Wednesday, September 18, 2013

වැටහීම


දයාර්ද වූ මිනිසුන්ගේ
සිත් අහසේ පායා තිබූ
අවිහිංසක පුරා හඳ
දසත පැතිර වූ
සුමුදු එළියට
සියල්ලෝ ලෙංගතු වුවද
එහි
ලප කැළැල්
මතුකරගත්තවුන්
එයට සාප කරනා වග
වටහා ගන්නට
සඳේ....
නුඹට හැකිවුණි ද ?

අන්සතු වූ මහගෙදර


නෙක සන්නි නටා
යකුන් සියල්ල පන්නා
වෙන්දේසි කළ
මගේ නිවහල් උරුමය
නැත ඉතිං මින්මතු
මගේ පරපුරට
නෙතඟ හීන් කඳුලක්
මෝදු වුව ද
දුක නැත හිතට
මන්ද
ලොව සියලු දේ
අනියත බව
මගේ පරපුරම
මට පසක් කර දී ඇති නිසා.............



Monday, September 16, 2013

ආදරය


දවසින් දවස වියපත් වන
වසරින් වසර පරිණත වන
තුරුළු කර ආදරෙන් හිස සිඹින
ඒ දයාබර සෙනෙහස දමා යන්නේ කෝම...

ළපටි කල මගේ මුළු ලෝකයම වූ ඔබ
දැන් මගේ ලෝකයෙන් කොටසක්ව ඇති විට
බිය දැනෙයි නිරතුරුව මා හදට
මා ඔබෙන් ටිකෙන් ටික දුරස් වනවා වත් ද.....

හැකිනම් ඉන්න තුරුළු වී
කුඩාවෙක් විලස හැමදාම
මුළු ලොවම ඔබ දෑසින් බලා
මියෙන්නට ඔබ තුරුලේම........


වහල්ලු




මහ හඬින් නද දෙමින්
වරින්වර දඟලමින්
ඇමතුමක් ආ විගස
නොසඟවා පවසමින්
කෝප ගත්විට මගේ
අතින් බිම විසිවෙමින්
යළි යළිත් උණුහුමට
මා අතට ගුලිවෙමින්
දුක සතුට විශ්මයත්
තනිකමත් එක ලෙසින්
බෙදාගන්නට නොහැක
ඔබ නොමැති නම් ඉතිං.........

Tuesday, September 3, 2013

නොපෑහීම


ඉගිලෙන්න 
අවසරය 
නොම දුන්න 
මගෙ හිතට 
පියඹන්න 
කුමකටද
නුඹේ ඔය 
සිත් අහස............. 

බෝඩිම


නාඳුනනා මුහුණු පෙළක්
හඳුන ගනිති එකිනෙකාව
නමින් ගමින් වයස් වලින්
එක වී එක නිවහනකට

දෙමාපියන් නැත අසළක
ගම්බිම් වී ඇත දුරස්ව
යහළු යෙහෙළියන් නොමැතිව
තනිකම ඇවිදින් තනියට

ඔරලෝසුවේ කටු කැරකී
කැලැන්ඩරේ පිටු පෙරළි
ලෙන්ගතුකම් හිත පිරවී
සොයුරු දමක සිත පැටලී

ආ ගිය තොරතුරු කියමින්
එක බත් පත අනා කමින්
කවටකමට සිනාවෙමින්
තනිය මකන මේ සගයින්

කෙදිනක හෝ මේ නිවහන
අතර දමා නික්ම යාවි
ආයෙත් දිනයක හමු වී
තුටු කඳුලින් නෙත තෙමාවි.......