Monday, October 14, 2013

කේක්....


මේක වුණේ මං පුංචි කාලේ.... අවුරුදු 4 ක් වත් නෑ මං හිතන්නේ... අපේ අම්මා teacher කෙනෙක්.... ඉතිං ඒ දවස් වල අම්ම වැඩ කරපු ඉස්කෝලේ හැම අවුරුද්දකම අවසානේ ළමයින්ගෙ පොඩි උත්සවයක් තියෙනවා.... එක ඉවර කරලා staff එකේ අය එයාලම arrange කරගත්ත lunch එකක් රසවිඳිනවා.... ඕකට හැමෝම තමන්ගේ ගෙවල් වලින් මොනා හරි අරගෙනත් එනවා..... අපේ ගෙදර මාව තියලා යන්න කෙනෙක් නැති වුණු හැම වතාවෙම අම්මා පුරුදු වෙලා හිටියේ මාවත් අරගෙන ඉස්කෝලේ යන්න... ඉතිං මට ඒ ඉස්කෝලෙයි ළමයිනුයි teachers ල යි හොඳටම හුරු නිසා ඔය උත්සවේ දවසට මම කොහොමත් යනවා ම තමයි....

මේ කියන දවසෙත් අම්මා ඉතිං ලස්සන ගවුමකුත් අන්දවාගෙන මාව අරන් ගියා... මාත් හොඳ ළමයා වගේ අම්මට වද නොදී හිටියා.... ඔය වෙද්දී මාව නිකං මල් වට්ටියක් වගේ අතින් අතට යනවා.... එක්කෝ ළමයි අතේ... නැත්නම් teachers ල අතේ.... උත්සවේ ඉවර වුණා... lunch 1 පටන් ගත්තා.... මං ඉතිං ඇණයක් නොවී බතුත් කෑවා.....

ඊටත් පස්සේ අවේ මගේ favorite round එක... ලස්සනම ලස්සන cake එකක් principal ගෙ ගෙදරින් එවලා තිබුණා.... මටත් ඉතිං කේක් කෑල්ලක් හම්බුණා.... ඒ උනාට මගේ හිතට මදි.... අම්මට කරුකුරු ගාලා තව ඕනි කිවුවට යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නෑ... ඒ වෙනුවට එයාගේ එක තමා හම්බ වුණේ.... මට එහෙමත් බෑ.... අන්තිමේදී මං තීරණේ කළා cake එක වෙනුවෙන් සටන් කරන්න.... අවාසනාවට ඒ වෙනකොටත් cake එක ඉවර වෙලා.... කොහොම උණත් මං ඒ වෙනුවෙන් සටන් කළා.... ඇඩුවා... ඇඩුවා... ඇඩුවා... බිම පෙරලි පෙරලි ඇඩුවා... දැන් ඉතිං staff එකේ අයට දුකයි මට ඒක දෙන්න බැරි වුණාට.... අපේ අම්මට නම් ලැජ්ජාවේ බැරුව යසට හිටපු මං cake එකක් වෙනුවෙන් මේ තරම් ඇඩුවට....

අම්මා මාව අරන් ගෙදර ආවා... නිකං නෙමෙයි... ලොකු cake එකකුත් අරගෙන.... ඇවිත් කිවුව දැන් ඉතිං ඇති වෙනකං මේක කනවා කියලා... කොහේ කන්නද.... මට ඒ වෙද්දී cake ආසාව ඉවරයි....


පහුවදා උදේ අම්මලාගේ principal අපේ ගෙදර ආවා එදා වගේම cake එකක් හදාගෙන.... 

සල්ලි.....


මාසේ පඩිය කියන්නේ මොන තරම් වටිනා දෙයක් ද කියලා පොඩි කාලේ මට තේරුණේ නෑ... මොන දේ ඕනි වුණත් මං කලේ අනිත් පොඩි ළමයි වගේම අම්මගෙන් ඉල්ලපු එක.... මං ඒ දේවල් ඉල්ලන්නේ මාසේ මුල ද මැද ද අග ද කියන එක මට වැදගත් වුණේ නෑ ඒ දවස් වල..... එක්කෝ අම්මගෙන්.... නැත්නම් තාත්තාගෙන්.... වාසනාවකට මං ඉල්ලපු දේවල් නොදී ඉන්න තරම් අම්මලා අසරණ වුණේ නෑ.... අනිත් අතට මං දකින දකින හැමදේම ඉල්ලුවෙත් නෑ....

මං campus ආවා.... trainning ආවා.... ජිවිතේ මුල්ම වතාවට අතට ටිකක් ලොකු ගානක් හම්බ වෙන්නයි යන්නේ.... ඒත් අද මට තේරෙනවා රුපියලේ අගය මොන තරම් පහල බැහැල ද වගේම සල්ලි හම්බ කරන එකට වඩා අමාරු manage කරන එක කියලා.... සිය ගානක් වැඩ තියෙනවා කරන්න.... ඉතුරු කරන්න සතයක් වත් අතේ ඉතිරි වේවිද මන්දා.... අය වැය සමතුලිත කරන්න නම් සෑහෙන වෙහෙසක් ගන්න වෙනවා.....

කාලයක් තිස්සේ පෙරුම් පිරුවේ රස්සාවක් කරලා පඩි අරන් මට ඕනි ඕනි විදියට වියදම් කරන්න.... අනික ගෙදර අයට උදවු කරන එකෙත් සෑහෙන ලොකු සතුටක් හිතේ තියෙනවා....

හැබැයි ඉතිං වෙලාවකට නම් හිතෙන්නේ පොඩි ළමයෙක් වෙලා ගෙදරින් අරන් දෙන ටිකෙන් satisfy වෙලා හිටපු කාලේ හිත මොන තරම් නම් නිදහස් ද කියලා......

ප්‍රජාපතී දේවී ලා....


කාලෙකට කලින් අපේ අම්මා ඉස්කෝලේ ගිහින් එනකන් වගේම රස්සාවක් හම්බ උනාම වැඩ ඇරිලා ගෙදර එනකනුත් ආච්චි අම්මා කඩුල්ල ලගට වෙලා බලා හිටියලු... ඇත්ත... ඒ කාලේ අද වගේ තාක්ෂණේ දියුණු නෑ තමා.... ළමයා ගෙදරට එනකං ම අතරමගදී මොනවා වුනාද කියලා දැනගන්න විදියක් නෑ තමා.... ආච්චි අම්මගේ හිතේ මොන තරම් බයක් තිබුනද කියලා මට තේරෙන්නේ දැනුයි....

දැන් තාක්ෂණේ දියුණුයි කියනවා..... Mobile phones හැමෝම අතේ තියෙනවා.... ඒත් තාමත් අපේ අම්මල අපි එනකං පාර බලාගෙන ඉන්නවා....බස් එකට නැග්ග වෙලේ ඉඳන් පැයෙන් පැයට call කරනවා.... බෝඩිමට ඇවිත් දවස් දෙකක් ගෙවෙන කොට අහනවා අයෙත් ගෙදර එන්නේ කවදද කියලා..... අපි අයෙත් ගෙදර එනකං දවස් ගනිනවා....

කාලේ ටිකින් ටික ගෙවිල යනවා... අපිත් දවසක අම්මලා වේවි... අපිත් අපේ දරුවෝ එනකං මග බලා ඉඳීවි. තාක්ෂණේ මොන තරම් දියුණු වුණත් අපේ දරුවෝ ගැන අපිත් වද වේවි....

රැජිනක් වුණත් අහිකුණ්ටික ගැහැනියක් වුණත් මේ බලා හිඳීමේ වෙනසක් නෑ..... එදත් එහෙමයි.... අදත් එහෙමයි.... හෙටත් මේකේ වෙනසක් වෙන එකක් නැහැ.....

ඉතිං එහෙම නම්......
මේ බලා හිඳීම අවසන් වෙන්නේ කවදද.....

Wednesday, September 18, 2013

වැටහීම


දයාර්ද වූ මිනිසුන්ගේ
සිත් අහසේ පායා තිබූ
අවිහිංසක පුරා හඳ
දසත පැතිර වූ
සුමුදු එළියට
සියල්ලෝ ලෙංගතු වුවද
එහි
ලප කැළැල්
මතුකරගත්තවුන්
එයට සාප කරනා වග
වටහා ගන්නට
සඳේ....
නුඹට හැකිවුණි ද ?

අන්සතු වූ මහගෙදර


නෙක සන්නි නටා
යකුන් සියල්ල පන්නා
වෙන්දේසි කළ
මගේ නිවහල් උරුමය
නැත ඉතිං මින්මතු
මගේ පරපුරට
නෙතඟ හීන් කඳුලක්
මෝදු වුව ද
දුක නැත හිතට
මන්ද
ලොව සියලු දේ
අනියත බව
මගේ පරපුරම
මට පසක් කර දී ඇති නිසා.............



Monday, September 16, 2013

ආදරය


දවසින් දවස වියපත් වන
වසරින් වසර පරිණත වන
තුරුළු කර ආදරෙන් හිස සිඹින
ඒ දයාබර සෙනෙහස දමා යන්නේ කෝම...

ළපටි කල මගේ මුළු ලෝකයම වූ ඔබ
දැන් මගේ ලෝකයෙන් කොටසක්ව ඇති විට
බිය දැනෙයි නිරතුරුව මා හදට
මා ඔබෙන් ටිකෙන් ටික දුරස් වනවා වත් ද.....

හැකිනම් ඉන්න තුරුළු වී
කුඩාවෙක් විලස හැමදාම
මුළු ලොවම ඔබ දෑසින් බලා
මියෙන්නට ඔබ තුරුලේම........


වහල්ලු




මහ හඬින් නද දෙමින්
වරින්වර දඟලමින්
ඇමතුමක් ආ විගස
නොසඟවා පවසමින්
කෝප ගත්විට මගේ
අතින් බිම විසිවෙමින්
යළි යළිත් උණුහුමට
මා අතට ගුලිවෙමින්
දුක සතුට විශ්මයත්
තනිකමත් එක ලෙසින්
බෙදාගන්නට නොහැක
ඔබ නොමැති නම් ඉතිං.........

Tuesday, September 3, 2013

නොපෑහීම


ඉගිලෙන්න 
අවසරය 
නොම දුන්න 
මගෙ හිතට 
පියඹන්න 
කුමකටද
නුඹේ ඔය 
සිත් අහස............. 

බෝඩිම


නාඳුනනා මුහුණු පෙළක්
හඳුන ගනිති එකිනෙකාව
නමින් ගමින් වයස් වලින්
එක වී එක නිවහනකට

දෙමාපියන් නැත අසළක
ගම්බිම් වී ඇත දුරස්ව
යහළු යෙහෙළියන් නොමැතිව
තනිකම ඇවිදින් තනියට

ඔරලෝසුවේ කටු කැරකී
කැලැන්ඩරේ පිටු පෙරළි
ලෙන්ගතුකම් හිත පිරවී
සොයුරු දමක සිත පැටලී

ආ ගිය තොරතුරු කියමින්
එක බත් පත අනා කමින්
කවටකමට සිනාවෙමින්
තනිය මකන මේ සගයින්

කෙදිනක හෝ මේ නිවහන
අතර දමා නික්ම යාවි
ආයෙත් දිනයක හමු වී
තුටු කඳුලින් නෙත තෙමාවි.......

Saturday, August 31, 2013

සිංහ වංශය


කාලාන්තරයක් පුරාවට
රාජකීයත්වය
වන්දනාමාන කරලා
තවත් කාලාන්තරයක්
අධිරාජ්‍යවාදයට
දණ නමලා
නිදහසෙන් පස්සෙත්
අපමාන දේශපාලනයට  
හිස නමන   
අපි
තාමත්
සිංහ වංශයේ ලු.

කඩ තිර


මුවා වී කඩතිරට 
දියකුස ම බලන විට
දුටිමි මම ප්‍රමදා ව
විලස හිස් බඳුනක් ව
වෙහෙසිලා බිඳෙන් බිඳ 
අයෙක් පුරවයි සිලිල 
පැමිණ තවෙකෙක් එවිට 
පල ගනී ඒ සිලිල 
අන්තයේ පැමිණෙනා 
නාඳුනන්නෙක් සෙමින් 
බිඳ දමයි ඒ බඳුන 
සම්මතය කියා එය 
නොහැකි මුත් සිඳින්නට 
ඒ කටුක සත්තාව 
අවැසි මට පළමුවෙන් 
මුදන්නට කඩතිරය........ 


Tuesday, August 27, 2013

සේයා.....








ඒ මගේ අලුත්ම නම..... 

අහංකාර හිත, සේයා වුණාට ලියන හිත වත් ලියන විදිය වත් වෙනස් වෙන්නේ නෑ...

ඉතිං 
කලින් වගේම ඇවිත් යන්න ඉරක් තිතක් නැති ජීවිතයක නිදහසේ හැඩතලය විඳින්න..... 




Wednesday, July 17, 2013

මාවතේ ගීතය

මං ඉස්සර ඉඳන්ම කැමතියි ඇවිදින්න.... ඒත් ඉස්කෝලේ වැඩයි අම්මලාට නිවාඩු නැති නිසයි වැඩිය ඇවිදින්න හම්බ වුණේ නෑ ඉතිං.... ඔය අතරෙ තමා මාව කැම්පස් තේරුණේ.... මගේ ඩිග්‍රි එකේ හැටියට පුදුම ෆීල්ඩ් විසිට් යෑමක් තමා තිබුණේ... ඒ නිසාම අවුරුදු හතරක් තුළ ලංකාවෙ ගොඩක් පැති වලට ගිහින් එන්න මට වාසනාව ලැබුණා... ලස්සන අත්දැකීම් ගොඩක් ජීවිතේට එකතු වුණා.. 

යාපනය.. අම්පාර.. මඩකලපුව.. හම්බන්තොට... වගේ පැති වලට යන්න බැරි වුණත් අනිත් හැම පැත්තකටම වගෙ යන්න අපිට පුළුවන් වුණා... ඒ මතකයන් හරිම සුන්දරයි.....

බැච් එකක් විදියට අපි ප්‍රොජෙක්ට්ස් වලට ගියාම අඩුම දවස් හතරක්වත් නවතිනවා කොහේ හරි තැනක... එහෙම උණාම අපේ වැඩ වලට දවසම ඇවිදල මහන්සි වුණත් රෑට එකතු වුණාම සිංදු කියලා ජොලියක් දාන්න අපේ අය අමතක කරන් නෑ... 

ඒ වගේම තමයි හැමෝම නිදාගන්න ගියාම බැච් එකේ ඉන්න හොඳම හොල්මං ටික සෙට් වෙනවා නිදි අයව බය කරන්න.... අන්තිමේදි හොල්මං කරලා කරලා ළමයිව බය කරලා බය වුණ අයගෙ බය ඇරලා නිදගන්න යද්දි කොහොමත් පාන්දර දෙක තුන වෙනවා.....

මතක සටහන් නම් අනන්තයි.... අපමාණයි....

ඒත් මේ වෙලාවෙ හැමදේම මතකෙට එන්නේ නෑ....

එකින් එක මතක් කරලා වෙලාවක් ලැබුණු වෙලාවට ලියන්න ආසයි..... බලමු පුළුවන් වේවිද කියලා......


Wednesday, July 10, 2013

ඉරණම

මේ දවස් වල අපි training නිසා සතියෙ මුල් දවස් 3 ඉන්නේ ඔෆිස් එකේ... සමහර දාට site වල.... කොහොම වුණත් වැඩක් නැතුව ඉන්න තියෙන දවස් නම් හරිම අඩුයි... මට මර්ලින් TV series එක හම්බ වුණේ වාසනාවට වගේ ඔෆිස් වැඩ අඩු වුණු කාලෙක... ඒ නිසාම මං හිතුවා වැඩ ඉක්මනින් ඉවර කරලා මර්ලින් බලන්න... 

ඉතින් පුදුමාකාර වුවමනාවකින් වැඩ ටික ඉවර කරලා මගේ word document එකත් open කරගෙන KM player එක මට පුළුවන් උපරිමේටම minimize කරගෙන මං මර්ලින් බලන්න ගත්තා... නැත්නම් දකින අය හිතන්නේ මම වැඩ නොකර මේක බලනවා කියලනේ... 

Season one... Episode two... 

මගේ රූම් එකේ දොරට පොඩි තට්ටුවක් එක්කම දොර ඇරුණා... හදිස්සිය වැඩි කමටම මට close බට්න් එක හොයාගන්නත් බෑ...

නංගි මගේ හෙඩ් සෙට් එක ඔතන ඇති.. ඒක දෙනවද..

හා අයියේ..

ආ මර්ලින් ද... ඕ.කේ.

ඇයි අප්පා මටම වෙන්නේ.... උදේ ඉඳන් වැඩ කලා... කවුරුවත් බැලුවේ නෑ.... ඉඳලා ඉඳලා මේක බලන්න ගත්තා විතරයි හැමෝම මෙතන... ඒ මදිවට මේ තරම් minimize කරන් බලලත් අඳුරගත්තනේ මර්ලින් කියලා.... ලැජ්ජාවට මට යන එන මං නෑ...

අයියෝ මර්ලින්...

ඒ මර්ලින්ගෙ ඉරණම... මේ මගේ ඉරණම...!!!!  


Tuesday, June 25, 2013

බටු

මේක වුණේ අපි උසස් පෙළ කරන කාලෙ..... ඒ දවස් වල අපි අමතර පන්ති ගියාම දවල්ට කෑම කන්නෙ කට්ටිය සෙට් වෙලා..... මට මතක විදියට අපි 7ක් නැත්නම් 8ක් හිටියා ඒ සෙට් එකේ.... දවසක් අපි කාගෙ හරි බත්මුලක බටු තිබුණා... 

එළබටු.... 

අපෙ සෙට් එකේ එක කෙල්ලකගේ බටු පිළිබඳ දැනීම අන්තිමයි.... ඒ තියෙන්නේ මොන බටු ද අහනවා.... ඉතින් අපේ අනිත් එවුන් ටික බටු පිළිබඳ මහාචාර්ය දේශනයක් දුන්නා සාමූහිකව.... 

සියළු බටු වර්ග ගැන කියා දුන්නට පස්සේ යාළුව අපේ මූණු දිහා බලාගෙන බොහොම අහිංසක විදියට මෙහෙම ඇහුවා....

"දැන් එතකොට මේ තියෙන්නේ වම්බටු ද...? "



රෝසි... (3)

දවසක් මං අහගෙන රෝසි ගෙ අම්මා රෝසිට බත් කවන්න ගත්තා හරිම ආදරණීය විදියට..... 

"පුතා දන්නවද අර ලස්සන මොනරු ඉන්නේ.... මාත් ඔයාට ඒ විදියට ලස්සනම ලස්සන ගවුමක් මහලා දෙනවා අඳින්න... අම්මත් ඒ වගේම ගවුමක් ඇඳ ගන්නවා... රැළි දාලා... තට්ටු දාලා..... ඊට පස්සේ ඒ මොනරු වගේ අම්මයි පුතයි නටනවා..... ඉතින් පුතේ කන්නකෝ කටක්....." 

ඔන්න ඔහොම බත් කවන්න ගත්තට මේ පොඩ්ඩට එහෙම ලේසියෙන් කවන්න බෑ.... ඒකා හිතාගෙන ඉන්නේ මේ ලොකේ තියෙන එපාම කරපු කෑම බත් කියලා වෙන්න ඇති.... කොහොම වුණත්.. මොනවා කිවුවත්.. බත් කටවල් 10 කට වඩා කවාගන්න බැරි වුණාම අම්මට යකා නගිනව.....

"ඔය ළමය දන්නවද.... අර අතන බුලත් යකෙක් ඉන්නවා.... කෑවෙ නැත්නම් දෙනවා යකාට හරිද..."

දැන් ඇරඹිලා තියෙන්නේ හොඳින් නැත්නම් නරකින් හරි කවනවා කියන වෙලාව තමා කියලා එතකොට පොඩි එකාට තේරෙනවා.... හැබැයි කෙල්ලත් එහෙම ලේසියෙන් යටත් වෙන්නේ නෑ.... ඉතින් අම්මා දන්න යක්කු ඔක්කොම ගෙන්නනවා... අන්තිමේදි කෙල්ල යක්කුන්ට බය වෙලා අඬද්දි අම්මා අයෙත් ඒ යක්කු ටික පන්නනවා.....

කොහොම වුණත් අහම්බෙන් හරි මේක ඇහුණු මට හිනා ගියේ මොනර නැටුමෙන් පටන් ගත්ත බත් කෑම තොවිලෙකින් ඉවර වුණු නිසා.... 


Sunday, June 23, 2013

සමුගන්නට ළඟයි සරසවි මව්නි ගරු.....

පියමැන්නෙමු දිනෙක මේ පින් බිම වෙතට
උගතිමු දිනෙන් දින ලෝකය දකින්නට
අවසන් වසත් එළඹී නොදැනිම හිතට
දෙවියනි මා උගත්තේ කවි ගොතන්නද.... 

සෙමෙස්ටරෙන් සෙමෙස්ටරය ගෙවී ගියා
විෂයෙන් විෂය අපි හෙමිහිට ඉවර කළා
field visit.. site visit.. TRIP වූවා
කොයි හැටි වෙතත් අපි රට තොට සැරිසැරුවා....

Assignment එක පිට එක ගොඩගැසුණේ
Group work ඒ අතරට සෙට් වූයේ
Model නිසා රෑ තුන්යම නිදිවැරුවේ
සිවු වස ගෙවෙන තෙක් අපි දින සති ගැන්නේ...

Lectures ගියේ පසුපස පෙළ අල්ලන්ට
සැරිසරුවේ කවි කොළ එහි හතර කොණ
Book review අවසන් වූ වෙලාවට
නිවන් ගිය විලස දැනුණේ හිත් කොනට...

දන්නේ මොනවාද නොදන්නෙ මොනවාද
සෙව්වේ විභාගය ආ විට කට ලඟට
කුප්පි disscussion දමලා එක දිගට
ගොඩදැම්මා අපි අවුලක් නෑ හිතට..

Project work කියමින් අපි හතර වටේ
Data collect කළ හැටි මතකයට නැගේ 
ඇනුණු විටදි බොරුවක් හෝ කියමින්නේ
බෑ කිවු presentation අපි ගොඩදැම්මේ....

Match, trip, පැදුරු පෙරළෙනවා මතක පොතේ
Going down නැහැ අමතක වී යන්නේ
කැම්පස් ටී ෂර්ට් විකිණූ විලස ගොඩේ
මතකෙට නැගෙන විට නොදැනිම සිනා නැගේ

Social work කියමින් පාසැල් හැදුවේ
පොඩි උන් සොයා ගොස් සෙල්ලම් බඩු බෙදුවේ
මළගෙදරක ආරංචිය ලද විගසේ
නයිටක් ගසන්නට සැම එක් රොක් වූයේ...

සිව් වසරක් ගතව ඇවිදින් මොරටුවට
අද ඊයෙ වගේ දැනෙනවා හදවතට
පුරවර රඟමඩල මත රඟපාන්නට
ආයෙත් කිසිදිනක අවසර නැත අපට.........


Tuesday, June 11, 2013

O/L ඉවරා...........යි !

O/L ඉවර වුණාම හිතට දැනුණෙ පුදුම සහනයක්..... ඇයි අප්පා subjects 10ක් ඉවරයි කියන්නේ මොන තරම් ලොකු දෙයක්ද.... දැන් මොනාද කරන්න ඉන්නෙ O/L පටන් ගන්නකං... හැමෝම අහනවා..... යාළුවන්ගෙ නම් ලෑස්තිය A/L වලට ක්ලාස් යන්න...

'මං ලයිබ්‍රරි යනවා'..... ඒ මගේ උත්තරේ....

කැමැත්තක් කරන්න..... අම්මල කිවුව.... මං ඉතින් යාළුවෙකුත් හොයාගෙන සතියට දවසක් පුස්තකාලෙ යන්න ගත්ත..... 

උදේ 9 වෙද්දි එක library ය කට යන අපි එතන තියෙන සතියේ පත්තර ඔක්කොම කියවලා පොතුත් අරං අනිත් එකට යනවා.... එතන තියෙන ටිකත් කියෝලා තමයි පොත් තෝරන්නේ.....

මුලින් මුලින් මං තේරුවෙ හැමදාමත් ආස කරපු පරිවර්තන තමයි..... ඒත් මගේ යාළුව කියෙවුවෙ නවකතා.... ඉතින් මටත් ඕනි වුණා නවකතා කියවන්න..... දැන් ඉතින් සතියට 8 ක් විතර කියෝනව.... මාරුවෙන් මාරුවට නවකතා සහ පරිවර්තන.... මගෙ පොත් 4 යි.. යාළුවා ගේන පොත් 4 යි... හැබැයි අවුලකට තියෙන්නෙ මං මේ ඔක්කොම ඊලඟ සතිය වෙන්න කලින් කියෝන එක තමා.... මං ඒකටත් විසඳුමක් හොයාගත්තා.... එහා ගෙදර අක්කා ගෙන් ඉල්ල ගත්ත මල් පත්තර කන්දරාවකුත්..... 

අනේ දෙවියනේ එහෙමත් කියවිල්ලක්...... පොත් සිය ගානක්..... මල් මල් හීන ලෝකයක්.....  

මාස ගානක් ගත වුණා... A/L පටන් ගන්නත් ලං වුණා..... සුපුරුදු පරිදි මං library එකේ නවකතාවක් හොයනවා..... මේ වෙද්දි මට කියවන්න පොත් නෑ...

library එකේ සර් ට බලා ඉඳල ඇතිවෙලාද මන්ද අන්තිමේදි මෙහෙම කිවුව..... 

'දැන්වත් ඉගෙනීමට අදාළ පොතක් ගත්තොත් හොඳ නැද්ද ළමයො....' 

ලැජ්ජාවයි... මගෙ අත මටත් නොදැනීම ලඟ තිබුණු සාහිත්‍ය පොතකට ගියා..... 
              "සිංහල කාව්‍ය රසය"  

එදා මෙදා තුර මං තාමත් පුස්තකාලෙකින් නවකතාවක් ගෙදර ගෙනත් නෑ... කොහොමටත් කියවපු නවකතා තොගේට මට ඒක එපා වෙලාම ගියා....

හැබයි ඉතින් එදා ඒ සර් කියාපු වචන ටික අදත් මගේ හිතේ නොමැකෙන මතකයක් වෙලා රැඳිලා තියෙනවා......



රෝසි... (2)

එහා ගෙදරට ආව පුංචි දඟකාරිට ගෙදරට කිවුවෙ රෝසි කියලා.... කිවුවත් වගේ පහුවදා උදේ රෝසි අපේ ගෙදර අවා.... පුංචි කාලෙ ඉඳන් මං එකතු කරාපු බෝනික්කෝ, වාහන වගේ තවත් එකී මෙකී නොකී දෑ දැකලා පුංචි හිත වශී වෙලා.... අදින්නේ මොනාද කියලා හිතගන්න බෑ කෙල්ලට... 

කොහොම වුණත් ඇවිත් ටික වෙලාවකින් තමයි අපිට තේරුණේ මේකා නම් ඉස්සෙක් කියලා...... එක බඩුවක් අදිනවා... බිම දානවා... අපි ඒක ඇහිඳින කොට තව එකක් බිම දාල.... බෝනික්කෙක් අරන් කෑගහනවා මට මේකා ඕනි කියලා... ඒක දුන්නම වෙන එකක් ඕනිලු.... අනේ දෙවියනේ මට පිස්සු නොහැදුනා විතරයි...... 

කොහොම වුණත් ඇවිත් ටික වෙලාවකට පස්සෙ මේ නසරානි කෙල්ලව ගෙදර යවාගන්න අපිට පුළුවන් උනේ ලෝක යුද්ධයක් ඉවර කළා වගේ.....

"අම්මේ.. අපි ඔය තරමින් බේරුණා ඇති" මං අම්මට කිවුවා....


සුළඟ එනු පිණිස...

විවර කළෙමි දොර කවුළු පියන්පත්
හමා එනු පිණිස නැවුම් සුළං රැල්
සුපුරුදු පුස් ගඳ මැකී නොයයි නම්
කුණාටුවක් වුව එනු, නැත තහනම්....





Monday, June 10, 2013

රෝසි...

අපේ එහා ගෙදර හා හා පුරා කියල කුලියට දුන්නෙ පුංචි පවුලකට... අම්මයි තාත්තයි පොඩි බබයි... ආව මුල්ම දවසෙම ඉතින් මේ දෙන්න ඇවිත් අපේ ගෙදර අයට ආරධනා කලා ඇවිත් තේ ටිකක් බීලා යන්න කියලා.... හොඳ නෑනෙ කියලා අපිත් ගියා... එදා තමයි මේ පොඩ්ඩව අපි මුලින්ම අඳුර ගත්තේ...... 

වයස අවුරුදු 2 හමාරක් විතර..... තාම අකුරු කියෝලත් නෑ..... කොහොම උනත් මහා නසරානි කෙල්ලක් කියලා අපිට හිතුනේ දඟලපු දැඟලිල්ලටයි ගෙදර අයට දීපු කට්ටටයි..... අපිත් එක්ක කතා කරන්න හදන හැමවෙලේම පොඩ්ඩා මොනාහරි අදිනවා.... අන්තිමේදි බලද්දි කුස්සියෙ වළං උඩටත් නැගලා.... ඔය අතරෙ බබාගෙ ආච්චම්මා කියනව ඔන්න බලන්නකො මහත්තයා හෙට වෙනකොට මෙයා මහත්තයලගෙ කුස්සියෙ ඉඳීවි කියල..... කොහොම උනත් ඒ ගෙදරින් එළියට බැස්සට පස්සේ මට නම් පුදුම සහනයක් දැනුණේ.... 


ඉතින් ඊට පස්සේ.....

Friday, May 24, 2013

දෙලොවක් අතර......


වඩා හොඳ 
ඉරිඟු කරලක් සොයා
පියනගන විට
ඉරිඟු යායක් මැදින්
හමුවුණි එකදිගට
එකක් දෙකක් නොව
දුසිමකට වඩා.....
පෙනුණි නෙක අසමානතා
අතහැරුණි මා'තින්
ඒ හැම..
යළිත්
දිස්වේ අස්වනු
මගේ නෙතු මානයෙන්
නෙළාගත හැක
නොවෙහෙසී...
එනමුත්
හද ගැහේ..
අත වෙව්ලයි..
නෙළාගන්නේ කුමන කරලද?
මෙවරත් 
අත ළඟම
කරල් 2ක්...............



Thursday, May 23, 2013

මලක සුසුම...


තනි තරුව
අඩ සඳ සමග සිටින
දෑස රිදෙයි
නෙතු නොපියා
ඔබ දෙසම බල හිඳ..
පලක් නැති බව 
දැන දැනම
ඔබ දෙසම බලා හිඳින
අකලට පිපුණු
සුවඳ මල මම....
නෙතු රවටන 
පැහැයක් නැති
රෑ අඳුර මැද
සුසුම් පිට සුසුම්ලන..........



ආරාධනා.....!


වන්දනාවක යන්න
ඔබත් එනවාද පේ වී..
නගර ගම් දනව් මැදින්
රළු බොරළු පාරවල් මතින්..
ජීවිතය ජීවත් කරවමින්
හැකිද ඔබට පියනගන්නට
මගේ දෑතම රැගෙන
බැඳී ස්නේහයෙන්..
ආපසු නොහැරෙමින් කිසිදිනක
දිවි තියෙන තුරාවට........



සතුට


රොනට ඇදෙන සමනලුන්
මල වට රඟන බිඟුන්
දුටු කල..,
මලක් නොවූ පවට
දුක් ගත්තද....
පිපී පරවෙන 
මල් යාය දුටු විට..,
ජීවිතය සොයා ඇදෙන 
කිරිල්ලියක වීමේ පින
මදහසින් 
විඳගතිමි.........



සිහින

බෝ සිහින තිබුණි
යෞවනයේ හිඳන්ම
එකින් එක ජයගතිමි
දළුලමින් නව හීන..
කාල නිර්ණය කළෙමි
ඉලක්ක තබමින්ම
කඩඉම් පසුකළෙමි
සිතූ අයුරින්ම..

අවැසි හැමදේම 
ළඟා කරගතිමි..
අවැසි හැමතැනම
කෙසේ හෝ ගියෙමි..

ගන්ට දේ තව ඇත
යන්ට තැන් තව ඇත
කාලයත් ඉතිරිය
පියඹන්න සිව්දෙස.....




රූප රචනා.....


පද පෙළ වී කවක්
තනුව සමගින්
වූ පසු ගීතයක්
රූප රචනා යොදා
නෙක විකාර නටා
වෙහෙසෙන්නේ මන්ද..
සහෘද හිත තුළ
මැවුනු රූපය 
හෑල්ලු කර දමා.....


කඳුළු...




කියනවාද මට
කඳුලක මිල
තනන්නට මාළිගා
නෙතඟ රැඳි
කඳුළු බිඳු
මිලකර.......

දරු සෙනෙහස....


ආදරෙයි මං
දරුවන්ට හැමදාමත්
තුරුළු කරන් සිඹින්නට
විසිතුරු ඇඳුම් අන්දන්නට
සිහිනයක් විය නිරතුරු
දරුවන් වටකරන් සැනසෙන්නට
ඒත්,
"ඔයාට බබෙක්"
දොස්තර කියූ විට
භ්‍රමණය විය ලෝකයම
සිහිවිණි අනාගත සැලසුම්
නැත ඉඩක් බාධා කරන්නට
දරුවෙකුට වත්
මගේ ගමනට
"මට එපා"
කීවෙමි නොපැකිළව
දරු සෙනෙහස ඉවතලා..........

කර්ම


ඔබ
රොකට්ටුවක් මෙන්
අහසට යන විට
හෙමින් 
හෙමින්
පොළොවට පතිත වූ
වායු බැලූනයයි 
මම.....



අහිමි වසන්තය....


වසන්තය ඇවිත්
සරසවිය සිව් දෙසට
මල් පලස් අතුල මාවත්
කුරුළු ගී නදින් පිරුණු පරිසරය
ගයන සොඳුරු අඬහැරය
පසෙකට වී නිහඬව 
අසා සිටින්නට
ඔබට මට හැකිද
සොහොයුර...

පොත්පත් ලැප්ටොප්
තුරුළු කරන් උදෑසනම 
lecture halls වලට දුවන
දහවල් කෑම පැය
නෙක පෝළිම් මතට දියවෙන
හවස් වනතුරු 
නිදිකිරමින් පුටු රත් කරන
රෑ තුන්යම 
assignments, course work, model
සමගින් දිවිගෙවන
බුද්ධිමත් යෞවනයට
ඉඩක් තිබේද විඳින්නට
යළි යළිත් උදවන වසන්තය......

හඳට කියන අවනඩුව


හඳ අහිංසක වුනේ ඇයි ඒ තරමටම
එහෙම නොවුණා නම්
මං තාම හඳ ලඟ...
හඳ බය වුනේ ඇයි මාව දකින්න
එහෙම නොවුණා නම්
මං හැමදාම හඳ ලඟ...
හඳ ඇයි සාවියක් හොයාගත්තේ 
එහෙම නොවුණා නම්
මං තනි රකිනවා හඳට...
හඳ ඇයි රැඳුනෙ දුර අහසෙම
එහෙම නොවුණා නම්
මං හඳ ගන්නවා මගෙ ළඟට....


මගේ සනුහරේ...


මගේ සනුහරේ
වරෙක 
වංගෙඩියකට මරාගත්හ...
තවත් වරෙක
පර්චස් 90 කට ඇඬූහ...
විටෙක 
අභිමානවත් වූහ...
තවත් විටෙක
අනිකුන් සිනාගැන්වූහ...
කලෙක 
එකට සිටියහ...
තවත් කලෙක
සිව් දෙසට විසිරුණහ...

කවුරුන් කෙසේ කීවද
මගේ සනුහරේ 
ඊයේ, අද මෙන්ම හෙටත්
ෆීනික්ස් කුරුල්ලන්ම විය.....

වෙනස


දෑස් හැරි ඔබ
අහස දුටු කල
දෑස් වැසි මම 
පොළොවටම වැටුණි..
යළිත් අවදිව
ඔබව දුටු කල
වෙනස වැටහිණි
ලෝක දෙක තුළ..

තනා පාලම්
වෙහෙස වනු බෑ..
කැමති දෙසකට 
යන්න සිත නෑ..
තවත් කඳුලැලි 
සලනු මට බෑ..
අහිමි හීනෙක 
හිඳ පලක් නෑ........


Wednesday, May 22, 2013

කටු ඔටුනු


දයාබර වසන්තය
කිමද මා තනිකර දමා
දුර ඈතටම දිව ගියේ
ගිම්හානයට පෙම් බැඳ 
ඔබව අමතක කළා දැයි 
සිතුවේ කෙලෙසකද....
සුරපුරක් සොයා මා 
අසපුවෙන් පැමිණි සඳ
බොහෝ දෑ අහිමි වී ඇතැයි 
අරුත්සුන් දිවිය
යළි යළිත් පසක් කරනා සඳ 
කෙලෙස නම් මුහුණ දෙන්නද
මේ රුදුරු ලෝකයට....
වත පුරා නැගෙන සිනහව 
හිත පුරා නොමැති යයි 
හැඟෙන කල....
වාවාගන්නේ කෙලෙසකද 
දිවිය අයදිමින් යදිනා යැදුම.


හිස් අහස...


සිත නිවන ගීතයක
මුල් පදය මුමුණන්න
කල්පයක කාලයක් 
අයදින්නෙ ඇයි මසිත
පද ඇතත් තනු ඇතත්
ඒකාත්මික නොවේ
මන්ද මේ ජීවිතය 
හිස් බවින් තැවෙන්නේ...........???????


වෙන්දේසියට සූදනම්....


මවමි නෙක සිහින
දරනෙමි දහසකුත් එකක් වෑයම්
විකිණෙන්නට
වැඩිම ලංසුවට
ජීවිතය මිල කරන
යාන්ත්‍රික ලෝකයක.....


රාත්‍රිය හා මම





රාත්‍රිය
නිසලය
නිහඬය
අඳුරුය
පාළුය
මා මෙන්ම.....

මගේ කවිය.....


රන් රුවන් මුතු මැණික්
සොයන විට ලෝකයම
ගල් බොරළු සිප්පි කටු
නොදැක පෑගෙයි පයට
රන් රුවන් සොයන්නන්
සිහින මවනා සතුට
නිති පයට පෑගෙනා
සිප්පි කටු අතර ඇත........