Tuesday, June 25, 2013

බටු

මේක වුණේ අපි උසස් පෙළ කරන කාලෙ..... ඒ දවස් වල අපි අමතර පන්ති ගියාම දවල්ට කෑම කන්නෙ කට්ටිය සෙට් වෙලා..... මට මතක විදියට අපි 7ක් නැත්නම් 8ක් හිටියා ඒ සෙට් එකේ.... දවසක් අපි කාගෙ හරි බත්මුලක බටු තිබුණා... 

එළබටු.... 

අපෙ සෙට් එකේ එක කෙල්ලකගේ බටු පිළිබඳ දැනීම අන්තිමයි.... ඒ තියෙන්නේ මොන බටු ද අහනවා.... ඉතින් අපේ අනිත් එවුන් ටික බටු පිළිබඳ මහාචාර්ය දේශනයක් දුන්නා සාමූහිකව.... 

සියළු බටු වර්ග ගැන කියා දුන්නට පස්සේ යාළුව අපේ මූණු දිහා බලාගෙන බොහොම අහිංසක විදියට මෙහෙම ඇහුවා....

"දැන් එතකොට මේ තියෙන්නේ වම්බටු ද...? "



රෝසි... (3)

දවසක් මං අහගෙන රෝසි ගෙ අම්මා රෝසිට බත් කවන්න ගත්තා හරිම ආදරණීය විදියට..... 

"පුතා දන්නවද අර ලස්සන මොනරු ඉන්නේ.... මාත් ඔයාට ඒ විදියට ලස්සනම ලස්සන ගවුමක් මහලා දෙනවා අඳින්න... අම්මත් ඒ වගේම ගවුමක් ඇඳ ගන්නවා... රැළි දාලා... තට්ටු දාලා..... ඊට පස්සේ ඒ මොනරු වගේ අම්මයි පුතයි නටනවා..... ඉතින් පුතේ කන්නකෝ කටක්....." 

ඔන්න ඔහොම බත් කවන්න ගත්තට මේ පොඩ්ඩට එහෙම ලේසියෙන් කවන්න බෑ.... ඒකා හිතාගෙන ඉන්නේ මේ ලොකේ තියෙන එපාම කරපු කෑම බත් කියලා වෙන්න ඇති.... කොහොම වුණත්.. මොනවා කිවුවත්.. බත් කටවල් 10 කට වඩා කවාගන්න බැරි වුණාම අම්මට යකා නගිනව.....

"ඔය ළමය දන්නවද.... අර අතන බුලත් යකෙක් ඉන්නවා.... කෑවෙ නැත්නම් දෙනවා යකාට හරිද..."

දැන් ඇරඹිලා තියෙන්නේ හොඳින් නැත්නම් නරකින් හරි කවනවා කියන වෙලාව තමා කියලා එතකොට පොඩි එකාට තේරෙනවා.... හැබැයි කෙල්ලත් එහෙම ලේසියෙන් යටත් වෙන්නේ නෑ.... ඉතින් අම්මා දන්න යක්කු ඔක්කොම ගෙන්නනවා... අන්තිමේදි කෙල්ල යක්කුන්ට බය වෙලා අඬද්දි අම්මා අයෙත් ඒ යක්කු ටික පන්නනවා.....

කොහොම වුණත් අහම්බෙන් හරි මේක ඇහුණු මට හිනා ගියේ මොනර නැටුමෙන් පටන් ගත්ත බත් කෑම තොවිලෙකින් ඉවර වුණු නිසා.... 


Sunday, June 23, 2013

සමුගන්නට ළඟයි සරසවි මව්නි ගරු.....

පියමැන්නෙමු දිනෙක මේ පින් බිම වෙතට
උගතිමු දිනෙන් දින ලෝකය දකින්නට
අවසන් වසත් එළඹී නොදැනිම හිතට
දෙවියනි මා උගත්තේ කවි ගොතන්නද.... 

සෙමෙස්ටරෙන් සෙමෙස්ටරය ගෙවී ගියා
විෂයෙන් විෂය අපි හෙමිහිට ඉවර කළා
field visit.. site visit.. TRIP වූවා
කොයි හැටි වෙතත් අපි රට තොට සැරිසැරුවා....

Assignment එක පිට එක ගොඩගැසුණේ
Group work ඒ අතරට සෙට් වූයේ
Model නිසා රෑ තුන්යම නිදිවැරුවේ
සිවු වස ගෙවෙන තෙක් අපි දින සති ගැන්නේ...

Lectures ගියේ පසුපස පෙළ අල්ලන්ට
සැරිසරුවේ කවි කොළ එහි හතර කොණ
Book review අවසන් වූ වෙලාවට
නිවන් ගිය විලස දැනුණේ හිත් කොනට...

දන්නේ මොනවාද නොදන්නෙ මොනවාද
සෙව්වේ විභාගය ආ විට කට ලඟට
කුප්පි disscussion දමලා එක දිගට
ගොඩදැම්මා අපි අවුලක් නෑ හිතට..

Project work කියමින් අපි හතර වටේ
Data collect කළ හැටි මතකයට නැගේ 
ඇනුණු විටදි බොරුවක් හෝ කියමින්නේ
බෑ කිවු presentation අපි ගොඩදැම්මේ....

Match, trip, පැදුරු පෙරළෙනවා මතක පොතේ
Going down නැහැ අමතක වී යන්නේ
කැම්පස් ටී ෂර්ට් විකිණූ විලස ගොඩේ
මතකෙට නැගෙන විට නොදැනිම සිනා නැගේ

Social work කියමින් පාසැල් හැදුවේ
පොඩි උන් සොයා ගොස් සෙල්ලම් බඩු බෙදුවේ
මළගෙදරක ආරංචිය ලද විගසේ
නයිටක් ගසන්නට සැම එක් රොක් වූයේ...

සිව් වසරක් ගතව ඇවිදින් මොරටුවට
අද ඊයෙ වගේ දැනෙනවා හදවතට
පුරවර රඟමඩල මත රඟපාන්නට
ආයෙත් කිසිදිනක අවසර නැත අපට.........


Tuesday, June 11, 2013

O/L ඉවරා...........යි !

O/L ඉවර වුණාම හිතට දැනුණෙ පුදුම සහනයක්..... ඇයි අප්පා subjects 10ක් ඉවරයි කියන්නේ මොන තරම් ලොකු දෙයක්ද.... දැන් මොනාද කරන්න ඉන්නෙ O/L පටන් ගන්නකං... හැමෝම අහනවා..... යාළුවන්ගෙ නම් ලෑස්තිය A/L වලට ක්ලාස් යන්න...

'මං ලයිබ්‍රරි යනවා'..... ඒ මගේ උත්තරේ....

කැමැත්තක් කරන්න..... අම්මල කිවුව.... මං ඉතින් යාළුවෙකුත් හොයාගෙන සතියට දවසක් පුස්තකාලෙ යන්න ගත්ත..... 

උදේ 9 වෙද්දි එක library ය කට යන අපි එතන තියෙන සතියේ පත්තර ඔක්කොම කියවලා පොතුත් අරං අනිත් එකට යනවා.... එතන තියෙන ටිකත් කියෝලා තමයි පොත් තෝරන්නේ.....

මුලින් මුලින් මං තේරුවෙ හැමදාමත් ආස කරපු පරිවර්තන තමයි..... ඒත් මගේ යාළුව කියෙවුවෙ නවකතා.... ඉතින් මටත් ඕනි වුණා නවකතා කියවන්න..... දැන් ඉතින් සතියට 8 ක් විතර කියෝනව.... මාරුවෙන් මාරුවට නවකතා සහ පරිවර්තන.... මගෙ පොත් 4 යි.. යාළුවා ගේන පොත් 4 යි... හැබැයි අවුලකට තියෙන්නෙ මං මේ ඔක්කොම ඊලඟ සතිය වෙන්න කලින් කියෝන එක තමා.... මං ඒකටත් විසඳුමක් හොයාගත්තා.... එහා ගෙදර අක්කා ගෙන් ඉල්ල ගත්ත මල් පත්තර කන්දරාවකුත්..... 

අනේ දෙවියනේ එහෙමත් කියවිල්ලක්...... පොත් සිය ගානක්..... මල් මල් හීන ලෝකයක්.....  

මාස ගානක් ගත වුණා... A/L පටන් ගන්නත් ලං වුණා..... සුපුරුදු පරිදි මං library එකේ නවකතාවක් හොයනවා..... මේ වෙද්දි මට කියවන්න පොත් නෑ...

library එකේ සර් ට බලා ඉඳල ඇතිවෙලාද මන්ද අන්තිමේදි මෙහෙම කිවුව..... 

'දැන්වත් ඉගෙනීමට අදාළ පොතක් ගත්තොත් හොඳ නැද්ද ළමයො....' 

ලැජ්ජාවයි... මගෙ අත මටත් නොදැනීම ලඟ තිබුණු සාහිත්‍ය පොතකට ගියා..... 
              "සිංහල කාව්‍ය රසය"  

එදා මෙදා තුර මං තාමත් පුස්තකාලෙකින් නවකතාවක් ගෙදර ගෙනත් නෑ... කොහොමටත් කියවපු නවකතා තොගේට මට ඒක එපා වෙලාම ගියා....

හැබයි ඉතින් එදා ඒ සර් කියාපු වචන ටික අදත් මගේ හිතේ නොමැකෙන මතකයක් වෙලා රැඳිලා තියෙනවා......



රෝසි... (2)

එහා ගෙදරට ආව පුංචි දඟකාරිට ගෙදරට කිවුවෙ රෝසි කියලා.... කිවුවත් වගේ පහුවදා උදේ රෝසි අපේ ගෙදර අවා.... පුංචි කාලෙ ඉඳන් මං එකතු කරාපු බෝනික්කෝ, වාහන වගේ තවත් එකී මෙකී නොකී දෑ දැකලා පුංචි හිත වශී වෙලා.... අදින්නේ මොනාද කියලා හිතගන්න බෑ කෙල්ලට... 

කොහොම වුණත් ඇවිත් ටික වෙලාවකින් තමයි අපිට තේරුණේ මේකා නම් ඉස්සෙක් කියලා...... එක බඩුවක් අදිනවා... බිම දානවා... අපි ඒක ඇහිඳින කොට තව එකක් බිම දාල.... බෝනික්කෙක් අරන් කෑගහනවා මට මේකා ඕනි කියලා... ඒක දුන්නම වෙන එකක් ඕනිලු.... අනේ දෙවියනේ මට පිස්සු නොහැදුනා විතරයි...... 

කොහොම වුණත් ඇවිත් ටික වෙලාවකට පස්සෙ මේ නසරානි කෙල්ලව ගෙදර යවාගන්න අපිට පුළුවන් උනේ ලෝක යුද්ධයක් ඉවර කළා වගේ.....

"අම්මේ.. අපි ඔය තරමින් බේරුණා ඇති" මං අම්මට කිවුවා....


සුළඟ එනු පිණිස...

විවර කළෙමි දොර කවුළු පියන්පත්
හමා එනු පිණිස නැවුම් සුළං රැල්
සුපුරුදු පුස් ගඳ මැකී නොයයි නම්
කුණාටුවක් වුව එනු, නැත තහනම්....





Monday, June 10, 2013

රෝසි...

අපේ එහා ගෙදර හා හා පුරා කියල කුලියට දුන්නෙ පුංචි පවුලකට... අම්මයි තාත්තයි පොඩි බබයි... ආව මුල්ම දවසෙම ඉතින් මේ දෙන්න ඇවිත් අපේ ගෙදර අයට ආරධනා කලා ඇවිත් තේ ටිකක් බීලා යන්න කියලා.... හොඳ නෑනෙ කියලා අපිත් ගියා... එදා තමයි මේ පොඩ්ඩව අපි මුලින්ම අඳුර ගත්තේ...... 

වයස අවුරුදු 2 හමාරක් විතර..... තාම අකුරු කියෝලත් නෑ..... කොහොම උනත් මහා නසරානි කෙල්ලක් කියලා අපිට හිතුනේ දඟලපු දැඟලිල්ලටයි ගෙදර අයට දීපු කට්ටටයි..... අපිත් එක්ක කතා කරන්න හදන හැමවෙලේම පොඩ්ඩා මොනාහරි අදිනවා.... අන්තිමේදි බලද්දි කුස්සියෙ වළං උඩටත් නැගලා.... ඔය අතරෙ බබාගෙ ආච්චම්මා කියනව ඔන්න බලන්නකො මහත්තයා හෙට වෙනකොට මෙයා මහත්තයලගෙ කුස්සියෙ ඉඳීවි කියල..... කොහොම උනත් ඒ ගෙදරින් එළියට බැස්සට පස්සේ මට නම් පුදුම සහනයක් දැනුණේ.... 


ඉතින් ඊට පස්සේ.....