Monday, October 26, 2015

JUST FRIENDS !



දකින හැම රුවකම
ඇසෙන හැම හඬකම
දැනෙන හැම හුස්මකම
සෙවුවෙමි නුඹව මම.

ලියන හැම සටහනකම
පබඳින හැම කවියකම
අඳින හැම සිතුවමකම
දුටිමි නුඹව මම.

දිනෙක හමුවිණි ඒ රුව
සැඟවී නුහුරු වැස්මක
විවර කරමින් හදවත
නොදෙමින් යතුර මා වෙත.

ප්‍රශ්න නැත
එහෙත්,
කොන්දේසි ඇත..

" ආදරය නොකරන්න ! "

ජීවිතය මේ යැයි
නුඹෙන් මම උගනිමි.
ආදරය මේ යැයි
නුඹෙන් මම උගනිමි.

සැකයක් නොසිතන්න.
සබඳ මා සිත ගැන
නොහැකි නම් රකින්නට
නොදෙනෙමි කිසිවිටෙක මා පිළිණ !




නොනිමි මතක 2 - ඩුප්ලිකේෂන් රෝඩ්



අපේ එක සබ්ජෙක්ට් එකකට තිබ්බේ හඳුනා ගැනීම සහ සැලසුම් කිරීම. ඒත් එක්කම අනාගතේ එන එක එක විදියේ අත්දැකීම් වලට බය නැතුව හුරු වෙන එකත් වක්‍ර පාඩමක් වෙන්න ඇති.

මුළු ඩුප්ලිකේෂන් පාරම කොටස් 6 කට බෙදලා ගෘප්ස් හයකට දීලා තිබුනා. එක ගෘප් එකක ළමයි හයයි. ගෘප් බෙදන්නේ කොල්ලෝ, කෙල්ලෝ බැලන්ස් වෙන විදියට... සිංහල, දෙමල, මුස්ලිම් බැලන්ස් වෙන විදියට....

උදේ ඉඳන් රෑ වෙනකල් මිනිස් ක්‍රියාකාරකම් එක්ක පරිසරය වෙනස් වෙන හැටි බලන්න, මිනිස්සුත් එක්ක කතා කරන්න, ඒ ඒ තැන් වලට මිනිස්සුන්ගෙන් ලැබිලා තියෙන වටිනාකම හඳුන ගන්න වගේ දේවල් ගොඩක් එක්ක අන්තිමේදී ගාලු පාරත්, ඩුප්ලිකේෂන් එකත් ඇතුළුව කොල්ලුපිටියේ ඉඳන් වැල්ලවත්තට එනකල් ඒ වෙද්දී තියෙන දේවල් එක්ක සැලසුම හදන්න කියලා අපිට කිවුවේ.

මාස තුනේ සෙමෙස්ටර් එකේ ෆීල්ඩ් වැඩ වලට ලැබුනේ දවස් දෙක තුනයි. මොකද මේක එක සබ්ජෙක්ට් එකක් විතරනේ. අනිත් හැමදාම 8-5 ලෙක්චර්ස්. දුන්නු වෙලාව මදි නම් අපි, අපිට නිදහසක් ලැබෙන විදියට ෆීල්ඩ් යන්න ඕනි.

අපි තුන්වෙනි ගෘප් එක. අපිට හම්බුණේ බගතලේ ඉඳන් හවුස් ඔෆ් ෆැෂන් දිහාට වගේ... ගාලු පාරෙත් ඊට සමාන්තර කොටස. ඔනිකමක් වුනොත් කියලා අතට දීපු ලියුම තිබ්බෙත් අපි ළඟ.

කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත පොලිසි තුනෙන්ම අපි යන හැම දවසකම අවසර ගන්න ඕනි. යුද්දේ ඉවර වෙලා මාස ගානක් නිසා.... ජිවිතේ පළවෙනි වතාවට මම පොලිසියකට ගියේ කොල්ලුපිටියේ එකට. අනිත් අයට වැඩ පටන් ගන්න කියලා කොල්ලෙකුයි මමයි ගියා පර්මිෂන් ගන්න.

අපි වැඩ පටන් ගත්තා. අපේ පහසුවට හැමදේම ෆොටෝ ගන්න ගියා. අන්තිමේදී කෝල් එකක් එනවා එක ගෘප් එකක් ඉස්කෝලෙක ළමයින්ගේ ෆොටෝ ගන්න ගිහින් අහුවෙලා ලියුම ගේනකල් ප්‍රින්සිපල් ඔෆිස් එකේ කියලා.

තව කෙල්ලක් අතුරු පාරවල් පැටලිලා තනියම අඩ අඩා එනවා. කොහොමත් වැඩ කරන්න ලේසිවට අපි එක්කෙනා දෙන්නා බෙදිලා ගිහින් හිටියේ එක එක තැන් වලට...

තව ගෘප් එකක ළමයි දෙන්නෙක් අල්ලාගෙන බලෙන්ම ෆොටෝ ෆෝල්ඩර් එක ඩිලීට් කරලා. අපේ ගෘප් එකේ ෆොටෝ ගත්ත කොල්ලව අරන් එන්න කියලා පොලීසියෙන් වාහනයක් එවලා. එක තැනකින් අහලා ෆොටෝ ගන්න මේක ග්‍රහලෝකාගාරේ කියලා හිතුවද කියලා... එක එක ගෘප් එකට එක එක අත්දැකීම්.

අන්තිමේදී අපිට වැඩේ එපා වෙලා බැන බැන ආයෙමත් කැම්පස් ආවා.... ඇවිත් කැන්ටිමට සෙට් වෙලා වෙච්ච දේවල් කියද්දී නම් අපිටම අපේ වැඩ ගැන හිනා නොගියා නෙමෙයි.

" ඔයාලා බැනුම් ඇහුවා විතරද... කලින් අවුරුද්දක ළමයෙක් නම් දවසක් කුඩුවේත් හිටියා අපිට වෙලාව මදි වෙලා එලියට ගන්න "

පහුවදා අපිට ලොකු අයගෙන් ලැබුණු උත්තරේ ඒක.

" Learning by Doing "

ඔන්න තවත් පාඩමක් !




නොනිමි මතක 1 - ගංගාරාම සීමාමාලකය සහ නිදහස් චතුරස්‍රය




කාලයක් තිස්සේ හිතුවා මතක පොත පෙරලනවද නැද්ද කියලා.... ඔබට හුරුපුරුදු තැන් ගැන මගේ නුපුරුදු අත්දැකීම්..... කොළඹ ඇතුල, අවට වගේම කොළඹින් දුර ඈතට විහිදුනු අත්දැකීම්.....

අන්තිමේදී ඔන්න එහෙනම් ලියන්න ගත්තා.... 2009 අගෝස්තු 12 අපේ පළවෙනි ෆීල්ඩ් විසිට් එක. ටාස්ක් එක වුනේ,

" දකින්න, බලන්න, හිතන්න, අදහස් හුවමාරු කරගන්න, දැනුම බෙදා ගන්න, ඒ දැනුම තමන් කැමති මාධ්‍යයකින් නැවත ඉදිරිපත් කරන්න "

ෆැකල්ටි එකේම ළමයි එකට කලවම් කරලා කණ්ඩායම් 5 කට බෙදලා ඒ පහෙන් එකකට ලැබුණු තැන තමයි මේ. මතක විදියට එකක් ගාලු කොටුවේ ගියා... එකක් මහ බැංකුවට ගියා... තව දෙකක් තව කොහේදෝ ගියා.

අපි හැමෝම එකට එකතු වෙලා මේ වෙද්දී සති තුනයි ගෙවිලා තිබුනේ. කොලර් තියෙන බ්ලවුස්, පතුලටම දිග සායවල්, තනි කරලට ගොතාපු කොන්ඩේ, කළු පටි සෙරෙප්පු එක්කම දකුණු අතේ බැඳපු නිල්, සුදු කලවම් වුනු ලස්සන ෆ්‍රෙන්ඩ්ෂිප් බෑන්ඩ් එක අපේ අනන්‍යතාවය වෙලා මේ වෙද්දී.... පිරිමි ළමයින්ට නම් ටයි එක විතරයි අඩු වගේ...

මොනම හේතුවක් නිසාවත් ගැට්ටක් හදාගන්න එක අපිට තහනම් වෙලා තිබ්බේ... අපි කොළඹ, අපි දකුණේ, අපි උඩරට කියලා වෙනම ඉන්න බැහැ. අපි මේ ඉස්කෝලෙන් ආවේ, අපිට සල්ලි තියෙනවා කියලා වෙන් වෙන්නත් බැහැ කිසිම කෙනෙක්ට....

කොහොම හරි පළවෙනි ෆීල්ඩ් විසිට් එක අපිව කොළඹ එක්ක යන එක ගැන අපිට ටිකක් විතර හිතේ අමාරුවක් නොතිබ්බත් නෙමෙයි. ගාල්ලේ බැරි නම් වෙන කොහේ හරි දුරකට අරන් යන්න තිබ්බා නේ... මගේ එක රූමෙක් පාන්දරම අපිටත් දිව ඇද කරලා ගාලු ගියේ...

කොහොම නමුත් අන්තිමේ කැම්පස් බස් එකක ගිහින් දැම්මා ගන්ගාරමෙට... ටීම් එක හතළිහක් විතර.... කැමති විදියක ඇවිදලා වැඩ කරගෙන 12 ට බස් එකට එන්න කිවුවා නිදහස් චතුරශ්‍රේට ගෙනියන්න. එහෙදි කෑම කන්න ඊට කලින් කොහෙන් හරි කෑම ගන්න කිවුවා.

අපි ඉතිං ඇවිද්දා.... බැලුවා.... කතා කළා..... ෆොටෝ ගත්තා.... සටහන් ලිව්වා.... එක එක්කෙනා එක එක දේවල්.... යුද්දේ ඉවර වෙලා මාස තුනක්වත් නැහැනේ... ඒ නිසා හැම තැනම ආරක්ෂාව නොවෙනස්ව තිබ්බා. නවම් මාවත වටේම යන්න ඕනි වුනත් හමුදා බැරැක්ක වලට අපිට හේතු කියන්න වුනා ඒකටත්.....

ෆැකල්ටි එකම එකට දාලා ගෘප් එක හදලා තිබ්බට අපේ බැච් එකේ ළමයි හත් අට දෙනා එකටමයි හිටියේ හැම වෙලේම. අනික මොන ෂයි එකෙන් ආවත් නම කියන්න ඕනි කිවුවට අපි තාමත් අපේ සමහරුන්ට කතා කලේ අයියේ අක්කේ කියලා...

දවල් කෑම වෙලාව ළඟයි. පේන මානෙක බත් කන්න තැනක් නම් පෙනුනේ නැහැ. ඒත් අපේ සෙට් එකේ හිටිය රෝයල් එකේ අයියට අපිට කලින් පෙනුනා කෑම ගන්න පුළුවන් ලේසිම තැන. සමහරවිට පැත්ත හුරු නිසා වෙන්න ඇති.

" කෑම නම් පේනවා ! හැබැයි අද බඩ පිරෙන්නේ එතනට ළඟා වීමේ වේගය මත තමයි ළමයි.... "

අපි වට පිට බැලුවා. කොහේ යන්න ආව එකක්ද දන්නේ නැහැ. බත් පැකට් පුරෝගත්ත ත්‍රී වීලර් එකක් ළමයි ටික දැකලා ඈත නවත්තලා. අපි සැණෙන් පාරට බැස්සා. අපිව දැකලා නවත්තපු කෑම රථයට පිංසිද්ධ වෙන්න කෑම ගත්තා.

අපිට පස්සේ ආව සෙට් එකත් ගත්තා. ඊළඟ එකත් ගත්තා. අනේ කෑම ඉවරයි ඔක්කොම. අන්තිමට ආව අයට ආයෙමත් කඩවල් හොයන්න වුනා. කොහේ හදපුවද දන්නේ නැහැ. කොහොම හදපුවද දන්නෙත් නැහැ. කෑම වල සෞඛ්‍ය ආරක්‍ෂිත බව ගැන හැඟීම පළමු වතාවට මම හිතෙන් අයින් කළා.

හැබැයි දෙයියනේ කියලා අපි ඒ කෑම කාලා ලෙඩ වුනේ නම් නැහැ. පස්සේ කාලෙක කන්න හම්බ වුනු සමහර තැන්වල හැටියට ඒ කෑම එක හොඳයි වගේ....

නුහුරැ පරිසරයකට හුරු වුනු මුල්ම දවස. උදේ ඉඳන් හවස් වෙනකල් ම අපි එක එක දේවල් ගැන කතා කළා.... එක එක්කෙනාගේ අත්දැකීම්.... එක එක්කෙනා දේවල් දකින විදිය. හැමෝම දකින දේවල් වල නොදකින පැත්ත.....

හවස නිදහස් චතුරශ්‍රයටත් ගිහින් අපි ආවා. අන්තිමටම ගිහින් මුලින්ම බෝඩිමට ඇවිත් තිබුනේ මම.

" දකින්න. හිතන්න. "

ඔව්. ඒ ජිවිතේ එක පාඩමක් !



Sunday, October 25, 2015

The Empty Nest !



මේ සටහන නුඹ වෙනුවෙන්. වසර ගානක් මගේ පසුපස සෙවණැල්ලක් වගේ හිටිය අදටත් නොවෙනස් ව මට ආදරේ කරන නුඹ වෙනුවෙන්. කවදාවත් මගේ අතින් සටහනක් නොලියවුණු නුඹ වෙනුවෙන් !

විසිපස් අවුරුද්දකට කලින් මම ඉපදෙන්න ඉද්දි නුඹේ හිතේ සුවහසක් සිහින තියෙන්න ඇති. කුළුඳුල් දරුවා දෝතට ගනිද්දී නෙත කඳුලින් තෙමෙන්න ඇති. මගේ කිරි සිනහා දකිද්දී හිත සතුටින් පිරෙන්න ඇති.... මගේ කටහඬ ඇහෙද්දී හිත ආදරෙන් පිරිලා ඉතිරෙන්න ඇති. තාමත් තියෙනවා නේද ඒ පුංචි කටහඬ රෙකෝඩ් කරලා තියෙන කැසට් පීස් එක... මගේ මුල්ම අකුරු තියෙන ඩයරි එක.... මගේ ෆොටෝස් ගන්නම ගත්ත කැමරාව.... මට මතකයි ආදරේ පිරුණු ඇස් වලින් මට ඒවා පෙන්නපු හැටි පස්සේ කලෙකදී... 

" තුන්පත් රෑන "

අපිව දන්න අය එහෙම කිවුවා මට මතකයි. 

අඩන්න නොදී හදපු නිසාම හුස්ම ගන්න අමාරු වෙලා දවසක් දා දොස්තර ලඟට ගියාම 'මේ දරුවට දැන්වත් අඩන්න දෙන්න' කියලා කිවුවලු... වැලි කැටයක් පයේ නොගෑවෙන්න වඩාගෙන හදපු නිසාම පස්සේ කාලෙක මට වැලි පොළොවේ ඇවිදගන්න අමාරු වුනාලු. කන් දෙකත් වැහෙන්න හා තොප්පියක් දාගෙන ගමන් බිමන් ගිහිල්ලම මට සීතල දරන්න අමාරු වුනාලු.... ඒ ආදරේ තවත් දේකට සම කරන්නේ කොහොමද ඉතින් මම. 

ඒත්, කාලේ ගෙවිලා යද්දී ආදරේ වැඩි වෙද්දී මම දන්නේ නැහැ ඇයි මට බය හිතුනේ කියලා.... හදිස්සියේවත් මම මැරුණොත් කොහොමද ඒක ඔය දෙන්නා දරාගන්නේ කියලා සිය දහස් වාරයක් මම හිතලා ඇති. ඔයාලට මගේ ඈත් වීම හුරු කරන්න ඕනි කියන සිතුවිල්ල මට ආවේ හයේ පන්තියේදී.... 

මතකද මම වෙනම කාමරයක් ඉල්ලගෙන තනියම නිදාගන්න පටන් ගත්තා....

ඒත් හැමදාම එහෙම ඉන්න දුන්නෙත් නැහැ ඔයාලා දෙන්නා.... සතියට දවසක් දෙකක් වත් බලෙන්ම ඇවිත් මාව තුරුල් කරගෙන නිදාගත්තා. 

අවුරුද්දෙන් අවුරුද්ද ගෙවිලා ගියා. ඉගෙන ගන්න වැඩ වලට මට ගෙදරින් එන්න වුනා. එක අතකට බැලුවොත් ගෙදරින් එලියට එන්න මම බලා හිටියා වගේ. මට මතකයි මාව බෝඩිමට දාලා යද්දී අම්මා හොඳටෝම ඇඩුවා. තාත්තා ගෙදර ගිහින් මගේ ෆොටෝ එකක් දිහා වරුවක් බලා හිටියා කියලා පස්සේදී මම දැනගත්තා. 

හේතුව හිතාගන්න බැහැ තාමත් මට. ඒත් මම අඩුවේ නැහැ. ඒ වෙනුවට මට ඕනි වුනා තනියම ඉන්න. තනියම ඉගෙන ගන්න. තනියම මගේ දේවල් කරගන්න. කවදාහරි දවසක ඔයාලා නැති ජිවිතේකට මම දැන් ඉඳන් හුරුවෙන්න ඕනි කියලා මම හිතුවා. 

දවස ගානේ ගෙදර යන්න පුළුවන් දුරක මම හිටියත් මම ගෙදර ගියේ සතියකට වතාවයි. කාලයක් යද්දී ඒක මාසෙකට වතාවක් වුනු වෙලාවලුත් නැතුවා නෙමෙයි. 

"සමනනලයෙක්ව හදලා අහසට යන්න දුන්නා. දැන් ඒකව හොයාගන්නවත් නැහැ" 

අන්තිමේදී තාත්තා අම්මට කිවුවා කියලා දැනගත්තම නම් මගේ හිත නොරිදුනා නෙමෙයි. ඉතිං මම මාසෙකට දෙපාරක් වත් ගෙදර යන්න ගත්තා ආයෙමත්... 

අවුරුදු හතරක් ගෙවිලා BMICH එකේ වේදිකාව උඩදී ෆස්ට් ඩිග්‍රී එක ගනිද්දී මම දැක්කේ ආඩම්බර ඇස් වල කඳුළු. ඔය දෙන්නා වෙනුවෙන් මගේ අතින් ලියවුනු කවි, කතා, නිසදැස් කියවද්දී මම දැක්කේ ආදරේ ඉතිරෙන ඇස්. අනිත් අයගේ කටවල් වලින් මම ගැන කියවෙන දේවල් අහලා සෙනෙහස දෝරේ ගලන හැටි මම නොදැක්කා නෙමෙයි මේ ගෙවුණු කාලේදී.... ඒ හැම බැල්මක්ම මගේ ජිවිතේ සුන්දර මතක සටහන්. අමතක නොවෙන කිසිම දෙයක් එක්ක සසඳන්න බැරි මතක සටහන්. 

'දුවේ නුඹ මගේ ප්‍රාණයයි.. සැබෑ වුනු සුබ සිහිනයයි !' කියලා ගෙදර අයගේ සිහින සැබෑ කරලා.. කාලෙකට පස්සේ මම සිහිනයක් දකින්න පටන් අරගෙන.... මගේ ළබැඳියන් හැමෝම අතහැර දමලා දුර ඈතකට යන්න... ආයෙමත් එන්නේ කවදද කියලා නොදන්න ගමනක් අරඹන්න.... හැමදාමත් සිහින දැකපු සංචාරය අරඹන්න මම සුදානම් !

ඒත්, 

'මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න. ඒ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න' කියලා මගේ ජිවිතේ මට දුන්නු.. මගේ සිනහව මට දුන්නු.. මගේ සෙවණැල්ල වුනු.. මගේ ලෝකේ හිරු සඳු දෙන්නට කියන්න තරම් මගේ හිත නරුම නැහැ. ඒ හිත රිද්දලා ලබන සතුට මට වටින්නේ නැහැ. ඔව්. ඒ ආදරේට අත වනලා මගේ ගමන යන්න මම සුදානම් නැහැ.

ජිවිතේ අපිට දෙන්නේ අපිට ඕනි දේවල් ද.. ලැබිය යුතු දේවල් ද කියලා මම තාමත් කල්පනා කරනවා.




Wednesday, October 21, 2015

ආදරය සහ විවාහය !





මම ඔයාට හරිම කැමතියි.
අර මොකෝ ?
ඔයත් එක්ක ඉද්දි හිත සැහැල්ලුයි.
සිරාවට..
ඔව්. ඇයි ඔයාට එහෙම නැද්ද?
නෑ නෑ මටත් එහෙම තමයි.


මම ඔයාට ආදරෙයි !
මොකක් කිවුවා ??
නෑ මේ මම ඔයාට ආදරෙයි කිවුවා...
ඉතිං..
ඔයා මට ආදරේ නැද්ද.....
ඒක ගැන පස්සේ වෙලාවක හිතලා බලන්න ඕනි.



අපි බඳිමු ද..........
මොකක් ???
ඇයි දැන් ඔයා කලින් කිවුවේ මට ආදරෙයි කියලා...





ඉතිං ඒ වුණාට මම බඳින්න ඕනි කිවුවේ නැහැ නේ !







නුඹට නොව මතකයට ලියන කවි !




නුඹට නොව
නුඹේ මතකයට
පමණක් ම 
ආදරය කරන්නට
පටන් ගත් දා
වටහා ගතිමි 
මම

 
යළිත් නම්
කිසිදිනෙක 
නොලියැවෙන වගට
මා අතින්



නුඹට කවි.............!
_____________________________________________
Feeling "එදා මට ඔබ සරා සඳ විය.. මෙදා මට ඔබ සැබෑ සඳමය.."




Monday, October 19, 2015

The Seventh Kiss !




මම ද පළවෙනියා ?
ඒ මොකෝ එහෙම අහන්නේ......
නෑ නිකං...... ඇත්තටම මම කීවෙනියද ??
ඔයා මම කොහොම කෙනෙක් කියලද හිතාගෙන ඉන්නේ ආ.....
හරි හරි ඉතිං.....
මොකෝ.........
නෑ මේ මම කල්පනා කලේ මම පළවෙනියා නම් වෙන්න බැහැ කියලා....
අර මොකෝ......
මට හිතුන, නිකමට වගේ.....
සිරියස්ලි........
ඔව්. ඇයි මම කිවෙනියද ඇත්තටම.......???
ඕවා ඕනි නැහැ අනේ.....
ඔයා දන්නවනේ මම එහෙම දේවල් ගැන ලොකුවට කෙයාර් කරන්නේ නැහැ කියලා....
හ්ම්ම්ම්ම්.......
නිකං දැනගන්න ඇහුවේ.....
දැන් ඉතිං ඕක දැනගන්නම ඕනි ද.....
කියන්න බැරිනම් එපා ඉතිං. මම ආයේ අහන්නේ නැහැ.
දැන් ඔය තරහද....
නෑ.
දන්නවද ඔයා කිවෙනියද කියලා....
නෑ.
කියන්නද එහෙනම්.....
මට ඕනි නැහැ.



ඔයා ද.........








ඔයා තමයි හත් වෙනියා.


The lucky SEVEN !







Sunday, October 11, 2015

වසත් සුළඟ වන්නද මම නුඹ හට.........




මද සුළඟක් වී දසත හමන්නට 
රොන්සුණු තවරා ගත දැවටෙන්නට
සිහිනයක් දුටිමි තනිය මකන්නට    
වසන්ත සමයක, පෙර දී කලකට 

සුළි සුළඟක් වී සැඩව හමන්නට 
ලෝකය උඩු යටිකුරු කරලන්නට 
කාටත් පල නැති වාසුළි වන්නට 
වසන්තයේ අග, සිතක් සිතුණි මට 

පළමුව මදනල වාසුළි වන්නට 
තවත් වතාවක් සිතා බලන්නට 
මල් උයනේ සිරි අසිරි විඳින්නට 
රහසක් කිවේ, සමනලයෙකු මට 

දහසක් මල් පෙති ලොව පුබුදන්නට 
සහසක් රොන්සුණු ගත දවටන්නට 
ගත දැවටී වත සෙමෙන් සිඹින්නට 
වසත් සුළඟ වන්නද මම නුඹ හට.........


නොබැඳී බැඳෙනු වස්.........




බැඳී නොබැඳෙන
දහසක් අතර
නොබැඳි බැඳෙන්නට
සිත පතන අපූරුව !



මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න !



සිහිනයක් ඇත මට
නිරතුරුව සිත දකින
ඉටු වුවත් නොවූවත්
සිත අතැර නොම යන

සිහිනයක් ඇත මට
මගේ සිත සැනසෙන
එහෙත් එය කිසිදින
මගේ නිවස සනසනු නැත

සිහිනයක් ඇත මට
අතැර යන්නට සැමදෙන
පියඹ යන්නට ඈතට
සොයාගන්නට මගෙ ලොව

සිහිනයක් ඇත මට
සැම දිනෙක සැමවිටක සිත දකින
එය සිහිනයක් නොවන්නට
කූඩුවේ දොර හරිනු මැන මට..... 



නුඹ සහ මම




නිසල සිතුවිලි කළඹවා නුඹ
සිතට ගෙන ආ කල්පනා
දිනෙන් දින සිත පතුලටම විත්
මටත් නොදැනී සිරවුණා

සිතුවිලිත් නැත නුඹත් ළඟ නැත
මතක පමණක් හිමිවුණා
එදා හුන් තැන මමත් අද නැත
කවිය පමණක් ලියවුණා.