Tuesday, September 29, 2015

සරා සඳ මම



මම සඳු ය. 
හැම මොහොතකම
නුඹව ම පැතූ.......
හැම මතකයක් ම
සුරැකිව හිත දරාගත්......
හැම දිනෙකම
නුඹටම පෙම් බැඳි........
මියෙනා තුරුම
නුඹ දෙස බලා හිඳින.....
සක්වල
කැළඹුනත්
නුඹව
මග
නොහැරෙන

සරා
සඳ
මම ය.



Monday, September 28, 2015

හිරුට ලියන සඳ




නුඹ හිරු ය. 
හැම මතකයකම 
රහසේ සැඟව හිඳි.......
හැම අවනඩුවක්ම
නිහඬව අසා සිටි......
හැම ලතැවිල්ලක්ම
තනිවම දරා ගත්.........
කෙදිනකවත්
මා සතු නොවන....
නුඹ
අදත්
හෙටත්
හැමදාමත්
මගේ
හිරු ය.



Sunday, September 27, 2015

මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා....




මම දන්නවා මගේ හිතේ තිබුණු හැම දෙයක්ම ලියපු, මගේ හැඟීම් අන්තිම දශමෙටම සූරලා ලියපු, පොතක් වගේ පෙනුණු ඒ ලියවිල්ල කියවලා ඉවර වුනාම ඔය හිත නොසෑහෙන්න රිදෙන්න ඇති කියලා..... 

To be honest with you, I don't have the words to make you feel better, but I do have the arms to give you a hug, ears to listen to whatever you want to talk about, and I have a heart; a heart that's aching to see you smile again.

ලේසියෙන් පහසුවෙන් තමන්ගේ හැඟීම් අවට ලෝකෙට නොදෙන කෙනෙක්ගෙන් මෙහෙම වචන ටිකක් ලියවෙන්න, ඒ හිත ඇතුළේ මොනතරම් දේවල් ටිකක් තෙරපෙන්න ඇතිද කියලා මම දන්නවා.

ඔය හිත රිද්දන්න මට ඕනි වුනේ නැහැ. ඔයා දන්නවා මගේ හිත නිදහස් කරගන්න විතරයි මට ඕනි වුනේ කියලා. ඒ නිසයි හිත රිදෙන තැනට ආවාම මම කිවුවේ මෙතනින් එහාට මම ඔයාට කතාව කියවන්න එවන්නේ නැහැ කියලා. ඒත් ඔයාට කියවන්න ඕනි වුනා. මගේ හිතේ තියෙන හැමදේම වචන විදියට කොල වලට අරගෙන ඒ මතකය මගේ හිතෙන් අමතක කරවන්න ඔයාට ඕනි වුනා. ඒ කොල ඔය හිත මොනතරම් රිදෙව්වත් මම ලියන එක නවත්තන්න නොදුන්නේ ඒ නිසා වෙන්න ඇති.

මම දන්නවා ඔයාගේ වෑයම සෑහෙන්න දුරට සාර්ථකයි. අන්තිමේදී මට ලියන්න දෙයක් නැති වුණා.

"Need more"

"My mind is empty"

ඒත් ඔයා කියන නිසා මම ආයෙමත් හිතුවා. ආයෙමත් ලිවුවා. අන්තිමේදී ඉවර කළා.

Yes. I did it.

'නැහැ' 'බැහැ' කවදද අපේ ශබ්දකෝෂ වල තිබුණේ.......

ඔය හිත සතුටෙන් තියන්න, ඔය හිත නිදහසේ තියන්න කරන්න ඕනි කියලා හිතුණු හැම දෙයක්ම මම කරලා ඇති. ඉතිං කවදාවත් ඔය හිතට වෙනස්කමක් කරලා නැහැ කියන සතුට මැරෙන තුරාවට මගේ හිතේ තියේවි. ඒ වගේම මම දන්නවා මගේ කඳුළකට, සුසුමකට ඔය හිත මොන තරම් වේදනා විඳිනවද කියලා..... මගේ සිනහව වෙනුවෙන් ඔය හිත බලාගෙන ඉන්නවා කියලා.

අවුරුද්දක් ගෙවිලා ගිහින් කාටත් නොදැනී......... ජිවිතේ ලොකු වෙනසක් වෙලා නැතත් ටිකක් හරි වෙනස් වෙලා.... එදා වගේ හිනා නොවුණත් මම අඬන්නේ නැහැ.

ඔයා දන්නවා, මගේ තාත්තට පස්සේ මගේ විස්වාසය, මගේ අගය කිරීම, මගේ ගරු කිරීම කිසිම වෙහෙසක් නැතුව ගන්න පුළුවන් වුනේ ඔයාට. ඒ වගේම ඒ කිසිම දෙයක් වෙනුවෙන් බිඳක් වත් පසුතැවෙන්න ඉඩක් ඔයා මට දීලා නැහැ.

එක මග යන්න ඕනි කියන සිහිනය මට නැහැ. ඒත් මම යන මග දී හිත ළඟ තනියට හෙවණැල්ල වත් ඉඳීවි කියන විස්වාසය හැමදාමත් ළඟ තියේවි.

කියන්න ඕනි වුණු, ඒත් තාමත් නොකියූ දේවල් මගේ හිතේ තියෙනවා කියලා ඔයා වගේම මමත් දන්නවා.

මගේ හොඳම යාළුවට...... මගේ සහෝදරයට... මගේ ජිවිතේ මට මුණ ගැහුණු soulmate ට කියන්න දේවල් බොහොමයි මට.

කවදාවත් කිසිම කෙනෙක්ට පුරවන්න බැරි වුණු හිස්තැනක් පුරා අවුරුදු හතරක් පුරවපු ඒ ළබැඳි හිතට මොනා කියන්නද ඉතිං මම.

එදා වාගේ අදත් පොද වැස්ස වැටෙනවා
මල් පිපුනු ගහ ගාව තවම ඉඩ තියෙනවා
නුඹ මගේ ලඟින් නැති අඩුව මට දැනෙනවා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා....

දුක පිරුනු මගෙ හිත නුඹ හොදට දන්නවා
හිත හදපු නුඹේ හඬ මගෙ සවන් සොයනවා
නුඹ නිසා පැමිනි දුක පැණිරසයි සිතෙනවා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා....

අනාගත වාලුකා කතර මැද තනි වෙලා
කෙසේ පා ඔසවමිද සා පවස විඳ දරා
පුර පසෙක නොවී නුඹ අවපසෙක සඳ උනා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා....



~ එදා වගේ අදත් පොද වැස්ස වැටෙනවා ~ අහන්න ඕනි නම්.....



Thursday, September 10, 2015

ලෝකය සහ අපි


කාලෙකට පස්සේ ආයෙමත් ලියන්න ගත්තා........ මොනාද ලියන්නේ
කියලා හිතාගන්නත් බැහැ. හිත හිස් වෙලා වගේ.... අහම්බෙන් ඇහුණේ රේඩියෝ එකේ ගිය සිංදුවක්..... රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවන්ගේ පදමාලාවක්.

මේ ප්‍රේම කතා නවතා මොහොතක්‌
අපි අවට බලමු ඇස්‌ ඇරලා...
නැති බැරිකම හතර අතේ
පාවෙනවා සුළග වගේ...


පොතක් ගත්තත් ටෙලිනාට්‍යයක් බැලුවත් සිනමා සිත්තමක් බැලුවත් පොදු වස්තු බීජය ප්‍රේමය තමයි. ඇත්ත. ආදරෙන් තොර ලෝකයක් අපිට නැහැ තමයි. උපන්දා පටන් මියෙන තුරාවටම අපි ජිවත් වෙන්නේ ආදරයත් එක්ක. 

ඒත්, ඇස් ඇරලා අවට බැලුවොත් පෙනේවි ජීවිතය ජිවත් කරවන්න මිනිස්සු සටන් කරන විදිය..... දවසින් දවස එකතු වෙන, සංකීර්ණ වෙන ප්‍රශ්න එක්ක මිනිස්සු පොරබදන විදිය.... එක්කෙනෙක් තමන් ගන්න ඉන්න කාරෙකේ පාට තෝරගන්න බැරුව ලතැවෙන කොට තව කෙනෙක් එදා දවසේ තමන්ගේ දරුවට කන්න දෙන්න දෙයක් නැතුව ලතැවෙන විදිය........  

මේ දේවල් වෙනුවෙන් අපිට කරන්න දෙයක් නැහැ කියලා හිතේවි.... හැබැයි අපිට මේ දේවල් ගැන කතා කරන්න පුළුවන්. හඬක් නැති මිනිසුන්ට හඬක් වෙන්න අපිට පුළුවන්. අපි සොබාදහමේ දරුවෝ... ට්‍රිලියන ගානක සත්ව විශේෂ අතරින් අපි මනුසත්තු වෙලා ඉපදුනේ මොනවා හරි දෙයක් ලෝකෙට දීලා යන්න. අපි හැමෝටම ලෝකය වෙනුවෙන් කල හැකි දෙයක් ඇති.  

මොහොතක් හිතන්න.................

අද අපි වටා ඉන්න මිනිසුන්ගේ සුව සදන්නටත් හෙට උපදින දරුවන්ට මේ ලෝකය වඩා සුවදායි තැනක් කරන්නටත් අපිට පුළුවන්........

වහින්නට හැකි නම් ගිගුම් දී
වියලි ගම් බිම් වලට ඉහලින්
ඉදෙන්නට හැකි නම් බතක් වී
බතක් නොඉදෙන පැලක රහසින්...


රැඳෙන්නට හැකි නම් ලමා කැල
හඬන දෙතොලඟ සිනාවක් වී
පිපෙන්නට හැකිනම් දුරින් දුර
නෙලා ගත හැකි වන මලක් වී


නිදන්නට හැකිනම් දෙනෙත් තුල
සැබෑ වෙන සුබ සිහිනයක් වී
ගැයෙන්නට හැකි නම් දොරින් දොර
ලොවම පුබුදන ගීතයක් වී

ගායනය - නන්දා මාලිනි

පද රචනය - සුනිල් ආරියරත්න 






"වහින්නට හැකිනම් ගිගුම් දී... " අහන්න ඕනි නම්.....

"මේ ප්‍රේම කතා නවතා මොහොතක්...." අහන්න ඕනි නම්...




Wednesday, September 9, 2015

වසන්තයේ අග හිරුට ලියන වග...



" මම කොහොමද ණය ගෙවන්නේ.....? "

නුඹ මගෙන් අහන මේ ප්‍රශ්නෙට දෙන්න මා ළඟ උත්තරයක් නැහැ.
කවදාවත් තියෙන එකකුත් නැහැ. මොකක්ද මේ "ණය"

ඒ නුඹට දුන්නු ආදරය ද..... හිතවත්කම ද..... මිතුදම ද..... නැත්නම් නමක් දෙන්න බැරි ලෙංගතු බැඳීම ද.......
 
මගේ ආදරය ඉස්සරහ නුඹ නොසෑහෙන්න අසරණ වග මට නොතේරෙනවා නෙමෙයි. පසුපසට අඩියක් ගන්නත් බැරි, ඉස්සරහට පිය මනින්නත් බැරි ශුන්‍යත්වයකට මම නුඹව ඇදලා දාලා නේද.... 

පිළිගන්න අකමැති වුණත්, නොදැනීම වගේ ආදරේ කියන්නේ මොකක්ද කියලා නුඹ මගෙන් ඉගෙන ගන්නවා වගෙයි..... කෙල්ලක් නිසාවෙන් පළවෙනි වතාවට නුඹේ හිතට ලොකු දුකක් දැනෙනවා වගෙයි..... 

විස්වාස කරන්න, නුඹේ හිත රිදවන්නට මට කිසිවිටක උවමනා නොවූ වග.... 

සංසාරය දිග නිසා ඊළඟ ආත්මෙකදී මගේ වෙන්න කියලා මම පතන්නේ නැහැ. එහෙම කළොත් නුඹේ යශෝධරා වන්නට මට හැම ආත්මෙකදී ම ඇයත් එක්ක තරග කරන්නට සිදු වේවි.... ඇගෙන් නුඹව උදුරගන්න හිත හදාගන්නට බැරිව ඒ හැම අවසානයක දී ම මම පසෙකට වේවි..... 

ඒ වෙනුවට මම පතනවා උපදින හැම භවයකම නුඹ මගේ සහෝදරයා වන්නට..... උපන්දා පටන් මියෙන තුරාවට නුඹේ සෙනෙහස ලබාගන්නට.... නුඹව සොයා ජිවිත ගමනේ දිනක් වත් නොවෙහෙසෙන්නට..... කිසිවෙකුත් සමගින් නුඹට අයිතිවාසිකම් කියා තරග නොකරන්නට......

දයාබර අයියණ්ඩි, 
නුඹ 
හැමදාමත් 
මගේ සහෝදරයා.....
සක්වල කැළඹිලා 
ලෝකය උඩු යටිකුරු වුවත් 
උපදින 
හැම භවයකම 
නුඹ මගේම සහෝදරයා.....

ආයෙමත් නුඹ නමට කිසිත් නොලියනවා කියලා හිතුවත් මෙහෙම කියන මම බොහෝ දුරට හෙටත් නුඹ නමට මොනවාම හරි කුරුටු ගාවි කියලා හිත කියනවා.......

කොහොම වුණත් නුඹ නිසාවෙන් කවි හිතක් ඉපදුණු බව නම් ඇත්තයි..... 

ඔව්. 
ආදරය අපේ ජිවිත වෙනස් කරනවා...... 
ඒ වගේම ජීවිතය අපිට ගොඩක් දේවල් උගන්නනවා.......




මගේ හිත....



හදවත 
ආයෙමත් වතාවක් 
සුපුරුදු රිද්මයෙන් 
ගැහෙනවා.....
ජිවිතේ 
ආයෙමත් වතාවක් 
සුපුරුදු විදියටම 
ගෙවෙනවා...... 
ඔළුව උස්සගන්නත් 
බැරි තරමටම
කන්දක් වැඩ......
ඒත් 
කමක් නැහැ.
මොකද 
කාලෙකට පස්සේ 
මගේ හිත 
දැන්
හරිම 
නිදහස්.




~ වෙනස ~



"ඔබ සහ මම වෙනස් වන තැන මම අල්ල ගත්ත. ඔබ එකම නළුව තිර පිටපත් දෙකකට යොදා ගන්නව. මම නළුවො දෙන්නෙක් එක තිර පිටපතකට යොදෝනව.

ඔබට පිටපත් දෙකයි. එක නළුවයි."

ඔව්. ඒක හරි. මම හැමදාමත් හෙව්වේ පිටපත් දෙකටම හරියන එක නළුවෙක්.

වෙනසක් නැහැ. 
තාමත් හොයන්නේ 
එහෙමයි.

වෙනස ~

කාලෙකට පස්සේ
මම 
ආයෙමත් 
"
හොයනවා".............. 



සත්තු වත්ත



බලාගෙන යද්දී 
අපි ඇවිත් තියෙන්නේ 
බෝඩිමකට නෙමෙයි 
සත්තු වත්තකටනේ........


එහෙන් මියෝ
මෙහෙන් උගුඩුවො
අරෙහෙන් පත්තෑයෝ

ඒ මදිවට 
හූනෝ... කැරපොත්තෝ... මකුළුවෝ....

එතකොට 
මෙතනට 
අඩු වෙලා 
ඉඳලා තියෙන්නනේ
අපි විතරද ........



පූසො.....



දැන් කාලේ ඉන්න 
පූසන්ගේත් තියෙන්නේ 
පුදුම ලොකු ලයින්...... 
දෙන දෙයක් කන්නත් බෑ
එන්නේ.... 
උන්ට ඕනි වෙලාවට
අම්මපා
මොකටද 
මෙහෙව් පූසො................. 
ඥාව් ගානවා නම් 
මම 
මැටියෙන් හදාගන්නවා බොල
පූසෙක්
උඹේ ආඩම්බරකම බලන් නැතුව........



ගැහැණිය රාමු කිරීම



ගැහැණිය කියන්නේ කවුද............? කිසිම කෙනෙක් ළඟ ඒකට නිර්වචනයක් නැතුව ඇති. තේරුම් ගන්න අමාරුයි කියනවා.... පිරිමියාට වඩා සංකීර්ණයි කියනවා..... ඇය විවිධ අවස්ථාවල දී විවිධ චරිත රඟනවා.... එක විට චරිත ගොඩක් රඟනවා..... සමාජය මාතෘ මුලික වුණත් පිතෘ මුලික වුණත් ඇගේ දායකත්වය ඕනිම සමාජයක දී අනිවාර්යයි. සමාජයේ තියෙන කුඩාම ඒකකය පවුල නම් එහි ඇගේ කාර්යභාරය මේ යැයි පෙන්වන්නට නොහැකි තරමට ම සෑම දෙයක් තුළම ඇගේ හෙවණැල්ල තියෙනවා.....

අහසටත් පොළොවටත් අම්මටත් නිවනක් නැහැ” කියලා කතාවට කියන්නේ ඒ නිසා වන්නට ඇති.

එහෙත් මේ යන රටාව තුළ තවදුරටත් අපිට ගැහැණිය මේ යයි කියා රාමු කළ හැකිද....?
සැමට අධ්‍යාපනයක් ලැබීමේ සම අයිතිය හිමි වූ විටම ඇය නිවසට සීමා වූ යුගය අහෝසි විණි නම්..... ආර්ථිකය උදෙසා ඇගේ දායකත්වය දිනෙන් දිනම ඉහළ යන බවක් පෙනෙන්නේ නම්........ පිරිමින් පමණක් උරුමකම් කියූ රැකියා අවස්ථා උදෙසා වසරින් වසර ඇයට දොරගුළු විවර වෙමින් ඇත්නම්..... තවදුරටත් ඇයට නිදහස අවශ්‍ය යැයි හඬක් නගන්නට ඇයම ඉදිරිපත් වී ඇත්නම්....... තවදුරටත් ඇය ව සම්ප්‍රදායික රාමුවකට ගත හැකි ද....... මෙතෙක් කාලයක් පුරාවට නිහඬ වී සිටි ආසියාතික ගැහැණියගේ භූමිකාව ටිකෙන් ටික බිඳ වැටෙන විට....... මේ අභියෝගය එල්ල වන්නේ ‘රැකවරණය’ නමින් ඇයව ලොවට මුවා කල ආසියාතික රාමුවට නොවේද...... බිඳ වැටෙන ඒ ආසියාතික රාමුව වෙනුවට, නැගී සිටින්නේ යුරෝපානු සමාජ ක්‍රමය නොවේ ද.......

ආර්ථික ඉලක්ක පසුපස හඹා යන සමාජයක වර්තමාන ගැහැණියත් මිනිසාත් වෙන වෙනම හුදකලා වෙමින් ඉන්නවා වගේම ඒ මානසික වෙහෙස දරාගන්නට දිනෙන් දිනම ඔවුන්ට අපහසු වෙමින් තියෙනවා. මානුෂිය සබඳතා වෙනුවට විද්‍යුත් උපකරණ වටිනාකමින් ඉහළ යමින් පවතිනවා. අජීවී වස්තූන්ට වඩා මිනිසුන් වටිනා බව වගේම අනෙක් මිනිසුන් සමග ගණුදෙනු කිරීම කලාවක් බවත් ටිකෙන් ටික ඔවුනට අමතක වෙමින් යනවා. ඒ කලාව පොත් පත්තර වගේම විවිධාකාර ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය වලින් ඉගෙන ගන්නට වෙහෙසුනත් එය උගන්නන්නට හැකි දෙයක් නොව පාඩම් ඉගෙන ගනිමින් දවසින් දවස ජීවිතෙන් උගත යුතු දෙයක් බව මේ සමාජ රටාව තුල මිනිසුන්ට අමතක වෙමින් තියෙනවා.

එවන් සමාජයක විවාහය ට හිමි තැන........?

අපි පිළිගත්තත් නැතත් ආසියාතික රටවල විවාහය මේ වෙද්දී තීරණාත්මක තැනකට ඇවිත් කාටත් නොදැනීම...... ආසියාතික සමාජයක වැඩෙමින් යුරෝපානු සංස්කෘතියකට සිතමින් යන මේ රටාව තුළ තාරුණ්‍යය වගේම විවාහය කියන සංකල්පයත් අතරමං වෙලා වගේ..... ආසියාතික රාමුව තුළ හිඳිමින් බටහිර නිදහස පතන ගැහැණියත් බටහිර නිදහස අගයමින් ආසියාතික රාමුවකට ගැහැණිය රාමු කරන්නට සිතන පිරිමියාත් අතරේ විවාහය ආදරේකින් තොර සම්මුතියක් පමණක් බවට පත් වෙමින් තියෙනවා වගේ....

කඩදාසියක අත්සන් කල නිසාවෙන්.... දරුවන්ගේ අනාගතය අඳුරු වනවාට බියෙන්..... සමාජ සම්මතය නිසාවෙන්....... දික්කසාද ගැහැණියකට උරුම වන සමාජ ආර්ථික ගැටළු නිසාවෙන්..... සහ තනිකඩව පවතින්නට නොහැක යයි සමාජය කරන බලපෑමෙන් මිදෙන්නට වගේම තමන්ට තනිව කර ගත නොහැකි දේ කරගැනීම උදෙසාත් වර්තමාන සමාජ රටාවේ දී කසාදය විසඳුමක්, විකල්පයක් වගේම නොපෙනෙන රැහැනක් වෙලා .

විවාහය දවසේ ගත්ත මගුල් ෆොටෝ එක විතරක් රාමු කරලා බිත්තියේ ගහන්න අවශ්‍ය වුණත් අවසානයේ දී සැබෑවටම රාමු වන්නට සිදු වන්නේ ඔවුනොවුන්ට......

ඒ තුළ හටගන්නා විවිධාකාර ගැටුම් මත ඉවසීමත් තේරුම් ගැනීමත් නොමැති නම් විවාහය නිත්‍යානුකුලව හෝ නිත්‍යානුකුල නොවන ලෙස නිමාව දැකීමත් ටිකෙන් ටික සුලබ සිදුවීමක් වෙමින් තියෙනවා. එසේ නම් කසාදය වෙනුවට දික්කසාදය කියන මාතෘකාවට අපි හුරුපුරුදු වීමේ ඛේදවාචකයක් පවතින බව තවදුරටත් රහසක් නොවේ.

අධ්‍යාපනය, ගෙවල් දොරවල්, යාන වාහන වගේම මනුස්සයාගේ පෙනුමට ත් මිලක් ඇවිත්. මුදල් මත සියල්ල තීරණය වන ලෝකයක ආදරයට ත් මිලක් නියම වෙලා. අනෙක් අතට, ‘මේ අපේ කතාව වුණාට මට මමත් නුඹට නුඹත් වන්නට තියෙන නිදහස එයින් ඇහිරෙන්නේ නැහැ’ කියන චින්තනයට පෙම් බඳින ගැහැණිය වුවත් තමන්ගේ පාට පාට හීන හැබෑ කරගන්න යන ජීවිතේදී බලන්නේ තමන්ගේ අවශ්‍යතා ලේසියෙන්ම සපුරලා දෙන්න පුළුවන් කෙනා එක්ක බැඳිලා තමන් හීන දැකපු නිදහස ලබන්න..... කැමැත්ත සහ අවශ්‍යතාවය මත දෝලනය වන විවාහයේදී බහුතරයක් දෙනා අවශ්‍යතාවට මූලිකත්වය දෙමින් අලුත් ජිවිත වලට අනුවර්තනය වෙනවා වගේම “ප්‍රයෝගිකව සිතීම” කියන වචනෙන් ඒක සාධාරණිකරණය කරන්නටත් හුරු වෙමින් ඉන්නවා.

ඉතිං........

ජීවිතය වෙන්දේසියේ දී වැඩිම මිලට අලෙවි වන්නටත් මිළදී ගන්නටත් සැරසෙමින් ඉන්නවා නම්,
මේ ගැහැණිය රාමු කිරීම පිළිබඳව නැවත වතාවක් සිතන්නට කාලයයි.



'සැනසීම'



දුවන්නට 
දුවන්නට 
ජීවිතෙන් 
ඈතට ම 

නොලැබේවි 
කිසිදිනෙක 
සැනසීම 
නුඹ සිතට...

නවතිනා 
දිනෙක 
නුඹ 
හති වැටී
ගමන් මග 

හමුවේවි 
සැනසීම 
නුඹ දෙපය 
පාමුල ම.................



'නිවන' සහ මම




සමාවෙන්න 
මගේ හිත
නුඹට 
හැමදාමත් 
සසර ම පමණි 
උරුමය......... 

ආයෙමත්
ආයෙමත් 
ආයෙමත් 
කසාවතට 
අවසර ඉල්ලුවත් 

මම දන්නවා

'නිවන' 

මට 
බොහෝ
දුර බව.............