Friday, June 3, 2016

~~~ සැබෑ වුණු මගේ සිහින ~~~ 01


සැබෑ වුනු සිහින තියෙනවද.... ජිවිතේ කවදාහරි දවසක මේ දේ ඉටු කරගන්නවමයි කියලා හිතපු දේවල් වගේම... අනේ මෙහෙම වුනා නම් කියලා දැකපු සිහින සැබෑ වෙලා තියෙනවද.... 

නැති දේවල් වලට අඬන එක නවත්තලා දවසක්දා මම කල්පනා කළා.... මට මතක් වුනු දේවල් වලින් ඇත්තටම මම පුදුම වුනා.... සමහරවිට මම දැකපු හීන, මගේ වයසේ සමහර කෙල්ලෝ දකින ඒවට වඩා වෙනස් ඇති.... එහෙමත් නැත්නම් මේවා හැමෝම දකින බොහොම සාමාන්ය හීන වෙන්නත් ඇති.... 

ඉතිං එහෙනම්..... මේ තියෙන්නේ... මගේ සැබෑ වුණු සිහින ගොඩෙන් කීපයක්.....

# තට්ටු දෙකේ ගෙදරක උඩ තට්ටුවේ බැල්කනියට වෙලා ඉන්න.

ගෙදරින් පිට හිටපු අවුරුදු හය හමාරෙන් තුනහමාරක්ම මම හිටියේ තට්ටු දෙකේ ගෙදරක තිබ්බ බෝඩිමක උඩ තට්ටුවේ.... මුළු ගෙදරම හිටියේ බෝඩර්ස්ලා... කෙල්ලෝ 20 ක්. ලයිට් ගියාම අපි සිංදු කියනවා... කරන්ට් එක තියෙන දවසටත් ලයිට් ඕෆ් කරලා කට්ටිය සෙට් වෙලා බිම ඉඳගෙන පුටුවක් උඩ ලැප්ටොප් එකක් තියාගෙන ෆිල්ම් බලනවා.

එතකොට බැල්කනිය.... අපි හැමෝම මල් කැඩුවේ එතනට වෙලා... එක එක්කෙනා එක එක තැන... එක එක වෙලාවට.... කියෝ කියෝ ඇවිදිනකොට සමහර වෙලාවට පයේ හැපෙනවා වාඩි වෙලා ඉන්න එවුන්. ඉර බැහැගෙන යන වෙලාවට අහසේ මැවෙන වලාකුළු රටා දිහා බලාගෙන කතන්දර ගොතපු හැන්දෑවල් වගේම අහස දිහා බලාගෙන තරු ගැන්න රැයවල් අපිට ඕනි තරම් තිබිලා තියෙනවා... සමහරදාට බැල්කනියේ පුටු තියාගෙන සිංදු කියපු අපි සෙට් එක තවත් සමහරදාට එහා පැත්තේ බෝයිස් හොස්ටල් එකේ එවුන් සිංදු කියනවා බැල්කනියට වෙලා අහගෙන ඉඳලත් තියෙනවා.... හැබැයි ඉතිං උදේ හවා පඩිපෙළ නැගලා බැහැලා අවුරුදු තුනක් යද්දී හීනේ ඇති වුනා.... 

# යන්නේ කොහෙද කියලා නොදැන ඇවිදගෙන යන්න.

හවස් වරුවට ඇවිදින්න මම එදා ඉඳන්ම ආසයි. දෙයියනේ කියල මට හම්බුනා මටත් වඩා ඒකට ආසා කරපු කෙල්ලක් හොඳම යාලුවෙක් විදියට. ඉතිං අපේ ඉන්ටර්න්ෂිප් කාලේ මාසෙකට දවසක් වත් මම ඔෆිස් ඇරිලා යාළුවගේ ඔෆිස් එකට යනවා. අපිට ඉවර වෙන්නේ 4.15 ට. එයාලට 5 ට. ඉතිං එයාගේ වැඩ ඉවර වුනාම අපි දෙන්නා අපි දෙන්නට හිතුනු පැත්තකට යනවා. ගොඩක් දාට ඉතිං මේ ගමන යැවෙන්නේ ඩුප්ලිකේෂන් රෝඩ් එකේ නැත්නම් ගාලු පාරේ තමයි. හිතෙන තැනකින් රෑට කාලා ඇතියි කියලා හිතුනම බෝඩින් වලට යනවා. කොහොමත් රෑ 9 වෙද්දී නම් බෝඩිමට යැවෙනවා. ඒ ගමන් මතක් වෙනකොට අදටත් සිහි වෙන්නේ මෙන්න මේ සින්දුව තමා...

අත්වැල් බැඳගෙන මංමාවත් දිග
ඔහේ ඇවිද ගිය කාලය මතකද
පුංචි ළදැරියන් වගේ සුරතලෙන්
අපි හිනැහුණු ඒ කාලය මතකද.......


To be continued.

No comments:

Post a Comment