Friday, June 3, 2016
තනිකම සහ මම !
මම පවුලේ එකම දරුවා. ඒ නිසාම වෙන්න ඇති පුංචි කාලේ ඉඳන් අද වෙනකල්ම නොවෙනස්ව මා ළඟ තිබුණු දේ වුනේ "තනිකම".... සෙල්ලම් කරන්න ගියත් තනියම... කන්න, බොන්න, පාඩම් කරන්න, යන්න, එන්න... ඔය ඕනිම දෙයක් තනියම.... ඒ තනිකම මැකුණේ අම්මයි තාත්තයි ළඟ ඉද්දි විතරයි....
හැබැයි මම තනිකමට හුරු වුණා. තනිකමට පෙම් බැන්දා... සතියක් මාසයක් අවුරුද්දක් තනියම හිටියත් මගේ හිතට පාළුවක් දැනිලා නැත්තේ ඒ නිසා වෙන්න ඇති.
කාලේ ගෙවුනා. ටිකෙන් ටික වයසින් වැඩි වෙද්දී මගේ මිතුරු වළල්ල පැතිරෙන්න ගත්තා..... යන යන හැමතැනම මට යාළුවො හිටියා. ඉස්කෝලේ... අමතර පන්තිවල.... සරසවියේ.... බෝඩින් වල.... හැමතැනම යාළුවො....
ඒත්, පුංචි කාලේ ලඟින් හිටිය තනිකම කවදාවත් මාව අත ඇරලා ගියේ නැහැ.
දහස් මුවකින් නැගෙන ඔල්වර
සිනා හඬ දසතින් ඇසේ
දහස් ගණනක් සෙනග අතරේ
මහා තනියක් මට දැනේ.
කියලා මහගම සේකර 'නොමියෙමි' පොතේ ලියලා තිබුණු දේ මම තේරුම් ගත්තේ මගේම අත්දැකීමෙන්. ඒ තනිකම මැකෙන්න කාලෙන් කාලෙට හිත ළඟ සක්මන් කරපු අය නොහිටියා නෙමෙයි. ඒත්, වෙනසක් තිබුණා. නිදා නොනිදා හිත පතුලේ තිබ්බ සේයාවක් හැම වෙලාවෙම මාව තනියම තිබ්බා. ඒ හෙවණැල්ලට පණ පෙවිලා මගේ ඇස් මානෙට අහුවෙන මොහොත දක්වාම..... ඒ නිසාම වෙන්න ඇති මගේ ජීවිතේට ආව හැමකෙනෙක් ඇතුලෙම මම ඒ සේයාව හෙව්වේ...
තනිකම දැනෙනා මොහොතේ
නුඹව මතක් වෙන්නා
තනියට ළඟ උන්නා නම්
හොඳයි කියා සිතෙනා
තනිමග යන්නට මා දුටු
සිහිනය බොඳ කරනා
තනි හිත දෙතැනක රන්දන
නුඹ කොතැනද සිතුණා..........
වරක් දෙකක් නෙමෙයි. සිය දහස් වාරයක් තනිකම දැනිලා ඇති. මට මාව මදි වෙලා ඇති. මම දන්නේ නැහැ. ඒ තනිකම මකන්නට එන්න ඉන්න නුඹ ඉන්නේ මගෙන් හුස්මක දුරද.... නැත්නම් සත් සමුදුරෙන් එහාද කියලා...
ඒ වෙනුවට මම දන්නේ එකම එක දෙයයි.
මගේ තනිකම මකන්නට..
කවදාක හෝ
"නුඹ"
එනකල්..
මේ හිත බලාගෙන ඉන්නවා....
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment