Friday, November 11, 2016

දුරස් වුනු ජිවිත....



ජිවිතේ කවදාම හරි දවසක ඈත් වෙලා ගිය ආදරණීය සගයෙක් ඉන්නවද.... හේතුවක් ඇතුව හෝ නැතුව.... හේතුවක් තාමත් හිතට හිතාගන්න බැරුව.... එක කාලෙකදී ජිවිතේ ට ගොඩාක් සමීප වෙලා..... හැමදේම බෙදා හදා ගෙන..... එක පාරටම ඈතට ගිය ජීවයක්.... හොඳට හෝ නරකට ඈතට යන්න ඉඩ දුන්නු ජිවිතයක්.... ආදරේ ද යාළුකමද කියලා හිතට හිතාගන්න බැරි වුනු සම්බන්ධතාවයක්..... 

ඒ ඔයාගේ කතාවද.... එයාගේ කතාවද..... මගේ කතාවද.... නැත්නම් අපේ කතාවද.....

ජිවිතේ ලස්සනයි කියනවා..... සමහර මතකයන් නිසා.... සමහර චරිත නිසා.... ඒත් එක්කම ජිවිතේ දුකයි කියනවා..... සමහර දේවල් අපි පතපු විදියට සිදු නොවුණු නිසා.... අපි නොහිතපු දේවල් සිදු වුනු නිසා.....

ටිකක් හිතලා බැලුවොත්.....

හමුවීමත් වෙන්වීමත් අතර... උවමනාවත් එපා වීමත් අතර..... අපි ගතකරපු ඒ අවකාශය.... දැන් අපිට අහිමියි නේද..... කැමැත්තෙන් හෝ අකමැත්තෙන්.... අපි ඒ අවකාශෙන් මේ වෙද්දී මිදිලා නේද....

ඒත්,

ඒ අපේ අවසානය නෙමෙයි නේද........




සෙනෙහසින් සුබ පතමි නුඹ උපන් දින මෙසේ...




නුඹ ඉපදුණේ අම්මා පිං කළ හන්දා 
ඇතිදැඩි වුණේ දුක් කරදර හිත රන්දා
තාත්තා නැති ගෙදර ඒ තැන ගත් හන්දා 
තාමත් තනිකඩයි ජිවිතෙ බර රන්දා....

හිරු පායද්දි දැනෙනවා නුඹ හොඳින් කියා 

සඳු පායද්දි දැනෙනවා නුඹ තනියි කියා
අට ලෝ දහම හැම සතහට පොදුයි නිසා
හිතෙනව නුඹට වස්සානය ළඟයි කියා.....

දින සති ගෙවෙන කල පාළුව නොදැනේවා
නිදහස නොමැති කල හිත දුක නොදැනේවා
කරදර ආව කල වෙහෙසක් නොදැනේවා
පතනෙමි නුඹට හැම යහපත අත්වේවා......

නුඹ හිමි වුණු අම්මා වාසනාවන්
නුඹ හිමි වුණු මල්ලිලා වාසනාවන්
නුඹ පිය වෙන දරුවන් වාසනාවන්
ඒ පින ලබන්නට නුඹ වාසනාවන්..........!




~~ Bees and Me ~~



Today is my last day at work. I was finishing my unfinished businesses. Suddenly I heard that maid of this house shouted "bees are leaving !" 

Oh ! I forgot to say about my work place. It's a volunteer base non-government organization, located at the second floor of a house which belongs to the president of this organization. Indeed a nice place. Usually foreign and local volunteers visit here to help us and the environment is so cool. Yup. It sounds heavenly !

But, there is something strange here. People just come and go. Nobody wants to stay so long. A month or two is the longest for anybody. May be the hardship or distance or whatever makes them feel not to stay but to leave. I don't know.

2016 arrives and I came at the dawn of the new year as a project coordinator of the first funded project of this 15 year old organization. The first coordinator left her job after two months and I came as the replacement. It was my first outdoor experience as a newly graduated student. Thank GOD ! I loved to travel and work with people. Gradually, the new doors opened on my way and I had my first overseas experience after three months. Life was good !!

One day, I heard humming outside of the window at my work place. Usually I'm not an environment lover so I cannot understand the sounds of animals differently. But, for the first time I recognized this sound as humming of bees. I shouted. 

"Bees are coming !"

It was such a good news for all of us because my superior does gardening as her hobby. She had two boxes for bee keeping and she was waiting months or years to see 'bees'. She had them soon after she fixed those but those bees left her when the time comes as humans whom around her. Everybody was so happy and wondered how quickly I could recognized those bees. 

Months passed in the blink of an eye. I had to faced so many challenges. I had to work hard. I had no leaves. I had no appreciation for my hardships. I had no personal life. I had nothing for myself at the end. Yes. I was so down and worried about myself. 

"What am I doing here? I'm capable enough to move and find a new place to work. Why should I stay here?"

I missed my self. I was about to leave. So I gave my resignation to my superior ultimately. It was just two months before completing my project. Everybody got shocked as I expected !!!

I was the only one who stayed 8 months here. It was kinda a record in this organization and I knew that my superior will face a hard time without me running this project. So we both decided to stay till we find a suitable replacement. Meantime, options and new packages came along my way to re consider my resignation. 

At the end, we found nobody to similar with my capacity to handover my project and I decided to finish it by myself. After two months, I completed it successfully and heard what I wanted to here since I joined with this organization. 

"This is the most effective coordinator I had in my 15 years of this organization"

Aha. That's enough. I made this organization socially and financially stable as much as I could. I gave opportunities for those who need. Everybody loves me and still worrying about my decision including our maid and drivers. I did my best and this is the high time to leave. 

So, I was preparing to leave though I had known that my superior doesn't want to send me off. I was busy with cleaning and settling my things. No regrets. I was bit exited about my next move. And then, suddenly I heard our maid's voice. 

"Bees are leaving !" 

Can this be happen? I felt strange. I told you once. I'm not an environmental lover. The only thing I could recognized after joining with my team is these bees. They are not done with their business as our maid says. But they left all of a sudden. I heard she said, 

"Bees who came after her left before her.........."




~~~~ හදවත ~~~~




ගැස්සුනි....
පැද්දුනි.....
වැළපුනි....
අවසන,
නිහඬ විණි.

If found, do not return !



ආසාවත් එපා වීමත් අතර අවකාශය ජීවිතය ද.....


කාලෙකදී අපි ගොඩක් කැමති දේවල් තවත් කාලෙකදී අපිට එපා වෙනවද..... දේවල්... මිනිස්සු.... යන්න ආසා කරපු තැන්.... ඉන්න ආසා කරපු තැන්... කරන්න ආස කරපු දේවල්... මේවා කාලෙකදී 'ප්‍රියතම' ලිස්ට් එකේ තිබිලා තවත් කාලෙකදී 'නියුට්‍රල්' ලිස්ට් එකට වැටිලා තවත් කාලයක් යද්දී 'අකමැති, කම්මැලි' ලිස්ට් එකට වැටෙනවද..... 

මට හිතාගන්න බැහැ. ඒත් මට නම් මෙහෙම වෙලා තියෙනවා..... ගොඩක් වෙලාවට.... මගේ නම් දැන් කවි, කතා ලියපු හිතටත් එහෙම වෙලා වගේ.... මොකද මේ වෙද්දී ලියනවා කියන එකත් වැටිලා තියෙන්නේ අන්තිම ලිස්ට් එකට.....

ඒ නිසාම වෙලාවකට හිතෙනවා.........

අනාගතේ මොනවා වේවිද කියලා...........

ඉස්සර ලිවුවා වගේ.... ආයෙමත් කවදාවත් මම නොලියාවිද කියලා.... 

මොකද ඒක මට දැන් ඒ තරමටම කම්මැලි වැඩක් වෙලා....


නිහඬ බව හඬ නැගුණි !


මන්දිරේ සිටින උන් 
මහ පොළොව දෙස බලන් 
ජිවිතේ සොයන බව 
සැක කලෙමි මම හිසින්

නිහඬවම සැලෙන සිත්
මහ හඬින් කෑ ගසා
සටන් වදිනා බවත්
දැන උනිමි තිර ලෙසින්

පත් සිඳුණු තුරු මතින්
මල් පිපෙන වග දිනෙක
විස්වාස කලෙමි මම
හෙමි හෙමින් හෙමි හෙමින්..

නුහුරු නෑ ඒ හැඟුම
එක සමයි හැමතැනම
නොවෙනස්ව අහස මත
දකිමි මම අද ඉතින් ........




නුඹ මට හිමි තැන !




හිත නැවතුණු තැන
හිත රැවටුණු තැන
හිත සැනසුණු තැන
නුඹ මට හිමි තැන




මග හැරුණු ජිවිත.....


කාලෙකට කලින්.... යාළුවෙක් හම්බුණා. වෙන කොහෙන්වත් නෙමෙයි. මේ ෆේස්බුක් එකෙන්ම. අපි අඳුරගත්තේ කවි වලින්. මම කවි ලිවුවා. එයා කවි කියෙව්වා. කවි ගැන පටන් ගත්ත කතාව දිගට දිගට ඇදිලා ගියා. එයා එක සරසවියක. මම තව සරසවියක. දෙන්නම ඒ වෙද්දී දෙවෙනි වසරේ මට මතක විදියට. 

අපි යාළුවො වුනා. ෆෝන් නම්බර්ස් මාරු කරගත්තා. කතා කළා. අපි බිසී වුණා. අපිට අපිව ටික ටික මගහැරුණා. ඒත් නොවෙනස් එක දෙයක් තිබුණා. විශේෂ දෙයක් තිබුණොත් අපි අමතක නොකර ඒක අනිත් කෙනාට කිවුවා. 

අපි ට්‍රේනින් ගියා...
අපි කැම්පස් අවුට් වුනා...
මට ජොබ් එකක් හම්බුණා....
මම බයික් එකක් ගත්තා....
මම චාර්ටඩ් කම්ප්ලිට් කළා....
මම කාර් එකක් ගත්තා....
මම මාස්ටර්ස් පටන් ගත්තා.....

ආඩම්බරකමක් තිබ්බේ නැහැ දෙන්නගෙම හිතේ.... ඒ පණිවිඩ කිවුවේ හරිම ආසාවෙන්. පඩිපෙළේ තව පඩියක් උඩට නැග්ග කියලා අනිත් කෙනාට කියන්නයි ඕනි වුනේ...

අවුරුදු පහක් ගෙවිලා ගියා.... අද උදේ මගේ කාමරේ හිටිය යාළුවෙක් මගෙන් අහනවා.....

" සරා 
උඹේ හිත ගිය කොල්ලෙක් ඔය ලිස්ට් එකේ හිටියෙම නැද්ද..."

මම ටිකක් වෙලා කල්පනා කළා.

"අනේ මන්දා පවනි. ලිස්ට් එකේ හිටිය උන්ගෙන් ඉතුරු වෙලා ඉන්නේ දෙතුන් දෙනයි. උන්ගෙන් එකෙක් ඇහුවොත් නම් මං හිතන්නේ මම හා කියයි...."

හවස කෝල් එකක් ආවා....

"ඉතිං ඉතිං.... මොනාද අලුත් විස්තර......?"






"හොඳයි...... ම්ම්ම්..... වෙනසක් නෑ ඉතිං..... ආ.... අමතක වුණා.... මට දැන් කෙල්ලෙක් ඉන්නවනේ....... ඔයාට කියන්න බැරි වුනා නේ ඒක...."




සත් සියක් පොත් මැද සත් වැනි සඳක් දුටු අප.....


වසරකට පස්සේ
සෙමින් හිත ගැස්සේ
පොත් මාසේ අස්සේ
මතකයන් සිත්සේ....

මට නුඹව හමුවුණු
සුසුම්වැල් පැටලුනු
කතාවක් ඇරඹුණු
අතරමග නැවතුණු.....

සතුට මට ගෙනදුන්
දැනුම මට ලැබදුන්
තනිකමට තිත දුන්
නුඹයි මගේ සකි නම්...

දකින්නට රිස්සේ
පොත් ගොඩක් අස්සේ
හිත මාගේ ගැස්සේ
වසරකට පස්සේ......



Tuesday, June 28, 2016

මට ඕනි ගමන් සගයෙක් !


මගේ පුංචි නගරයෙන් අරඹලා 
දවසින් දවස 
මාසෙන් මාසේ 
අවුරුද්දෙන් අවුරුද්ද 
රටෙන් රටට 
නගරයෙන් නගරයට 
මගේ ගමන යන්න. 
අලුත් අත්දැකීම් විඳින්න.
වෙනස් මිනිස්සු හම්බවෙන්න..
පොද වැස්සේ නටන්න..
පදික වේදිකාවෙ කෑම කන්න.. 
මහපාරේ බෝල ගහන්න.. 
තරගෙට බයිසිකල් පදින්න..
මුහුදු වෙරළේ සරුංගල් අරින්න..
අතේ සතේ හිඳෙනකල් ඇවිදින්න..
පාර්ට් ටයිම් ජොබ් කරන්න..
මහන්සි හිතුනම නවතින්න..
ආයෙමත් ඉගෙන ගන්න..
එපා වුනාම සංචාරය අරඹන්න.
ඔව්. 
මට ඕනි ගමන් සගයෙක්. 
මාත් එක්ක මේ ගමන යන්න.



ඉරිසියාව !


ඉරිසියාවයි හිතට බලා ඉන්නේ කොහොම
අනිත් උන් නුඹ එක්ක මුකුළු කරනවා නේද
මට ඉතින් බෑ ඉන්න නුඹට නොලියා මෙහෙම
ඒත් මම ලිව්වොතින් නවතින්නේ අපි කොහෙද......... 

හිත සැලෙයි අත සැලෙයි 
පද එකින් එක බැඳෙයි
තරහවයි හිත රිදෙයි
මම නුඹට ආදරෙයි

එහෙත් නුඹ බඹරෙකි 
මලින් හිඟයක් නැති
මම ආවොතින් යළි
නිමාවක් නම් නැති.................



"මෝඩකම"



කාලයත් එක්කලා සමහර දේවල් වෙනස් වෙනවා..... ඒ වගේම කාලයත් එක්කලා කවදාවත් වෙනස් නොවෙන දේවලුත් තියෙනවා. මේක කියවද්දී හිතට එන පළමු දේ "ආදරය" නම්....... මේ කියන්න යන්නේ ආදරය එහෙමයි කියලා නෙමෙයි. 

මා ළඟ තියෙන උත්තරේ "මෝඩකම" කියලා... 

ජිවිතේ එක කාලෙකදී හමුවෙලා.... තවත් කාලෙකදී අත ඇරිලා..... ආයෙමත් කාලෙකදී ළඟට එන සම්බන්ධතා වලට නොසිඳෙන සෙනෙහසින් දොර කවුළු විවර කරන්නේ ආදරය නිසා නෙමෙයි.. මෝඩකම නිසාවෙන් කියලයි මට දැනෙන්නේ.... 

ආයෙමත් දවසක ඈතට යාවි කියලා දැන දැනම.... මග වැරදිලා ආයෙමත් වතාවක් තමන් ඉදිරියට ආව ජිවිත ආදරෙන් පිළි අරගෙන ඒ හිත් සනසලා අවසානෙදි තමන් තැවෙන්නේ ආදරය නිසා නෙමෙයි.. මෝඩකම නිසාවෙන් කියලයි මට දැනෙන්නේ.... 

මොන දේ කලත්.... මොන දේ වුනත්.... හීනෙකින් වත් තරහවක් නොසිතෙන්නේ ආදරය නිසා නෙමෙයි.. මෝඩකම නිසාවෙන් කියලයි මට දැනෙන්නේ.... 

හැමදාමත් වගේ අදත් මට හිතෙනවා. 

හමුවුණු අය හමු නොවුනා නම්.....
සමහර මතකයන් අමතක වෙලාම ගියා නම්.......

ජීවිතය මොනතරම් නම් වෙනස් වෙන්න තිබ්බද...... 
ඔව්. 
කාලෙකට පස්සේ මං ආයෙමත් වතාවක් කියනවා.

ජිවිතේ හරිම පුදුමාකාරයි.... ආදරේ හරිම ඉවසිළිවන්තයි..... 

"මෝඩකම" 

ඒක හරිම මෝඩයි.............. !




Sunday, June 5, 2016

නොරිකො මේ අහපන් !



නොරිකො සං මේ අහපන්
මේක ඩිංගක් හිතපන්
මියෙන්නට මත්තෙන්
නුඹේ ඔය ආදරේ නාමෙන්
.
කාලෙකට පෙර ඇවිදින්
දී සිතට නුහුරු හැඟුමන්
සනසමින් නුඹ හදවතින්
පිටව ගොස් ඔහු නුඹ වෙතින්
.
බැරිනම් ඉන්ට නොගොසින්
ආසා නුසුන් කර නුඹ යන්
එහෙත් සොයුරිය සිතපන්
යන්ට බැරි බව නෑවිදින්........




වැරදීම




කුවේණි ට 
වැරදුණු තැන 
අපිටත් 
වරදිනවා 
තාම...........


Friday, June 3, 2016

සනීප වෙන්න ! ඉක්මණින්ම !! හැමදාටම !!!




මගේ ජීවිතේට හම්බුණු විවිධාකාර පිරිමි චරිත අතරේ කිහිපයක් තියෙනවා ඉතාම සුවිශේෂී වුනු.... මගේ කැමැත්තවත් ආසාවවත් නැතුව මගේ සෙනෙහස අරගත්තු.... මට සහෝදර හැඟීමක් දැනුණු..... 

ඒ අතරින් මේ ලියවෙන චරිතය විශේෂයි ! දැකපු මුල්ම දවසෙදීම මගේ අවධානෙ අරගත්තු... මගේ උවමනාවෙන් නොවුනත් ඔෆීෂියල් දේවල් නිසාම කතා කරන්න වුනු චරිතයක් නුඹ....

ඔව්. අපි හම්බුණේ මැලේසියා යන්න හිටිය ටීම් එක ඒ ටුවර් එකට කලින් හම්බ වුනු මුල්ම සහ අවසාන වතාවේදී. වීසා වලට ඕනි ලියකියවිලි එක්කලා ටීම් එකේ අයගේ සල්ලි එකතු කලේ මම නිසයි අපි මුලින්ම කතා කලේ. කොහොම වුනත් ටිකට්ස් ලෑස්ති කරපු ඒජන්සි එකේ හොඳකම නිසා ටීම් එකේ විසි පස් දෙනාට යන්න සිද්ධ වුනේ ෆ්ලයිට්ස් කීපයක. මම පළවෙනි එකේ. ඔයා දෙවෙනි එකේ. අපි උදේ දහයට ගියේ. ඔයාලා එද්දී රෑ දහයයි. මගේ රූමි දෙවෙනි ෆ්ලයිට් එකේ එන නිසා මම නොනිදා බලා හිටියේ. අන්තිමේ බලද්දී අපේ රූම් එකට ඉස්සරහා එකට තමයි ඔයාලා ආවේ. ආව ගමන් ඇවිල්ලා ගෙදරට කතා කරන්න වයිබර් යන්න ඕනි නිසා මගෙන් වයිෆයි පාස්වර්ඩ් එකත් ඉල්ලගෙන.. ෆේස්බුක් එකේ මට රික්වෙස්ට් එකකුත් එවෙලේම දාගෙනම තමයි ඔයා ඔයාගේ රූම් එකට ගියේ. 

කොහොම නමුත් ඉන් පස්සේ දවස් දහයක් පුරා අපේ ඉස්සරහ ගෙදර වුනේ ඔයාලා. පළවෙනි දවසේ අපි කලින් නැගිට්ටා. එදා වටේම් රූම්ස් වල දොරවල් වලට ගහලා ඇහැරෙව්වේ මම. හැබැයි දෙවෙනි දවසේ ඉඳන් අපි නිදි. ඉතිං උදේම අපේ බ්ලොක් එකේ දොරවල් වලට ගහලා "Good Morning සිරි ලංකන් පීපල්" කියලා ඇහැරවන්න ගත්තේ ඔයා. 

දවසින් දවස අපි හොඳ යාළුවො වුණා. ලෙක්චර්ස් වලදී අපි දෙන්නා හිටියේ එක්කෙනාට එක්කෙනා පේන මානේ නිසා බෝරින් ලෙක්චර්ස් අතරමැදදී අනිත් එකා නිදිද බලලා තිබ්බ නිදිමත යන්න හිනාවෙන්න අපි පුරුදු වෙලා හිටියා. හවසට ෂොපින් යද්දී ටීම් එකේ අය දෙන්නා තුන්දෙනා වෙන වෙනම යද්දී අපි එකතු වෙලා බඩු ගන්න ගියා. ගෙවල් වල අයට බඩු තේරුවා... කෑවා... බිව්වා..... කියෝ කියෝ හෙමින් හෙමින් ඇවිදගෙන හොස්ටල් එකට ආවා.... අපි දෙන්නා හොඳ යාළුවො වුනා. උදව් ඕනි හැම වෙලාවකම මගේ උදව්වට ඔයා හිටියා. එදත්.. අදත්... 

මම එකක් දැනගත්තා. පළවෙනි දවසේ ඉඳන්ම. 

You are a gentleman ! 

අනිත් අතට ටීම් එකේ අය නොදන්න දෙයක් මම දැනගෙන හිටියා. ඔයා ඉන්නේ හොඳ සෞඛ්‍ය තත්ත්වයක නෙමෙයි. ඒ වෙද්දීත් ඔපරේෂන් තුනක් කරලා හිටියේ. ජනවාරි මාසේ කරපු අන්තිම එක ගොඩක් සීරියස් එකක් වගේම ඒ නිසා ඔයා හිටියේ ගොඩක් පරිස්සම් වෙන්න ඕනි තත්ත්වයක. කැන්සර් එකක් සනීප වෙද්දී ඔයාගේ හාර්ට් එකේ ප්‍රශ්නයක් ඇවිත් තිබ්බේ. ඒ නිසා ඔයා හිටියේ මැෂින් එකක් එක්ක. දුවන්න.... නටන්න.... වගේ දේවල් කරන්න ඔයාට පුළුවන් වුනේ නැහැ. මේ දේවල් දැනගන්න දැනගන්න මට ඕනි වුනෙත් කාලෙකට පස්සේ මට හම්බුනු මේ විශේෂිත සහෝදරයව රැකගන්න. ඒ නිසාමයි පුළුවන් හැම මොහොතකම මම ඔයා ගැන හොයලා බැලුවේ. 

අපේ ටුවර් එක ඉවර වෙලා අපි ලංකාවට ආවා. විසි පස් දෙනා ලංකාවේ හැම පැත්තටම විසිරිලා ගියා. ඒත් අපි සති දෙකකට වතාවක්වත් කෝල් කළා. ඒ සුපුරුදු කෝල් එකයි අදත් මම ගත්තේ. ඒත් අහන්න හම්බුනේ නරක ආරංචියක්. 

මගේ ආදරණීය සහෝදරයා ආයෙමත් ලෙඩ වෙලා. 

හාර්ට් එකේ උදව්වට දාපු මැෂින් එක නිසා ආයෙමත් වතාවක් කැන්සර් එක ඇවිල්ලා. මැෂින් එක වෙන තැනකට නොදැම්මොත් රේඩියෝ තෙරපි කරන්න වෙන්නේ නැති ලු. මේ හැමදේම කලත් අනාගතේ අවිනිශ්චිතයි. 

"අඟහරුවාදා ඔපරේෂන් එක නංගි".......... 

මම මොනවද කරන්නේ..... කරන්න ඕනි මොනාද කියලා මම දන්නේ නැහැ. අයියට හොඳටම අසනීපයි කියලා විතරයි මට දැනුණේ. ඒත් කරන්න පුළුවන් කිසිම උදව්වක් නැහැ.

මට පුළුවන් ලියන්න විතරයි.
ඉතින් මම ලියනවා. 
ඒ වගේම හැම මොහොතකම පතනවා.....
මගේ ආදරණීය සහෝදරයට සනීප වෙන්න කියලා.....
සසර වසන තුරු කවමදාවත් මේ වගේ දුකක් නොවෙන්න කියලා.........

බුදු සරණයි !!! 
________________________________
ප.ලි. 

මේක කියෙව්වම එන මූලික ප්‍රශ්න ටිකටත් මේ ගමන්ම උත්තර දීලා ඉන්නම්කො..... 

මේ අයියා බැඳලා. ඒක වැලි කෙලියේ පටන් තිබ්බ ආදර අන්දරයක්. හරිම හොඳ අක්කා කෙනෙක් අයියට ඉන්නේ. පොඩි ළමයි දෙන්නෙකුත් ඉන්නවා. අයියා රූපවාහිනී මධ්‍යයේ සක්‍රිය චරිතයක්. ඒත් නිරහංකාර, සමාජශීලි, හිත හොඳ මහත්මයෙක්. ඉතින් මේ කොල්ලා අසනීපෙන් ඉද්දි හිනාවෙලා ඉන්න අපිටත් අමාරුයි. ගොඩක් දුකයි. ඒත් කරන්න කිසිම දෙයක් නැහැ ප්‍රාර්ථනාවක් මිස. 

අපි ගොඩක් ඉන්නවා මෙතන. පුළුවන් නම් හැමෝම එකතු වෙලා එයාට නිදුක් නිරෝගී ජිවිතයක් ප්‍රර්ථනා කරමු. මම විස්වාස කරනවා ඒ ප්‍රර්ථනා වලින් වෙනසක් වේවි කියලා... යහපතක් වේවි කියලා....................




අනාගතය අදයි !




ඔෆිස් එකේ වැඩ සියක් අස්සේ කොහේදෝ මන්දා රේඩියෝ එකක් හඬ තලනවා.... 

"රණ්ඩු කරගෙන යාලු වෙන්නට 
හිටියේ මට ඔබ විතරමයි........

අනේ මන්දා.... හිත එහාට යනවා.... මෙහාට එනවා.... සමහර යාළුකම් අමතක කරන්න සෑහෙන්න අමාරුයි අප්පා...... සමහර බැඳීම් ඒ තරමටම හිත ළඟ රැඳිලා.... මොකද කියන්නේ සඳේ..... කොමාවක් ද තිතක් ද තියන්නේ මේ මතක රචනාවට.

ලියනවා නම් ලියන්න දේවල් ඇති තරම්. ඒත් බෑ හිතෙනවා. 2016 ට ඇවිල්ලා කරන්න තියෙන දේවල් එකින් එක කරලා දාන්න මොහොතකටවත් ආපස්සට හැරිලා බලන්නේ නැතුව කියලා යටි හිත දෙස් දෙවොල් දෙනවා. එක දෙක තුන හතර..... කියලා දහයට ම ගැනලා... ඔක්කොම අමතක කරලා කතාවට අලුත් පරිච්චේදයක් එකතු කරන්න කාලේ හරි වගේ....

ඔව්. අනාගතය අදයි !





තනිකම සහ මම !



මම පවුලේ එකම දරුවා. ඒ නිසාම වෙන්න ඇති පුංචි කාලේ ඉඳන් අද වෙනකල්ම නොවෙනස්ව මා ළඟ තිබුණු දේ වුනේ "තනිකම".... සෙල්ලම් කරන්න ගියත් තනියම... කන්න, බොන්න, පාඩම් කරන්න, යන්න, එන්න... ඔය ඕනිම දෙයක් තනියම.... ඒ තනිකම මැකුණේ අම්මයි තාත්තයි ළඟ ඉද්දි විතරයි.... 

හැබැයි මම තනිකමට හුරු වුණා. තනිකමට පෙම් බැන්දා... සතියක් මාසයක් අවුරුද්දක් තනියම හිටියත් මගේ හිතට පාළුවක් දැනිලා නැත්තේ ඒ නිසා වෙන්න ඇති.

කාලේ ගෙවුනා. ටිකෙන් ටික වයසින් වැඩි වෙද්දී මගේ මිතුරු වළල්ල පැතිරෙන්න ගත්තා..... යන යන හැමතැනම මට යාළුවො හිටියා. ඉස්කෝලේ... අමතර පන්තිවල.... සරසවියේ.... බෝඩින් වල.... හැමතැනම යාළුවො....

ඒත්, පුංචි කාලේ ලඟින් හිටිය තනිකම කවදාවත් මාව අත ඇරලා ගියේ නැහැ.

දහස් මුවකින් නැගෙන ඔල්වර
සිනා හඬ දසතින් ඇසේ
දහස් ගණනක් සෙනග අතරේ
මහා තනියක් මට දැනේ.

කියලා මහගම සේකර 'නොමියෙමි' පොතේ ලියලා තිබුණු දේ මම තේරුම් ගත්තේ මගේම අත්දැකීමෙන්. ඒ තනිකම මැකෙන්න කාලෙන් කාලෙට හිත ළඟ සක්මන් කරපු අය නොහිටියා නෙමෙයි. ඒත්, වෙනසක් තිබුණා. නිදා නොනිදා හිත පතුලේ තිබ්බ සේයාවක් හැම වෙලාවෙම මාව තනියම තිබ්බා. ඒ හෙවණැල්ලට පණ පෙවිලා මගේ ඇස් මානෙට අහුවෙන මොහොත දක්වාම..... ඒ නිසාම වෙන්න ඇති මගේ ජීවිතේට ආව හැමකෙනෙක් ඇතුලෙම මම ඒ සේයාව හෙව්වේ...

තනිකම දැනෙනා මොහොතේ
නුඹව මතක් වෙන්නා
තනියට ළඟ උන්නා නම්
හොඳයි කියා සිතෙනා
තනිමග යන්නට මා දුටු
සිහිනය බොඳ කරනා
තනි හිත දෙතැනක රන්දන
නුඹ කොතැනද සිතුණා..........

වරක් දෙකක් නෙමෙයි. සිය දහස් වාරයක් තනිකම දැනිලා ඇති. මට මාව මදි වෙලා ඇති. මම දන්නේ නැහැ. ඒ තනිකම මකන්නට එන්න ඉන්න නුඹ ඉන්නේ මගෙන් හුස්මක දුරද.... නැත්නම් සත් සමුදුරෙන් එහාද කියලා...

ඒ වෙනුවට මම දන්නේ එකම එක දෙයයි.

මගේ තනිකම මකන්නට..
කවදාක හෝ
"නුඹ"
එනකල්..
මේ හිත බලාගෙන ඉන්නවා....




කුණාටුව නිමාවිය !



අහම්බෙන් හමුවෙලා
නිතර දොඩමලු වෙලා
ජිවිතේ සිනහවෙන් 
කල් ගෙවා කල් ගෙවා....

සංසුන්ව කල් බලා
අඳින සිතුවම කලා
මා නමින් ඇඳෙන්නට
සියක් පෙරුමන් පුරා......

ජීවිතය ඉල්ලලා
සුසුම්වැල් පටලලා
හඬ දෙමින් සිනහවෙන්
නුඹේ ලොව කළඹලා......

මගේ ලොව නුඹේ ලොව
වැනසෙතැයි සිත සිතා
නුඹෙන් දුර ඈත ගිය
ළබැඳි සිත මා තමා...........




ඇගේ ඇස අග.....




"එක අතකට රිලේෂන්ශිප් එකක් නැති එකත් හිතට නිදහසක්...." 

මං එහෙම කිවුවේ මුහුදු හුළඟට..... 

"ඇයි එහෙම කිවුවේ?" 

අනිවාර්ය ප්‍රශ්නයක් කණ ළඟින් ඇහුණා..... 

"නෑ ඉතින්.... එහෙම වුණා නම් ජිවිතේ මීට වඩා සෑහෙන්න සංකීර්ණ වෙන්න තිබ්බා කියලා හිතුණා....." 

අපේ හිනාවෙ සද්දෙට වටේ පිටේ හිටිය අනිත් නිශාචරයොත් බැලුවද මන්දා.... 
---------------------------------------------------
 

"ඔයා හඳයගේ අලුත් ෆිල්ම් එක බැලුවද...." 

දවාලේ මගේ ෆෝන් එකෙන් හදිස්සියේම ගිය මෙසේජ් එකට හැරෙන තැපෑලෙන් උත්තරේ ආවා. 

"නෑ. අද බලමු ද?".................. 

මට හිනා ගියා. 

"OK. අද හවසට බලමු එහෙනම්. හැබැයි මට ට්‍රාන්ස්පෝර්ට් ඕනි ආපහු යන්න"..................

"No problem".......


---------------------------------------------------
 

ෆිල්ම් එක ඉවරයි. මුහුද පෙනී පෙනී යන්න පුළුවන් ද එහෙම.... වැස්සක් කඩා නොවැටුනා නම් අපිට තව සෑහෙන වෙලාවක් එතන ඉන්න තිබ්බා....

පිස්සෝ දෙන්නෙක් වගේ.... එක වෙලාවකට කාරෙක දෙවනත් වෙන්න මහා හයියෙන් සිංදු දාගෙන.... තව වෙලාවකට ෆිල්ම් එකේ සිද්ධි සමාලෝචනය කරගෙන..... අපි ආවා..... කාලෙකට පස්සේ....

මගේ මතකේ ආයෙමත් වතාවක් ආපස්සට ගියා......

Let her cry.......!





සුදු නෙළුම !



කවුරු හරි ඇහුවොත් මම කැමතිම මල මොකක්ද කියලා කතා දෙකක් නැහැ. ඒ සුදු නෙළුම. 

ඔව්. 
මම ආසම සුදු නෙළුම් මලට......

ඒ පිරිසිදු බවට.... ඒ නිකැළැල් බවට..... ඒ ශාන්තිමත් බවට.... මම හැමදාමත් ආදරෙයි..... වෙන කිසිම මලකින් මට ඒ නිදහස්.... ඉවසිලිමත්, සංසුන්බව දකින්න බැහැ. මම සුදු නෙළුමේ දකින්නේ පිරිපුන් බවක්..... ඕනිම වෙලාවක පුදසුනකට යන්න සූදානමක්........

සුදු නෙළුම පිපෙන්නේ ඉර එළිය දිහා බලාගෙන.... පෙත්තෙන් පෙත්ත දිග ඇරෙන්නේ කලබලයක් නැතුව..... හොඳ ඉවසීමකින්..... මඩ ගොඩක පිපුණත් මඩ බිඳක් වත් නොගෑවෙන්න තරම් පරිස්සම්..... කාලේ ආවාම තමන් ගැන ලොකු විස්වාසෙකින්... තනියම පිපෙනවා........

මම දන්නේ නැහැ ඇයි කියලා... ඒත් මට සුදු නෙළුම මතක් වෙද්දී දැනෙන්නේ ලොකු සැනසීමක් හිතට... වෙන කිසිම මලකට ඒ වෙනස කරන්න බැහැ.

සුදු නෙළුම අහිංසක නැහැ. හැබැයි ඒ සංසුන් ආකර්ෂණය වෙන මලකට ගන්නත් බැහැ.



~~~ සැබෑ වුණු මගේ සිහින ~~~ 03



මේකේ මුල් කොටස් කියවන්න ඕනි නම් සටහන අවසානේ තියෙන ලින්ක්ස් වලින් යන්න පුළුවන් ඔන්න. 

# මුහුදු වෙරළට වෙලා ඉන්න. 

මට කවදාවත්ම එපා වෙන්නේ නැති තැන තමයි මුහුදු වෙරළ. කවුරු හරි ඇහුවොත් යන්න ආසා කොහෙද කියලා ඒත් මගේ උත්තරේ ඒක තමයි. කොහොමින් කොහොම හරි ගල්කිස්සේ බීච් එකේ රිසර්ච් එකක් කරන්න අපිට සෙට් වෙන්නේ මේ අතරේ... සති අන්තවල වගේම සතියේ දවස්වලත් උදේ හයේ ඉඳන් හවස හත වෙනකල් බීච් එකේ ඉන්න පුළුවන් වුනේ ඒක නිසා....

අනිත් අතට මමයි මගේ රූමියි එයාගේ අයියයි... අපි තුන් දෙනාම ආසයි ඇවිදින්න. ඉතිං රෑ හතට විතර බීච් ගිහින් වැල්ලට වෙලා ඉඳලා රටේ ලෝකේ තියෙන ඔක්කොම වල්පල් කියෝලා දහයට විතර ආපහු එන පුරුද්දකුත් අපිට නැතුවා නෙමෙයි. නිකමට හිතලා බලන්නකෝ වැල්ලේ නිදාගෙන රැල්ලේ සද්දේ අහගෙන අහසේ තරු දිහා බලන් කියෝන තුන් දෙනෙක්.... අන්න ඒ තමා අපි.......

# බඳින්න කලින් ටික කාලයක්වත් ගෙදරින් ඈතට ඇවිත් තනියම ජිවිතයක් ගත කරන්න.

කැම්පස් ඉවර වුනාමත් ගෙදර යන්න විදියක් තිබුනෙත් නැහැ. ඔනිකමක් තිබ්බෙත් නැහැ අපේ අයට. රස්සාවල් තිබ්බේ කොළඹ සහ ඒ අවට නිසා වෙන්න ඇති. මමයි මගේ ගමන් සගයයි දෙන්නත් ඇනෙක්ස් එකකට ආවේ නිදහසේ අපේ වැඩ ටික කරගෙන යන්න ඕනි නිසා. ඉතිං උදේ නැගිටලා රෑට නින්දට යනකල් ම අපේ වැඩ තනියම කරගන්න අපි හුරු වුනා. එදිනෙදා එන ඕනිම ප්‍රශ්නෙකට අපි උත්තර හොයාගත්තා. ගෙදර හිටියා නම් කවදාවත් නොකරාවි කියලා හිතෙන වැඩ තනියම ඉද්දි කරලා පුරුදු වුනා..... ජිවිතේ නිදහස්. ඒ වගේම වගකීම් සහිතයි. දැන් තමා ඒක තදින්ම හිතට දැනෙන්නේ....

පළවෙනි කොටස


දෙවෙනි කොටස


Love and Life !


Do you see me...? Yes.
Do you feel me...? Yes.
Do you like me...? Yes. 

Do you love me....? I'm not sure.