Friday, June 3, 2016
උපන්දින සුබ පැතුම්.....
හලෝ ඉර !
කියන්න කිසිම දෙයක් මතක් වෙන්නේ නැතත් මොනවත් නොලියා ඉන්න හිතෙන්නේ නැහැ උපන් දිනේ මතක් වෙද්දී.
ඔන්න එහෙනම් නොවැම්බර් 09 වෙනිදාවක උපන් පින්වත් කුල කුමරුවාගේ නමට පළවෙනි වතාවට වගේම අන්තිම වතාවටත් මගේ අතින් උපන් දින සුබ පැතුමක් ලියවෙනවා. ඔව්. දැක්ක ගමන් හිතාගන්න බැරි වුණත් මම මෙහෙම දෙයක් කරාවි කියලා මේ ලියන්නේ ඔයාට තමයි කොල්ලෝ.
අපි අඳුර ගත්තේ මීට අවුරුදු හතරකට කලින්. නිකං ඉන්න බැරුවට ඉලක්කම් ටිකක් චැට් එකේ ටයිප් කරපු කරුමෙට... නැද්ද හා... ඒ ඉලක්කම් ටික ගිය දුර අන්තිමේදී.... කොහොම වුනත් සෙට් වෙලා පළවෙනි පැයෙන් ම ෆිට් වෙච්ච දෙන්නෙක් අපි. එදා ඉඳන් අද වෙනකල්ම වෙනසක් නැතුව පිස්සෝ වගේ හිනාවුණු දෙන්නෙක් අපි.
අවුරුදු තුනක් ගතවෙද්දී අපි දෙන්නා වර්ස්ට් බෙස්ට් ෆ්‍රෙන්ඩ්ස්ලා වෙලා මගේ ඒක පාර්ශ්වීය කුළුඳුල් ප්‍රේමය බවට ඔයා පත්වුණේ නම් පූරුවේ කරුමෙකට හලෝ....
ඔයාට වැඩක් වුනෙත් නැහැ. මට වැඩක් වුනෙත් නැහැ. මොකද මම ඔයාට ප්‍රේම කරද්දී ඔයා වෙන කෙල්ලෙක්ට ප්‍රේමය පුද දී අවසානයි නේ..... ඒකෙන් වෙච්ච එකම වැඩේ මම ලියන්න පටන් ගත්ත එක විතරයි. කෙටිකතා, නවකතා, කවි, නිසදැස්... ඔක්කොම ලියන්න ගත්තේ ඒ කුළුඳුල් ප්‍රේමය නමින් නේ....
අපි තරහා වුනා... අපි රණ්ඩු කළා.... අපි ආයෙමත් යාළු වුණා..... මොකද අපි අපිව තේරුම් ගත්ත නිසා. අපේ අතීතය, අපේ වර්තමානය, අපේ අනාගතය එක්ක අපේ සම්බන්ධතාවය රැඳෙන්න ඕනි විදිය අපි තේරුම් ගත්ත නිසා....
මම ආදරේ කළා, මගේ ආදරේ අහිමිවුනා, මම කඩා වැටුණා, මම ආයෙම නැගිට්ටා..... කොහොම වුනත් තවත් අවුරුද්දක් ගෙවිලා ඉවර වෙද්දී ආයෙමත් වතාවක් තව කෙනෙක්ට හිත පිරෙන්න ආදරේ කරන්න මට දැන් පුළුවන්. බොහොම සැහැල්ලුවෙන්. ආදරණීය විදියට.... මේ වෙද්දී පොඩ්ඩක් පණ්ඩිත වුනත් ඉස්සර තිබුණු දඟකාර මුඩ් එක ආයෙමත් ඇක්ටිවේට් වෙලා තියෙන්නේ දැන්....
මං හිතන්නේ මගේ ඒ සිතුවිල්ල තමයි මේ වතාවේ මට ඔයාට දෙන්න පුළුවන් තිළිණය! මොකද මම දන්නවා මම ඉස්සර වගේ හිනා වෙලා ඉන්නේ නැති එකට ඔයා සෑහෙන්න හිතෙන් දුක් වෙනවා කියලා.... ඔයාටම වරද කියාගන්නවා කියලා..... ගණන් ගන්න එපා හලෝ. ඒක පොඩි වයර් ෂෝට් එකක්. දැන් මොළේ ආයෙමත් වැඩ.
ඉතිං එහෙනම් මොනාද පතන්න ඕනි 29 වෙනි අවුරුද්දට....
මම දන්නවා ඔයා අද ඉන්න තැනට ආවේ රෝස පෙති උඩින් නෙමෙයි කියලා. ඒ අඳුරු මතක හැම එකක්ම නපුරු හීනයක් වගේ හිතෙන් අමතක වෙලා යන්න කියලා පතනවා......
අදින් පස්සේ එන හැම ප්‍රශ්නෙකටම එදාට වඩා හොඳට මුහුණ දෙන්න හිතට සවිය ලැබේවා කියලත් පතනවා......
ඒ වගේම හිතේ සැනසිල්ලයි සතුටයි හැම මොහොතකම දෝරේ ගලාගෙන යන්න කියලත් පතනවා.........
ඔක්කොමත් හරි. මේ අවුරුද්දෙවත් අර කෙල්ලත් එක්ක මරාගන්න එක නැවතිලා අපිට වෙඩින් බෙල්ස් වල හඬ අහන්න ලැබේවා කියලා පතනවා.............
තවත් නම් කියන්න කිසිම දෙයක් මතක් මතක් වෙන්නේ නෑ බං. කොහොම වුනත් අන්තිමේදී අපි දෙන්නගේ සුපුරුදු භාෂාවෙන් සුබ පතනවා නම්,
" අඩෝ Happy Birth Day ! "
වෙලාව 12.00 යි ඔන්න.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment