Sunday, October 7, 2018

වෙනස !



මගේ ජීවිතේට මටම හිතාගන්න බැරි තරම් පුදුමයි සමහර වෙලාවට. කතාවක් වගේ... මෙගා ටෙලිනාට්‍යයක් වගේ.... එහෙමත් නැත්නම් ෆිල්ම් එකක් වගේ....

සමහර වෙලාවට එකිනෙක හරහා ගියත් ගොඩක් වෙලාවට මගේ පෞද්ගලික ජීවිතයත් අධ්‍යාපනික ජීවිතයත් රැකියා ජීවිතයත් ගලාගෙන යන්නේ එකිනෙකට හුදකලාව.. එක දෙයක් ඉදිරියට එද්දී අනිත් දෙක අනිවාර්යයෙන්ම ලොකු කැප කිරීමක් කරනවා.... මං හිතන්නේ මේ තුන බැලන්ස් කරනවා කියන්නේ මට කරන්න අමාරු වැඩක් නෙමෙයි, බැරි වැඩක්.

අවුරුදු 9, අවුරුදු 19, අවුරුදු 29 කියන්නේ මගේ ජිවිතේ කඩඉම් ලක්ෂ්‍යයන්.

මගේ චුටි මාමා නැතිවෙලා පෞද්ගලික ජිවිතේ පළවෙනි වතාවට වෙනස් වෙන්නේ මට අවුරුදු නමයේදී. එතකොට එයාට 27 යි. මට 09 යි.

මම උසස් පෙළ ලියලා පළමු වරම සරසවි වරම් අරගන්නේ මට අවුරුදු දහනමයේදී. එතකොට මගේ අධ්‍යාපනික ජිවිතේ පළවෙනි වතාවට ලොකු වෙනසක් වෙන්නේ මට 19 දි.

ඉන්පස්සේ රැකියා කීපයක් කරලා මම ආදරේ කරන රස්සාවට ඇවිත් මගේ උපරිමය මම පෙන්නන්නේ අවුරුදු විසි නමයේදී. ඒ කියන්නේ මගේ රැකියා ජිවිතේ පළවෙනි වතාවට ලොකු වෙනසක් වෙන්නේ මට 29 දි.

මේ දේවල් සිද්ධ වෙන පිළිවෙල ගැන මට අදහසක් නැහැ. ඒත් ඒ දේවල් සිද්ධ වෙන හැටියට මම ආසයි.

ඒවා ඒ විදියට වුනාට 39 දි.. 49 දි... 59 දි.... ආයේ ආයේ එහෙම වෙනස්කම් සිද්ධ වේවි කියල මම හිතන්නෙත් නැහැ. නොහිතන්නෙත් නැහැ.

ඒත් ඒ විදියට මම ආසයි.

මට සිද්ධ වෙන දේවල් වලින් වගේම මම ඒවට දක්වන ප්‍රතිචාර වලින් මාවම පුදුම වෙනවා දකින්න මම ආසයි.

06 - 10 - 2018




Thursday, January 19, 2017

පුතෙකු නම් අවැසිමය !




පුතෙකු නම් අවැසිමය
කවදාක හෝ දිනෙක
මව් පදවි ලබන දින
දස මසක් බලා හිඳ...


උපන්දා පටන් ඔහු තුරුළු කර සිඹින්නට
කුරුල්ලන් පෙන්නමින් කවි කතා කියන්නට
බෝනික්කෝ අතට දී සිත මුදුව හදන්නට
දැනුම ආදරය මිස අන් කිසිත් නොදෙන්නට 


පුතෙකු නම් අවැසිමය
කවදාක හෝ දිනෙක

කියාදෙන්නට ඉතින්
දුවකගේ වටිනකම.... 

තනිවෙන්න ඉඩක් ලද විගස මිතුරිය සමග
ඇගේ සළු පිළි උනා ඉවතකට දමන්නට
නොවේ මට වුවමනා මගේ පුතා හදන්නට
නලවන්න ඇගේ සිත ආදරය දී හදට  


පුතෙකු නම් අවැසිමය
කවදාක හෝ දිනෙක

කියාදෙන්නට ඔහුට
ආදරය කරන්නට......


නලල මත දෙනෙත මත අතක පිටි අල්ල මත
තබන එක හාදුවක මතක ඇය හට දෙන්න
කවදාම හෝ දිනෙක හැකි වුනොත් මගෙ පුතුට
දනිමි මම සතුට ඔහු ඈ මතින් ලබන බව 


පුතෙකු නම් අවැසිමය
කවදාක හෝ දිනෙක

මට දැනුණු ආදරය
තවත් දුවකට දෙන්න......... 





සුසුමක උණුසුම......




අපි දෙන්නා මෙතන ඉන්නෙ සෙන්ටිමීටර් ගානක් දුරින් වුනාට ඇත්තටම බැලුවොත් අපි අපිට කිලෝ මීටර් ගානක් දුරයි නේද අද.....

මුහුද දිහා බලාගෙන එයා කියනවා....

හ්ම්ම්.....

මම ඔයාව වෙනස් කරන්න හිතාගෙන කියනවා නෙමෙයි... ඒත් ඔයයි මමයි අන්තිමට කතා කරපු දවසෙ ඉඳන් අද වෙනකල් මම ගොඩක් හීන මැව්වා.... ඔයා වෙනස් වෙන්නෙ නෑ කියලා කිවුවට මට බය හිතුනා ඔයා වෙනස් වේවි කියලා.... අද මට මෙතනට ආව වෙලාවෙ ඉඳන්ම තේරුණා ඒ බය ඇත්ත වෙලා කියලා .... දන්නවද.... මගේ භාශාවෙන් කියනවා නම් ඔයා අද ඇවිල්ලා ඉන්නෙ ෆුල් ෆෝමැට් එකක් වෙලා....

මට හිනා ගියා....

හ්ම්ම්.... ඒක නම් හරි හැබැයි. ඉතින් නරක නැහැනේ.... එහෙමම ඉන්න දෙන්න.... ඒක දෙන්නගෙම අනාගතේට හොඳයි නේ....

ලොකු සුසුමක් හෙලන සද්දේ මට අහුණා....

ඔයා දන්නවද.... ඔයා ලඟ තියෙන්නෙ මතක හිටින සුවඳක් !

ඒ පාර මට සුසුමක් හෙලුනා.....

---------------------------------------------------------------------------------------------
සුසුමක උණුසුම නොමවිඳි හදකට
සුසුමක් වුනේ ඔබයි
කඳුළක සිසිලස නොහැඟුණු නෙතකට
කඳුළක් වුනේ ඔබයි
 


මිහිමත සැඟවුනු විසිතුරු ලොවකට
පියවර ලකුණ ඔබයි
විසිතුරු මිහිමත සැඟවුනු රුදු ලොව
හෙලි කළ දෙනෙත ඔබයි

හදවත පිරිමැද සිතිවිලි පොබ කල
පැතුමක අරුණ ඔබයි
වදනට නොනැඟෙන සිත තුල ගොළුවන
නොපිපෙන පැතුම ඔබයි
.
ගායනය: විශාරද එඩ්වඩ් ජයකොඩි සහ විශාරද මාලිනි බුලත්සිංහල





සබද ඉතින් නුඹ කෙලෙසද වෙනස් කළේ සිත...




වසන්තයට පෙරදි පිපුණු මලක් නොවෙද මම
බඹරු නිතර ලගින් සරපු මලක් නොවෙද මම
පුදසුනකට යන්නට හැකි මලක් ලෙසට හෙට
සබද ඉතින් නුඹ කෙලෙසද වෙනස් කළේ සිත.......




අපුර්වා.....




අපුර්වා.....!!!!

ඈතින් ඇහුනු ගැහැණු කටහඬටත් එක්කම බෝලයක් මන් ඉස්සරහට ආවා....


පුංචි කොන්ඩයක් බැඳපු කෙලි පැන්චියක් මන් ඉස්සරහට දුවගෙන එනවා දැකපු මම බොලේ අතට ගත්තා....

“පරිස්සමින්.....”

ඔලුව අතගාලා බොලේ කෙල්ල අතට දීලා මම ආයෙමත් මගේ ගමන පටන් ගත්තා....

ඒත් මතකය.....

එක දිගින් දිගටම යන්නේ ආපස්සට.....

“කවදහරි දවසක අපි බබෙක් ගෙනාවම එයාට අපුර්වා කියලා නම තියමු”

කාලෙකට කලින් සිද්ධ වුනු කතාවක මතකය හිත පතුලේ දෝංකාර දෙන්න ගත්තා.... අවුරුදු ගණනාවකට කලින් අඳුරගත්තේ....... අවුරුදු ගණනාවකට කලින් ලඟින් හිටියේ..... අවුරුදු ගණනාවකට කලින් ඈත් වෙලා ගියේ.... ඒත් තාමත් “හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන්”.............................

මාතරින් පටන් අරගෙන කොළඹින් ලියවුණු කතාවක අපූරුව.....

අතේ සතේ නැතුව හැතැප්ම ගාණක් ඇවිද ගිය මතකය.... ඒ මග දිගට කතා කරපු හිනාවුණු මතකය..... අනාගතේ ගැන මවපු අහස් මාළිගා..... එකින් එකට ටෙලි සිත්තමක් වගේ හිතේ මැවෙනවා.....

“අත්වැල් බැඳගෙන මංමාවත් දිග
ඔහේ ඇවිද ගිය කාලය මතකද
පුංචි ළදරියක් වගේ හුරතලෙන්
ඔබ හිනැහුණු ඒ කාලය මතකද......”

දුර ගමනක් එකට යන්න අපිට ඉඩක් නොලැබුණේ වාසනාවටද අවාසනාවටද කියන්න මම දන්නේ නැහැ.... ඒත් ඒක අවසානෙදි වසර කිහිපයක ආදරණීය මතකයක් පමණක් බවට නම් පත්වුණා..... දුකක් නැහැ.

“කොහේ හෝ නුඹ නතර වී - කාට හෝ ජිවිතය දී
තුටින් නම් මට ඒ ඇතී - නුඹ මගේ නොවුනට කම් නැති.....”

නුඹ නැවතුනු බව මම දන්නවා.... මට තාම නවතින්න හිතක් නැති බවත් මම දන්නවා..... ඒත් දවසක මමත් නවතීවි....

ඔව්.

කොහේ හරි...... මගේ හිත නවතින තැනක......



Friday, November 11, 2016

දුරස් වුනු ජිවිත....



ජිවිතේ කවදාම හරි දවසක ඈත් වෙලා ගිය ආදරණීය සගයෙක් ඉන්නවද.... හේතුවක් ඇතුව හෝ නැතුව.... හේතුවක් තාමත් හිතට හිතාගන්න බැරුව.... එක කාලෙකදී ජිවිතේ ට ගොඩාක් සමීප වෙලා..... හැමදේම බෙදා හදා ගෙන..... එක පාරටම ඈතට ගිය ජීවයක්.... හොඳට හෝ නරකට ඈතට යන්න ඉඩ දුන්නු ජිවිතයක්.... ආදරේ ද යාළුකමද කියලා හිතට හිතාගන්න බැරි වුනු සම්බන්ධතාවයක්..... 

ඒ ඔයාගේ කතාවද.... එයාගේ කතාවද..... මගේ කතාවද.... නැත්නම් අපේ කතාවද.....

ජිවිතේ ලස්සනයි කියනවා..... සමහර මතකයන් නිසා.... සමහර චරිත නිසා.... ඒත් එක්කම ජිවිතේ දුකයි කියනවා..... සමහර දේවල් අපි පතපු විදියට සිදු නොවුණු නිසා.... අපි නොහිතපු දේවල් සිදු වුනු නිසා.....

ටිකක් හිතලා බැලුවොත්.....

හමුවීමත් වෙන්වීමත් අතර... උවමනාවත් එපා වීමත් අතර..... අපි ගතකරපු ඒ අවකාශය.... දැන් අපිට අහිමියි නේද..... කැමැත්තෙන් හෝ අකමැත්තෙන්.... අපි ඒ අවකාශෙන් මේ වෙද්දී මිදිලා නේද....

ඒත්,

ඒ අපේ අවසානය නෙමෙයි නේද........




සෙනෙහසින් සුබ පතමි නුඹ උපන් දින මෙසේ...




නුඹ ඉපදුණේ අම්මා පිං කළ හන්දා 
ඇතිදැඩි වුණේ දුක් කරදර හිත රන්දා
තාත්තා නැති ගෙදර ඒ තැන ගත් හන්දා 
තාමත් තනිකඩයි ජිවිතෙ බර රන්දා....

හිරු පායද්දි දැනෙනවා නුඹ හොඳින් කියා 

සඳු පායද්දි දැනෙනවා නුඹ තනියි කියා
අට ලෝ දහම හැම සතහට පොදුයි නිසා
හිතෙනව නුඹට වස්සානය ළඟයි කියා.....

දින සති ගෙවෙන කල පාළුව නොදැනේවා
නිදහස නොමැති කල හිත දුක නොදැනේවා
කරදර ආව කල වෙහෙසක් නොදැනේවා
පතනෙමි නුඹට හැම යහපත අත්වේවා......

නුඹ හිමි වුණු අම්මා වාසනාවන්
නුඹ හිමි වුණු මල්ලිලා වාසනාවන්
නුඹ පිය වෙන දරුවන් වාසනාවන්
ඒ පින ලබන්නට නුඹ වාසනාවන්..........!