තකින් තියලා වරුවක් තිස්සේ කෑම කකා කියෝ කියෝ ඉඳලා අන්තිමේදී මහා වරුසාවකට අහුවෙලා මගේ කුඩෙත් අරං ගිය හැටි..... ඒ කුඩේ පස්සේ කාලෙක දිල් ගේ ගෙදර නවාතැන් ගත්තේ ආයෙමත් ඒක මට දෙන්න ගියාට අපි දෙන්නටම සෑහෙන කාලයක් යනතුරාවට අපිව මුණ නොගැහුණු නිසා කියලත් මතකයි මට.....

ලියනවා නම් මේ වාගේ දේවල් තවත් ඕනෑ තරම් ලියන්නට මගේ හිතේ පෙළ ගැහෙනවා.... අනිත් අතට ඔහු කරාපු මේ වාගේ දේවල් ගැන මතකයේ තියෙන්නේ මට විතරක් නෙමෙයි කියලත් මම දන්නවා..... අහලා බැලුවොත් අපි හැමෝම වෙනුවෙන් ඔහු අයෙමත් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී කරපු දේවල් සෑහෙන්න තියෙනවා......ඒත් සටහන දිග වැඩි වෙන නිසයි මෙතනින් හමාර කරන්නට යන්නේ.....

දයාබර තරංග..... ඔබව මිතුරෙකු ලෙසින් ලබන්නට මම සැබැවින්ම වාසනාවන්තයි.... විටෙක පොඩි දරුවෙකුට හමුවුණු නත්තල් සීයෙකු ලෙසත්..... තවත් විටෙක ළබැඳි සහෝදරයෙකු ලෙසත්.... ඔබ මා ළඟ පස් වසක් පුරාවට සිටි අයුරු මගේ හිත පතුලේම රැඳිලා තියෙනවා.....

2014. 08. 09 උදා වෙන විසි පස් වෙනි උපන් දිනත් සමගින් ජීවිතේ රිදී යුගයට පා තබන ඔබට මෙලොව වසන මනුෂ්‍යයෙකුට ලබාගත හැකි සියලු සතුට ලබා ගැනීමට උදා වන හැම දිනයකම වාසනාව ලැබේවා කියලා පතමින් මම මේ සටහනට තිත තබනවා.....   





Tuesday, July 22, 2014

උරුමය



කුඩා කළ සිටම මට නැගිටින්න හිඳගන්න 
කෙලින් තීරණ ගන්න මට අවැසි ලෙස ඉන්න 
හැමවිටම උදවු දුන්නේ මගේ පිටකොන්ද 
මා උන්නේ නවන්නට නොවේ එය කිසිදිනක 

දිනෙන් දින ගෙවීලා තරුණ විය එළඹිලා 
උපාධිය ලැබීලා රැකියාව සොයාලා
කරකාර බැඳීලා දරු මල්ලෝ ලැබීලා
ලෝකයේ මට උරුම තැනට මා වැටීලා

බස් රියේ තිවංකව යන විටත් එන විටත් 
රැකියාව ගන්නටත් ඉන් ඉහළ යන්නටත් 
පොඩි ඒකා හෝඩියට දමන්නට ගිය විටත්
මට වුණේ නොපැකිලව පිට කොන්ද නවන්ටත්  

මහලු විය එළඹිලා මා හිඳී තනිවෙලා 
මතකයන් එකින් එක මගෙ හිතේ ඇඳීලා 
මගේ පිටකොන්ද දැන් ඇත්තේ වක ගැසීලා
කෙලින් කළ නොහැක එය නවලාම හුරුවෙලා.......................



Thursday, July 17, 2014

එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට...............



එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට
නෙලා නොගත්තේ මගේ බෝසත් කමට...
හැරගිය දිනේ නාවත් මා ගම් දොරට
ආවේ ඇයිද විරහේ සිත අද්දරට......

මගේ අතට නුඹ සර්ව සම්පුර්ණ මලක් වුණේ නෑ...... ඉතිං නුඹට සම්පුර්ණ වෙන්න ඉඩ දීලා මං පසෙකට වෙලා ආදරෙන් ඒ දිහා බලා හිටියා..... මට වැරදුණේ එතනයි කියලා වැටහෙද්දී මම ප්‍රමාදයි..... නෙලාගන්න පුළුවන්කම තිබුණු නුඹව නෙලා නොගත් බෝසත් කම නිසාවෙන් අද නුඹ මට අහිමි වෙලා ගිහිං..... ඒ හැරයාම දරාගන්න අපහසු වුණු නිසා සමුදෙන්න මං නුඹ ළඟට නොආවත් විරහා වේදනාව නම් සිත අද්දරටම ඇවිල්ලා.....   

විස්මිත ගම
 අදහන්නට බෑ තවම
මා හැරදමා නුඹ ගිය මග ගැන අරුම...
සතු කරගන්න මුල් පෙම නොපිදූ බැවින
දුක්බර හිතට කීවෙමි නොහඩන ලෙසින......

මම කවදාවත් හිතුවේ නෑ නුඹව අහිමි වේවි කියලා..... නුඹ හැමදාමත් මං අසළින්මයි හිටියේ..... ඒ නිසාමයි නුඹව සතු කරගන්න මං හදිස්සි වුණේ නැත්තේ..... හැමදාමත් ළඟ හිඳිවී කියලා සිතූ නුඹ ගිය පසු තමයි මට දැනුනේ කොහේ හෝ වරදක් සිදු වෙලා කියලා......  මගේ පෙම මුලින් නුඹට නොහැඟවූ වරද..., ඒ ප්‍රමාදය ගැන දැන් පසුතවිලා පලක් නෑ.... ඒ නිසයි මගේ දුකින් ඉන්න හිතට මං කියාගත්තේ නාඬා ඉන්න කියලා........

සිටිනා කොදෙව්වක නුඹ සැප විඳී නම්
මවෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්...
මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්
තව කුමකටද දුක් ගී කල්පනාවන්.......

නුඹ තවත් මට හිමි නෑ..... ඉතිං ලෝකේ කොහේ කොතැනක හිටියත් නුඹ සැපෙන් හිඳිවා කියලා පතනවා හැරුණාම මට වෙන කරන්න දෙයක් දැන් නෑ..... මං නුඹට ආදරේ කළ තරම දන්නේ මං විතරයි..... ඒ නිසයි මං පතන්නේ මං නුඹට දුන්නු ආදරය එලෙසින්ම ආයෙමත් ලැබෙන්න කියලා..... අපි අතරේ තිබුණු මතකයන්ගෙන් නුඹේ මේ නව දිවියට හිරිහැරයක් නොවේවා කියලා මං පතන්නේ ඒක එහෙම වේවිද කියලා මට සැක නිසයි..... නුඹ ශක්තිමත් මං හිතනවට වඩා..... නුඹ නව ජීවිතය සතුටින් හිඳිවී ඉතිං...... එහෙමනම් මං දුක් වෙන්නේ නෑ..... මං හිත හදාගන්නවා නුඹේ සතුට ගැන හිතලා.......

Tuesday, June 3, 2014

'සරා'...... තරුවක් නොවූ සඳ......


සරා... සරා..... 

මං ගැස්සිලා බැලුවේ ඈත ලෝකෙකින් වාගේ පවනිගේ කටහඬ ඇහුණු නිසා.... 
"අත පොත ළඟ.... පොත හිත ළඟ...... හිත.....?????? "

"හිත ද...... හිත ලෝකේ හැම අතම......" අපි දෙන්නම හිනා වුණේ හරියට university එකේ semester exam ඔක්කොම ඉවර වෙලා හිත බොහෝම සැනසිල්ලෙන් තියෙන කාලෙක වගේ....... 

"අනේ...... පොඩ්ඩක් හිමීට හිනාවෙන්නකෝ..... මම මෙහෙ පාඩම් කරනවා...." ලොක්කි කාමරේ ඉදන් සුපුරුදු බරබරේ දැම්මා.......  "කොහොමද බං හෙමිට හිනාවෙන්නේ..." පවනි හොරාට මගෙන් අහනවා..... "එයාගෙන් ම තමා ඕකත් අහගන්න වෙන්නේ.... පල පල...... පාඩම් කරන්න පොතත් අරං වර....." මං මගේ අතිජාත මිත්‍රයා ව පන්න ගත්තා...... 

මගේ මේසේ පුරාම photo copy notes වැහි වැහැලා..... අපරාදේ කියන්න බෑ.. ලොක්කිගේ නීති ටික කෙසේ වෙතත් notes ලිවිල්ල නිසා exam එකට note හොයන කාලේ මටයි පවනිටයි ඉතුරුයි.... "ලොක්කි" ඒක පවනි "දිනුෂා වීරසිංහ" ට දාපු pet name එක..... බෝඩිමේ ආච්චිට වඩා සිය ගුණයක් නීති අපිට දාන දිනුෂ ට ඇත්තටම ලොක්කි නොකිය අපි ආදරේට වෙන මොනවා කියන්නද..... 

"හෙටින් ඔක්කොම ඉවරයි...." පවනි පොත් ටිකත් අරං මගේ මේසෙට ආයෙම ආවා.... "අපෝ ඔව්. විභාගේ ඉවර වුණු සැනින් මම vanish.... මාස දෙකකින් ගෙදර ගියේ නෑ...." මගේ කට මටත් නොදැනී නෝක්කාඩු කියනවා..... "අයෙත් අහල..... මේකේ හිටිය කියල මක් කරන්නද..... මාස තුනක නිවාඩුවක් නේ..... අනිද්දා උදේම මාත් පියාඹනව ගෙදරට......" පවනි යි මායි දෙන්නම එකම බෝට්ටුවේ වගේ..... 

"කෑ නොගහ පාඩමක් බලාගන්නකෝ..... මගේ ඔළුව රිදෙනවා...." හපෝයි මේ ලොක්කිත් එක්ක කිසි දෙයක් කරන්න බැරි හැටි...... කාමරේට වෙලා සාලේ ඉන්න අපිට කෑගහනවා...... 

"කුප්පියක් දාපන් මචං හොඳ කෙල්ල වගේ..." පවනි ලොක්කිගේ කට නෑහුණු ගාණට මට බටර් ගානව.... "culture & heritage" semester එකක් පුරා ඉගෙන ගත්තු බෝතලේක කරුණු short & sweet කුප්පියක් විදියට පවනි මගෙන් ගත්තේ, අවසානෙට සසර වසනා තුරා කුප්පි දැමීමට හේතු වාසනා වේවා කියලා පිං අනුමෝදන් කරලා...... 



Thursday, February 20, 2014

සරසවි සැමරුම් 03

බෝඩින් ජීවිතය......


ආව මුල් දවස් වල බෝඩිමට වෙලා තනියම ඉන්න වෙලාවට තනිකම දැනෙනවා ඉවසන්න බැරි තරමටම... ඒත් මොනවා කරන්නද.... phone එක තමා හොඳම යාළුවා වුණේ ඒ වෙලාවට.... 3 දෙනාත් එක්ක දවසේ විස්තරේ කියවලා.. කෑම කාලා.. ඉවර වුණාම ගෙවල් වලට call කරනවා පැයක් විතර.... ඊටත් පස්සේ 3 දෙනා ඇඳන් 3 ට වෙලා දන්න දන්න හැමෝටම call කරනවා නිදිමත එනකං.....

අපේ බෝඩිමේ කෙල්ලෝ 12 ට අමතරව හිටියේ අන්ටියි නංගියි මල්ලියි එයාලගේ බල්ලයි විතරයි..... ඇන්ටිලා හිටියේ උඩ තට්ටුවේ.... මල්ලි පොඩියි..... ඒ වුණාට පුදුම දාංගලයක් තිබුණේ.... ඒ මදිවට බල්ලා..... ඌ නම් මහා එපා කරපු බල්ලෙක්..... gate එකෙන් පේන හැම බල්ලටම බුරනවා..... කණක් ඇහිලා ඉන්න නෑ..... ඒකටත් එක්ක හරියන්න බෝඩිමේ set එක.... නියමයි..... එහා room එකේ අක්කලා මෙහා room එකට එනවා සැපදුක් බලන්න සතියකට වතාවක්.....

අපේ room එකේ අක්කට රෙදි, බඩු අස් කරලා පුරුද්දක් නෑ.... නිදාගන්නකොට බඩු ටික මෙසේ උඩට.... වැඩ කරද්දී බඩු ටික ඇඳ උඩට.... බලා ඉන්න බැරුව පවු හිතිලා අපි අස් කරලා දුන්නාම පිං දෙනවා ආත්ම ගාණකට ඇතිවෙන්න.....  

අපේ බෝඩිම ලඟපාතම පන්සලක් තිබුණා.... හැම සෙනසුරාදට ඒකෙ බෝධි පූජාවක් තිබුණා.... ගෙදර යන්න බැරි වෙලා බෝඩිමේ හිටියොත් හවසට පැය ගානක් ගාථා කියනවා  loud speaker එකෙන් අපි අහගෙන ඉන්නවා.....

සමහර දාට අපේ බූරු බල්ලා දන්වැල කඩාගෙන එළියට පැනල දුවනවා.... ඉතිං අපේ ඇන්ටි යෝගට් තියලා gate එක ගාව ඌව රවට්ටලා ආයෙම ගෙන්න ගන්නවා.... නිකං ද අපි ඌට බූරු බල්ලා කියන්නේ.... මහා මෝඩයි ඒකා....

දවසක් අපේ කෙල්ලෝ ටිකක් බෝඩිමට ඇවිත්... උන්ට අමතක වෙලා gate එක වහලා එන්න.... ඇන්ටි අසූ හාරදාහට නැගලා බනිනවා ඒක දැකලා.... “බලන්නකෝ... gate එක අහස් කටට ඇරලා දාලා.... කුඩු කාරයෙක්වත් ආවා නම්.... මගේ වටින මල් පෝච්චි ටික... අරං ගියා නම් හෙම.... මොන දෙය්යන්ට කියන්නද....”  


අනේ දෙවියනේ..... ඇන්ටිට මතක් වුණේ මල් ටික මිස අපි නෙමෙයි....... 


සරසවි සැමරුම් 02

බෝඩිමක් සොයමින්.........


දවස ගෙවිල ගියා.... ඔක්කොම උත්සව ඉවරයි වගේ.... හැබැයි හැමෝගෙම හිතේ ලොකු බරක්..... මොකද hostel ලැබුණේ ඉල්ලපු අයගෙන් හරිම අඩු ගාණකට..... ඉතුරු හැමෝටම බෝඩින් සරණ තමා..... department ceremony එකේදී මගේ ලඟින් හිටපු සිංහල girl හදිස්සියේ වත් ඕනි වුනොත් කියලා මගේ phone number එකත් ඉල්ලගත්තා.....

තාත්තයි අම්මයි මායි බෝඩිමක් හොයන්න කියලා campus එකේ entrance එකට එද්දි මෙන්න මේ girl එයාගේ අම්මත් එක්ක අයෙමත් අපි ඉස්සරහ..... එයාලා ඒ වෙද්දී තැනක් හොයාගෙන.... අපිටත් එතනට යන්න පාර කියල එයාල ගියා..... ජීවිතේ පළවෙනි වතාවට බෝඩිමක් බලන්නේ..... අනේ මංදා..... හොදද නැද්ද කියන්න මං කලින් බෝඩින් දැකලා නෑ නේ....

ඒත් අප්පා කොහොම ඉන්නද මේ කූඩුවේ.... අනිත් අතට හැමතැනම මේ වෙද්දී ළමයි අරං ලු.... ඕනි එකක් කියල අපිත් advance එකක් දීල ආවා... ඔය අතරේ අපේ අම්මලා එක්ක උදේ හිටපු තව family එකකටත් අපි මේ බෝඩිම ගැන කියල එයාලත් ඇවිත් advance දුන්න.... කමක් නෑ... එක batch එකේ 3ක් ම දැන් මෙතන ඉන්නවනේ.... අපි හිත හදාගත්ත..... ඒ වුණාට කාටවත් හිත නෑ ඒ කුකුල් කොටුවෙ ඉන්න....

මේ හැමදේම වුණේ සිකුරාදා.... ඊළඟ සඳුදා උදේම අපි campus ආවා බඩු මුට්ටු පොදි බැඳගෙන සිව් වසරක සරසවි ජීවිතය අරඹන්න හිතාගෙන.....  

අපිව campus එකට දාල අපේ ගෙවල් වල අය අයෙමත් බෝඩින් සෙවීමේ මෙහෙයුම ඇරඹුවා.... අපේ වෙලාව හොඳයි වගේ.... campus එක පේන දුරින් තිබුණු නිසංසල බෝඩිමක 4 දෙනෙක් ගේ room එකක් අපි 3 දෙනාට හම්බුණා..... 4 වෙනියා ඒ වෙද්දි final year එකේ හිටපු අක්ක කෙනෙක්.... බෝඩිම හොඳයි වගේ..... කෙල්ලෝ 12 ක් ඉන්නවා.... පාළුවක් නෑ වගේ.... හැබැයි අම්මලා ට නම් අපිව දාල යන්න බෑ වගේ.... මොනා කරන්නද..... අද නැතත් කවදාහරි දාල යන්න වෙනවනේ..... උපදෙස් කෝටියක් විතර දීල හැමෝම යන්න ගියා......


Monday, February 17, 2014

සරසවි සැමරුම් 01

සිහිනය ඉටු වී......


මගේ ජීවිතේ පලවෙනි වතාවට මම සරසවියකට අඩිය තිබ්බේ මොරටුවට.... (එහෙමත් නැත්නම් හැමෝම ආදරෙන් මතක් කරන කටුබැද්දේ campus ඒකට) ඒ මගේ සරසවි ගමන පටන්ගැන්ම විදියට..... 2009 අවුරුද්දේ ජූලි 17 වෙනිදා..... කවදාවත් අමතක වෙන්නේ නැති දවසක්..... තාත්තගේ අතින් අල්ලගෙන අම්මත් එක්ක එදා මං ඒ බිමට පය තිබ්බේ සතුට වගේම බයකුත් හිතේ ඇතුව..... මොනවා වේවිද... කවුරු මුණගැහේවිද.... හැමදේම නුහුරුයි.... නුපුරුදුයි.... හැබැයි නුපුරුදු බවේ සුන්දරත්වය මං හිත පුරා විඳගත්තා.....

පියවර කිහිපයක් යන්න කලින් අයියලා අක්කලා ඇවිත් අපිව පිළිගත්තා.... අතේ තිබුණු ලියුම බලලා යන්න ඕනි තැනට අපිව යැව්වා.... අම්මයි තාත්තයි එක තැනකට..... මාව තවත් තැනකට..... තවත් ළමයි සිය ගාණක්..... කවුරුත් කතා නෑ... හැමෝම වටපිට බලනවා..... තමන්ගේ Z-Score එක අනිත් කෙනාට වඩා වැඩියි කියලා හිතාගෙන සමහරු ආඩම්බරෙන්..... අපි ආවේ කොළඹින් කියල තවත් අය හිතනවා වගේ.... සමහරු අහිංසක පාටයි.... තවත් අය දෙලොවක් අතර තනි වෙලා වගේ....

Hi..... What is your course? ළඟ හිටපු මුස්ලිම් girl අහනවා මට හීනෙන් වගේ ඇහුණා.... මං වටපිට බැලුවා... අනිත් අය තමන්ගේ ලෝක වල.... මගෙන් තමා අහන්න ඇත්තේ.... හොඳ නෑ නේ සද්ද නැතුව හිටියොත් කියලා මාත් උත්තර දුන්නා...... “Aha... Me too...” ඇති යාන්තං.... මගේ course එක තව අය කරනවා.... කෝ මේ Innogaration Ceremony එක දැන්ම පටන් ගන්නේ නැද්ද මන්දා...

Where are you from? How is your Z-Score? කෙල්ලගෙන් ප්‍රශ්න පත්තරයක් මට...  How about your one? බැරිම තැන මාත් ඇහුවා.... බලද්දි ඒක දෙකයි දශම ගාණක්.... මේ ළමයට මෙහෙම නම් island first ගේ Z එක කොහොමට ඇද්ද කියලා මං ඒ පාර කල්පනා කළා.....
දවල් වෙද්දී Ceremony එක ඉවර වුණා.... මේ වෙද්දී එක්කෙනා දෙන්නා අඳුරගන්නවා..... අම්මලා තාත්තලාත් එහෙමයි.... 

අර මුස්ලිම් girl.... එයා තමා ඒ වතාවේ island first ඇත්තටම..... seniours ලා කියද්දියි ඒක අපි දැනගත්තේ......



ඊළඟට.......