Monday, October 26, 2015

නොනිමි මතක 1 - ගංගාරාම සීමාමාලකය සහ නිදහස් චතුරස්‍රය




කාලයක් තිස්සේ හිතුවා මතක පොත පෙරලනවද නැද්ද කියලා.... ඔබට හුරුපුරුදු තැන් ගැන මගේ නුපුරුදු අත්දැකීම්..... කොළඹ ඇතුල, අවට වගේම කොළඹින් දුර ඈතට විහිදුනු අත්දැකීම්.....

අන්තිමේදී ඔන්න එහෙනම් ලියන්න ගත්තා.... 2009 අගෝස්තු 12 අපේ පළවෙනි ෆීල්ඩ් විසිට් එක. ටාස්ක් එක වුනේ,

" දකින්න, බලන්න, හිතන්න, අදහස් හුවමාරු කරගන්න, දැනුම බෙදා ගන්න, ඒ දැනුම තමන් කැමති මාධ්‍යයකින් නැවත ඉදිරිපත් කරන්න "

ෆැකල්ටි එකේම ළමයි එකට කලවම් කරලා කණ්ඩායම් 5 කට බෙදලා ඒ පහෙන් එකකට ලැබුණු තැන තමයි මේ. මතක විදියට එකක් ගාලු කොටුවේ ගියා... එකක් මහ බැංකුවට ගියා... තව දෙකක් තව කොහේදෝ ගියා.

අපි හැමෝම එකට එකතු වෙලා මේ වෙද්දී සති තුනයි ගෙවිලා තිබුනේ. කොලර් තියෙන බ්ලවුස්, පතුලටම දිග සායවල්, තනි කරලට ගොතාපු කොන්ඩේ, කළු පටි සෙරෙප්පු එක්කම දකුණු අතේ බැඳපු නිල්, සුදු කලවම් වුනු ලස්සන ෆ්‍රෙන්ඩ්ෂිප් බෑන්ඩ් එක අපේ අනන්‍යතාවය වෙලා මේ වෙද්දී.... පිරිමි ළමයින්ට නම් ටයි එක විතරයි අඩු වගේ...

මොනම හේතුවක් නිසාවත් ගැට්ටක් හදාගන්න එක අපිට තහනම් වෙලා තිබ්බේ... අපි කොළඹ, අපි දකුණේ, අපි උඩරට කියලා වෙනම ඉන්න බැහැ. අපි මේ ඉස්කෝලෙන් ආවේ, අපිට සල්ලි තියෙනවා කියලා වෙන් වෙන්නත් බැහැ කිසිම කෙනෙක්ට....

කොහොම හරි පළවෙනි ෆීල්ඩ් විසිට් එක අපිව කොළඹ එක්ක යන එක ගැන අපිට ටිකක් විතර හිතේ අමාරුවක් නොතිබ්බත් නෙමෙයි. ගාල්ලේ බැරි නම් වෙන කොහේ හරි දුරකට අරන් යන්න තිබ්බා නේ... මගේ එක රූමෙක් පාන්දරම අපිටත් දිව ඇද කරලා ගාලු ගියේ...

කොහොම නමුත් අන්තිමේ කැම්පස් බස් එකක ගිහින් දැම්මා ගන්ගාරමෙට... ටීම් එක හතළිහක් විතර.... කැමති විදියක ඇවිදලා වැඩ කරගෙන 12 ට බස් එකට එන්න කිවුවා නිදහස් චතුරශ්‍රේට ගෙනියන්න. එහෙදි කෑම කන්න ඊට කලින් කොහෙන් හරි කෑම ගන්න කිවුවා.

අපි ඉතිං ඇවිද්දා.... බැලුවා.... කතා කළා..... ෆොටෝ ගත්තා.... සටහන් ලිව්වා.... එක එක්කෙනා එක එක දේවල්.... යුද්දේ ඉවර වෙලා මාස තුනක්වත් නැහැනේ... ඒ නිසා හැම තැනම ආරක්ෂාව නොවෙනස්ව තිබ්බා. නවම් මාවත වටේම යන්න ඕනි වුනත් හමුදා බැරැක්ක වලට අපිට හේතු කියන්න වුනා ඒකටත්.....

ෆැකල්ටි එකම එකට දාලා ගෘප් එක හදලා තිබ්බට අපේ බැච් එකේ ළමයි හත් අට දෙනා එකටමයි හිටියේ හැම වෙලේම. අනික මොන ෂයි එකෙන් ආවත් නම කියන්න ඕනි කිවුවට අපි තාමත් අපේ සමහරුන්ට කතා කලේ අයියේ අක්කේ කියලා...

දවල් කෑම වෙලාව ළඟයි. පේන මානෙක බත් කන්න තැනක් නම් පෙනුනේ නැහැ. ඒත් අපේ සෙට් එකේ හිටිය රෝයල් එකේ අයියට අපිට කලින් පෙනුනා කෑම ගන්න පුළුවන් ලේසිම තැන. සමහරවිට පැත්ත හුරු නිසා වෙන්න ඇති.

" කෑම නම් පේනවා ! හැබැයි අද බඩ පිරෙන්නේ එතනට ළඟා වීමේ වේගය මත තමයි ළමයි.... "

අපි වට පිට බැලුවා. කොහේ යන්න ආව එකක්ද දන්නේ නැහැ. බත් පැකට් පුරෝගත්ත ත්‍රී වීලර් එකක් ළමයි ටික දැකලා ඈත නවත්තලා. අපි සැණෙන් පාරට බැස්සා. අපිව දැකලා නවත්තපු කෑම රථයට පිංසිද්ධ වෙන්න කෑම ගත්තා.

අපිට පස්සේ ආව සෙට් එකත් ගත්තා. ඊළඟ එකත් ගත්තා. අනේ කෑම ඉවරයි ඔක්කොම. අන්තිමට ආව අයට ආයෙමත් කඩවල් හොයන්න වුනා. කොහේ හදපුවද දන්නේ නැහැ. කොහොම හදපුවද දන්නෙත් නැහැ. කෑම වල සෞඛ්‍ය ආරක්‍ෂිත බව ගැන හැඟීම පළමු වතාවට මම හිතෙන් අයින් කළා.

හැබැයි දෙයියනේ කියලා අපි ඒ කෑම කාලා ලෙඩ වුනේ නම් නැහැ. පස්සේ කාලෙක කන්න හම්බ වුනු සමහර තැන්වල හැටියට ඒ කෑම එක හොඳයි වගේ....

නුහුරැ පරිසරයකට හුරු වුනු මුල්ම දවස. උදේ ඉඳන් හවස් වෙනකල් ම අපි එක එක දේවල් ගැන කතා කළා.... එක එක්කෙනාගේ අත්දැකීම්.... එක එක්කෙනා දේවල් දකින විදිය. හැමෝම දකින දේවල් වල නොදකින පැත්ත.....

හවස නිදහස් චතුරශ්‍රයටත් ගිහින් අපි ආවා. අන්තිමටම ගිහින් මුලින්ම බෝඩිමට ඇවිත් තිබුනේ මම.

" දකින්න. හිතන්න. "

ඔව්. ඒ ජිවිතේ එක පාඩමක් !



No comments:

Post a Comment