Tuesday, June 28, 2016

මට ඕනි ගමන් සගයෙක් !


මගේ පුංචි නගරයෙන් අරඹලා 
දවසින් දවස 
මාසෙන් මාසේ 
අවුරුද්දෙන් අවුරුද්ද 
රටෙන් රටට 
නගරයෙන් නගරයට 
මගේ ගමන යන්න. 
අලුත් අත්දැකීම් විඳින්න.
වෙනස් මිනිස්සු හම්බවෙන්න..
පොද වැස්සේ නටන්න..
පදික වේදිකාවෙ කෑම කන්න.. 
මහපාරේ බෝල ගහන්න.. 
තරගෙට බයිසිකල් පදින්න..
මුහුදු වෙරළේ සරුංගල් අරින්න..
අතේ සතේ හිඳෙනකල් ඇවිදින්න..
පාර්ට් ටයිම් ජොබ් කරන්න..
මහන්සි හිතුනම නවතින්න..
ආයෙමත් ඉගෙන ගන්න..
එපා වුනාම සංචාරය අරඹන්න.
ඔව්. 
මට ඕනි ගමන් සගයෙක්. 
මාත් එක්ක මේ ගමන යන්න.



ඉරිසියාව !


ඉරිසියාවයි හිතට බලා ඉන්නේ කොහොම
අනිත් උන් නුඹ එක්ක මුකුළු කරනවා නේද
මට ඉතින් බෑ ඉන්න නුඹට නොලියා මෙහෙම
ඒත් මම ලිව්වොතින් නවතින්නේ අපි කොහෙද......... 

හිත සැලෙයි අත සැලෙයි 
පද එකින් එක බැඳෙයි
තරහවයි හිත රිදෙයි
මම නුඹට ආදරෙයි

එහෙත් නුඹ බඹරෙකි 
මලින් හිඟයක් නැති
මම ආවොතින් යළි
නිමාවක් නම් නැති.................



"මෝඩකම"



කාලයත් එක්කලා සමහර දේවල් වෙනස් වෙනවා..... ඒ වගේම කාලයත් එක්කලා කවදාවත් වෙනස් නොවෙන දේවලුත් තියෙනවා. මේක කියවද්දී හිතට එන පළමු දේ "ආදරය" නම්....... මේ කියන්න යන්නේ ආදරය එහෙමයි කියලා නෙමෙයි. 

මා ළඟ තියෙන උත්තරේ "මෝඩකම" කියලා... 

ජිවිතේ එක කාලෙකදී හමුවෙලා.... තවත් කාලෙකදී අත ඇරිලා..... ආයෙමත් කාලෙකදී ළඟට එන සම්බන්ධතා වලට නොසිඳෙන සෙනෙහසින් දොර කවුළු විවර කරන්නේ ආදරය නිසා නෙමෙයි.. මෝඩකම නිසාවෙන් කියලයි මට දැනෙන්නේ.... 

ආයෙමත් දවසක ඈතට යාවි කියලා දැන දැනම.... මග වැරදිලා ආයෙමත් වතාවක් තමන් ඉදිරියට ආව ජිවිත ආදරෙන් පිළි අරගෙන ඒ හිත් සනසලා අවසානෙදි තමන් තැවෙන්නේ ආදරය නිසා නෙමෙයි.. මෝඩකම නිසාවෙන් කියලයි මට දැනෙන්නේ.... 

මොන දේ කලත්.... මොන දේ වුනත්.... හීනෙකින් වත් තරහවක් නොසිතෙන්නේ ආදරය නිසා නෙමෙයි.. මෝඩකම නිසාවෙන් කියලයි මට දැනෙන්නේ.... 

හැමදාමත් වගේ අදත් මට හිතෙනවා. 

හමුවුණු අය හමු නොවුනා නම්.....
සමහර මතකයන් අමතක වෙලාම ගියා නම්.......

ජීවිතය මොනතරම් නම් වෙනස් වෙන්න තිබ්බද...... 
ඔව්. 
කාලෙකට පස්සේ මං ආයෙමත් වතාවක් කියනවා.

ජිවිතේ හරිම පුදුමාකාරයි.... ආදරේ හරිම ඉවසිළිවන්තයි..... 

"මෝඩකම" 

ඒක හරිම මෝඩයි.............. !




Sunday, June 5, 2016

නොරිකො මේ අහපන් !



නොරිකො සං මේ අහපන්
මේක ඩිංගක් හිතපන්
මියෙන්නට මත්තෙන්
නුඹේ ඔය ආදරේ නාමෙන්
.
කාලෙකට පෙර ඇවිදින්
දී සිතට නුහුරු හැඟුමන්
සනසමින් නුඹ හදවතින්
පිටව ගොස් ඔහු නුඹ වෙතින්
.
බැරිනම් ඉන්ට නොගොසින්
ආසා නුසුන් කර නුඹ යන්
එහෙත් සොයුරිය සිතපන්
යන්ට බැරි බව නෑවිදින්........




වැරදීම




කුවේණි ට 
වැරදුණු තැන 
අපිටත් 
වරදිනවා 
තාම...........


Friday, June 3, 2016

සනීප වෙන්න ! ඉක්මණින්ම !! හැමදාටම !!!




මගේ ජීවිතේට හම්බුණු විවිධාකාර පිරිමි චරිත අතරේ කිහිපයක් තියෙනවා ඉතාම සුවිශේෂී වුනු.... මගේ කැමැත්තවත් ආසාවවත් නැතුව මගේ සෙනෙහස අරගත්තු.... මට සහෝදර හැඟීමක් දැනුණු..... 

ඒ අතරින් මේ ලියවෙන චරිතය විශේෂයි ! දැකපු මුල්ම දවසෙදීම මගේ අවධානෙ අරගත්තු... මගේ උවමනාවෙන් නොවුනත් ඔෆීෂියල් දේවල් නිසාම කතා කරන්න වුනු චරිතයක් නුඹ....

ඔව්. අපි හම්බුණේ මැලේසියා යන්න හිටිය ටීම් එක ඒ ටුවර් එකට කලින් හම්බ වුනු මුල්ම සහ අවසාන වතාවේදී. වීසා වලට ඕනි ලියකියවිලි එක්කලා ටීම් එකේ අයගේ සල්ලි එකතු කලේ මම නිසයි අපි මුලින්ම කතා කලේ. කොහොම වුනත් ටිකට්ස් ලෑස්ති කරපු ඒජන්සි එකේ හොඳකම නිසා ටීම් එකේ විසි පස් දෙනාට යන්න සිද්ධ වුනේ ෆ්ලයිට්ස් කීපයක. මම පළවෙනි එකේ. ඔයා දෙවෙනි එකේ. අපි උදේ දහයට ගියේ. ඔයාලා එද්දී රෑ දහයයි. මගේ රූමි දෙවෙනි ෆ්ලයිට් එකේ එන නිසා මම නොනිදා බලා හිටියේ. අන්තිමේ බලද්දී අපේ රූම් එකට ඉස්සරහා එකට තමයි ඔයාලා ආවේ. ආව ගමන් ඇවිල්ලා ගෙදරට කතා කරන්න වයිබර් යන්න ඕනි නිසා මගෙන් වයිෆයි පාස්වර්ඩ් එකත් ඉල්ලගෙන.. ෆේස්බුක් එකේ මට රික්වෙස්ට් එකකුත් එවෙලේම දාගෙනම තමයි ඔයා ඔයාගේ රූම් එකට ගියේ. 

කොහොම නමුත් ඉන් පස්සේ දවස් දහයක් පුරා අපේ ඉස්සරහ ගෙදර වුනේ ඔයාලා. පළවෙනි දවසේ අපි කලින් නැගිට්ටා. එදා වටේම් රූම්ස් වල දොරවල් වලට ගහලා ඇහැරෙව්වේ මම. හැබැයි දෙවෙනි දවසේ ඉඳන් අපි නිදි. ඉතිං උදේම අපේ බ්ලොක් එකේ දොරවල් වලට ගහලා "Good Morning සිරි ලංකන් පීපල්" කියලා ඇහැරවන්න ගත්තේ ඔයා. 

දවසින් දවස අපි හොඳ යාළුවො වුණා. ලෙක්චර්ස් වලදී අපි දෙන්නා හිටියේ එක්කෙනාට එක්කෙනා පේන මානේ නිසා බෝරින් ලෙක්චර්ස් අතරමැදදී අනිත් එකා නිදිද බලලා තිබ්බ නිදිමත යන්න හිනාවෙන්න අපි පුරුදු වෙලා හිටියා. හවසට ෂොපින් යද්දී ටීම් එකේ අය දෙන්නා තුන්දෙනා වෙන වෙනම යද්දී අපි එකතු වෙලා බඩු ගන්න ගියා. ගෙවල් වල අයට බඩු තේරුවා... කෑවා... බිව්වා..... කියෝ කියෝ හෙමින් හෙමින් ඇවිදගෙන හොස්ටල් එකට ආවා.... අපි දෙන්නා හොඳ යාළුවො වුනා. උදව් ඕනි හැම වෙලාවකම මගේ උදව්වට ඔයා හිටියා. එදත්.. අදත්... 

මම එකක් දැනගත්තා. පළවෙනි දවසේ ඉඳන්ම. 

You are a gentleman ! 

අනිත් අතට ටීම් එකේ අය නොදන්න දෙයක් මම දැනගෙන හිටියා. ඔයා ඉන්නේ හොඳ සෞඛ්‍ය තත්ත්වයක නෙමෙයි. ඒ වෙද්දීත් ඔපරේෂන් තුනක් කරලා හිටියේ. ජනවාරි මාසේ කරපු අන්තිම එක ගොඩක් සීරියස් එකක් වගේම ඒ නිසා ඔයා හිටියේ ගොඩක් පරිස්සම් වෙන්න ඕනි තත්ත්වයක. කැන්සර් එකක් සනීප වෙද්දී ඔයාගේ හාර්ට් එකේ ප්‍රශ්නයක් ඇවිත් තිබ්බේ. ඒ නිසා ඔයා හිටියේ මැෂින් එකක් එක්ක. දුවන්න.... නටන්න.... වගේ දේවල් කරන්න ඔයාට පුළුවන් වුනේ නැහැ. මේ දේවල් දැනගන්න දැනගන්න මට ඕනි වුනෙත් කාලෙකට පස්සේ මට හම්බුනු මේ විශේෂිත සහෝදරයව රැකගන්න. ඒ නිසාමයි පුළුවන් හැම මොහොතකම මම ඔයා ගැන හොයලා බැලුවේ. 

අපේ ටුවර් එක ඉවර වෙලා අපි ලංකාවට ආවා. විසි පස් දෙනා ලංකාවේ හැම පැත්තටම විසිරිලා ගියා. ඒත් අපි සති දෙකකට වතාවක්වත් කෝල් කළා. ඒ සුපුරුදු කෝල් එකයි අදත් මම ගත්තේ. ඒත් අහන්න හම්බුනේ නරක ආරංචියක්. 

මගේ ආදරණීය සහෝදරයා ආයෙමත් ලෙඩ වෙලා. 

හාර්ට් එකේ උදව්වට දාපු මැෂින් එක නිසා ආයෙමත් වතාවක් කැන්සර් එක ඇවිල්ලා. මැෂින් එක වෙන තැනකට නොදැම්මොත් රේඩියෝ තෙරපි කරන්න වෙන්නේ නැති ලු. මේ හැමදේම කලත් අනාගතේ අවිනිශ්චිතයි. 

"අඟහරුවාදා ඔපරේෂන් එක නංගි".......... 

මම මොනවද කරන්නේ..... කරන්න ඕනි මොනාද කියලා මම දන්නේ නැහැ. අයියට හොඳටම අසනීපයි කියලා විතරයි මට දැනුණේ. ඒත් කරන්න පුළුවන් කිසිම උදව්වක් නැහැ.

මට පුළුවන් ලියන්න විතරයි.
ඉතින් මම ලියනවා. 
ඒ වගේම හැම මොහොතකම පතනවා.....
මගේ ආදරණීය සහෝදරයට සනීප වෙන්න කියලා.....
සසර වසන තුරු කවමදාවත් මේ වගේ දුකක් නොවෙන්න කියලා.........

බුදු සරණයි !!! 
________________________________
ප.ලි. 

මේක කියෙව්වම එන මූලික ප්‍රශ්න ටිකටත් මේ ගමන්ම උත්තර දීලා ඉන්නම්කො..... 

මේ අයියා බැඳලා. ඒක වැලි කෙලියේ පටන් තිබ්බ ආදර අන්දරයක්. හරිම හොඳ අක්කා කෙනෙක් අයියට ඉන්නේ. පොඩි ළමයි දෙන්නෙකුත් ඉන්නවා. අයියා රූපවාහිනී මධ්‍යයේ සක්‍රිය චරිතයක්. ඒත් නිරහංකාර, සමාජශීලි, හිත හොඳ මහත්මයෙක්. ඉතින් මේ කොල්ලා අසනීපෙන් ඉද්දි හිනාවෙලා ඉන්න අපිටත් අමාරුයි. ගොඩක් දුකයි. ඒත් කරන්න කිසිම දෙයක් නැහැ ප්‍රාර්ථනාවක් මිස. 

අපි ගොඩක් ඉන්නවා මෙතන. පුළුවන් නම් හැමෝම එකතු වෙලා එයාට නිදුක් නිරෝගී ජිවිතයක් ප්‍රර්ථනා කරමු. මම විස්වාස කරනවා ඒ ප්‍රර්ථනා වලින් වෙනසක් වේවි කියලා... යහපතක් වේවි කියලා....................




අනාගතය අදයි !




ඔෆිස් එකේ වැඩ සියක් අස්සේ කොහේදෝ මන්දා රේඩියෝ එකක් හඬ තලනවා.... 

"රණ්ඩු කරගෙන යාලු වෙන්නට 
හිටියේ මට ඔබ විතරමයි........

අනේ මන්දා.... හිත එහාට යනවා.... මෙහාට එනවා.... සමහර යාළුකම් අමතක කරන්න සෑහෙන්න අමාරුයි අප්පා...... සමහර බැඳීම් ඒ තරමටම හිත ළඟ රැඳිලා.... මොකද කියන්නේ සඳේ..... කොමාවක් ද තිතක් ද තියන්නේ මේ මතක රචනාවට.

ලියනවා නම් ලියන්න දේවල් ඇති තරම්. ඒත් බෑ හිතෙනවා. 2016 ට ඇවිල්ලා කරන්න තියෙන දේවල් එකින් එක කරලා දාන්න මොහොතකටවත් ආපස්සට හැරිලා බලන්නේ නැතුව කියලා යටි හිත දෙස් දෙවොල් දෙනවා. එක දෙක තුන හතර..... කියලා දහයට ම ගැනලා... ඔක්කොම අමතක කරලා කතාවට අලුත් පරිච්චේදයක් එකතු කරන්න කාලේ හරි වගේ....

ඔව්. අනාගතය අදයි !





තනිකම සහ මම !



මම පවුලේ එකම දරුවා. ඒ නිසාම වෙන්න ඇති පුංචි කාලේ ඉඳන් අද වෙනකල්ම නොවෙනස්ව මා ළඟ තිබුණු දේ වුනේ "තනිකම".... සෙල්ලම් කරන්න ගියත් තනියම... කන්න, බොන්න, පාඩම් කරන්න, යන්න, එන්න... ඔය ඕනිම දෙයක් තනියම.... ඒ තනිකම මැකුණේ අම්මයි තාත්තයි ළඟ ඉද්දි විතරයි.... 

හැබැයි මම තනිකමට හුරු වුණා. තනිකමට පෙම් බැන්දා... සතියක් මාසයක් අවුරුද්දක් තනියම හිටියත් මගේ හිතට පාළුවක් දැනිලා නැත්තේ ඒ නිසා වෙන්න ඇති.

කාලේ ගෙවුනා. ටිකෙන් ටික වයසින් වැඩි වෙද්දී මගේ මිතුරු වළල්ල පැතිරෙන්න ගත්තා..... යන යන හැමතැනම මට යාළුවො හිටියා. ඉස්කෝලේ... අමතර පන්තිවල.... සරසවියේ.... බෝඩින් වල.... හැමතැනම යාළුවො....

ඒත්, පුංචි කාලේ ලඟින් හිටිය තනිකම කවදාවත් මාව අත ඇරලා ගියේ නැහැ.

දහස් මුවකින් නැගෙන ඔල්වර
සිනා හඬ දසතින් ඇසේ
දහස් ගණනක් සෙනග අතරේ
මහා තනියක් මට දැනේ.

කියලා මහගම සේකර 'නොමියෙමි' පොතේ ලියලා තිබුණු දේ මම තේරුම් ගත්තේ මගේම අත්දැකීමෙන්. ඒ තනිකම මැකෙන්න කාලෙන් කාලෙට හිත ළඟ සක්මන් කරපු අය නොහිටියා නෙමෙයි. ඒත්, වෙනසක් තිබුණා. නිදා නොනිදා හිත පතුලේ තිබ්බ සේයාවක් හැම වෙලාවෙම මාව තනියම තිබ්බා. ඒ හෙවණැල්ලට පණ පෙවිලා මගේ ඇස් මානෙට අහුවෙන මොහොත දක්වාම..... ඒ නිසාම වෙන්න ඇති මගේ ජීවිතේට ආව හැමකෙනෙක් ඇතුලෙම මම ඒ සේයාව හෙව්වේ...

තනිකම දැනෙනා මොහොතේ
නුඹව මතක් වෙන්නා
තනියට ළඟ උන්නා නම්
හොඳයි කියා සිතෙනා
තනිමග යන්නට මා දුටු
සිහිනය බොඳ කරනා
තනි හිත දෙතැනක රන්දන
නුඹ කොතැනද සිතුණා..........

වරක් දෙකක් නෙමෙයි. සිය දහස් වාරයක් තනිකම දැනිලා ඇති. මට මාව මදි වෙලා ඇති. මම දන්නේ නැහැ. ඒ තනිකම මකන්නට එන්න ඉන්න නුඹ ඉන්නේ මගෙන් හුස්මක දුරද.... නැත්නම් සත් සමුදුරෙන් එහාද කියලා...

ඒ වෙනුවට මම දන්නේ එකම එක දෙයයි.

මගේ තනිකම මකන්නට..
කවදාක හෝ
"නුඹ"
එනකල්..
මේ හිත බලාගෙන ඉන්නවා....




කුණාටුව නිමාවිය !



අහම්බෙන් හමුවෙලා
නිතර දොඩමලු වෙලා
ජිවිතේ සිනහවෙන් 
කල් ගෙවා කල් ගෙවා....

සංසුන්ව කල් බලා
අඳින සිතුවම කලා
මා නමින් ඇඳෙන්නට
සියක් පෙරුමන් පුරා......

ජීවිතය ඉල්ලලා
සුසුම්වැල් පටලලා
හඬ දෙමින් සිනහවෙන්
නුඹේ ලොව කළඹලා......

මගේ ලොව නුඹේ ලොව
වැනසෙතැයි සිත සිතා
නුඹෙන් දුර ඈත ගිය
ළබැඳි සිත මා තමා...........




ඇගේ ඇස අග.....




"එක අතකට රිලේෂන්ශිප් එකක් නැති එකත් හිතට නිදහසක්...." 

මං එහෙම කිවුවේ මුහුදු හුළඟට..... 

"ඇයි එහෙම කිවුවේ?" 

අනිවාර්ය ප්‍රශ්නයක් කණ ළඟින් ඇහුණා..... 

"නෑ ඉතින්.... එහෙම වුණා නම් ජිවිතේ මීට වඩා සෑහෙන්න සංකීර්ණ වෙන්න තිබ්බා කියලා හිතුණා....." 

අපේ හිනාවෙ සද්දෙට වටේ පිටේ හිටිය අනිත් නිශාචරයොත් බැලුවද මන්දා.... 
---------------------------------------------------
 

"ඔයා හඳයගේ අලුත් ෆිල්ම් එක බැලුවද...." 

දවාලේ මගේ ෆෝන් එකෙන් හදිස්සියේම ගිය මෙසේජ් එකට හැරෙන තැපෑලෙන් උත්තරේ ආවා. 

"නෑ. අද බලමු ද?".................. 

මට හිනා ගියා. 

"OK. අද හවසට බලමු එහෙනම්. හැබැයි මට ට්‍රාන්ස්පෝර්ට් ඕනි ආපහු යන්න"..................

"No problem".......


---------------------------------------------------
 

ෆිල්ම් එක ඉවරයි. මුහුද පෙනී පෙනී යන්න පුළුවන් ද එහෙම.... වැස්සක් කඩා නොවැටුනා නම් අපිට තව සෑහෙන වෙලාවක් එතන ඉන්න තිබ්බා....

පිස්සෝ දෙන්නෙක් වගේ.... එක වෙලාවකට කාරෙක දෙවනත් වෙන්න මහා හයියෙන් සිංදු දාගෙන.... තව වෙලාවකට ෆිල්ම් එකේ සිද්ධි සමාලෝචනය කරගෙන..... අපි ආවා..... කාලෙකට පස්සේ....

මගේ මතකේ ආයෙමත් වතාවක් ආපස්සට ගියා......

Let her cry.......!





සුදු නෙළුම !



කවුරු හරි ඇහුවොත් මම කැමතිම මල මොකක්ද කියලා කතා දෙකක් නැහැ. ඒ සුදු නෙළුම. 

ඔව්. 
මම ආසම සුදු නෙළුම් මලට......

ඒ පිරිසිදු බවට.... ඒ නිකැළැල් බවට..... ඒ ශාන්තිමත් බවට.... මම හැමදාමත් ආදරෙයි..... වෙන කිසිම මලකින් මට ඒ නිදහස්.... ඉවසිලිමත්, සංසුන්බව දකින්න බැහැ. මම සුදු නෙළුමේ දකින්නේ පිරිපුන් බවක්..... ඕනිම වෙලාවක පුදසුනකට යන්න සූදානමක්........

සුදු නෙළුම පිපෙන්නේ ඉර එළිය දිහා බලාගෙන.... පෙත්තෙන් පෙත්ත දිග ඇරෙන්නේ කලබලයක් නැතුව..... හොඳ ඉවසීමකින්..... මඩ ගොඩක පිපුණත් මඩ බිඳක් වත් නොගෑවෙන්න තරම් පරිස්සම්..... කාලේ ආවාම තමන් ගැන ලොකු විස්වාසෙකින්... තනියම පිපෙනවා........

මම දන්නේ නැහැ ඇයි කියලා... ඒත් මට සුදු නෙළුම මතක් වෙද්දී දැනෙන්නේ ලොකු සැනසීමක් හිතට... වෙන කිසිම මලකට ඒ වෙනස කරන්න බැහැ.

සුදු නෙළුම අහිංසක නැහැ. හැබැයි ඒ සංසුන් ආකර්ෂණය වෙන මලකට ගන්නත් බැහැ.



~~~ සැබෑ වුණු මගේ සිහින ~~~ 03



මේකේ මුල් කොටස් කියවන්න ඕනි නම් සටහන අවසානේ තියෙන ලින්ක්ස් වලින් යන්න පුළුවන් ඔන්න. 

# මුහුදු වෙරළට වෙලා ඉන්න. 

මට කවදාවත්ම එපා වෙන්නේ නැති තැන තමයි මුහුදු වෙරළ. කවුරු හරි ඇහුවොත් යන්න ආසා කොහෙද කියලා ඒත් මගේ උත්තරේ ඒක තමයි. කොහොමින් කොහොම හරි ගල්කිස්සේ බීච් එකේ රිසර්ච් එකක් කරන්න අපිට සෙට් වෙන්නේ මේ අතරේ... සති අන්තවල වගේම සතියේ දවස්වලත් උදේ හයේ ඉඳන් හවස හත වෙනකල් බීච් එකේ ඉන්න පුළුවන් වුනේ ඒක නිසා....

අනිත් අතට මමයි මගේ රූමියි එයාගේ අයියයි... අපි තුන් දෙනාම ආසයි ඇවිදින්න. ඉතිං රෑ හතට විතර බීච් ගිහින් වැල්ලට වෙලා ඉඳලා රටේ ලෝකේ තියෙන ඔක්කොම වල්පල් කියෝලා දහයට විතර ආපහු එන පුරුද්දකුත් අපිට නැතුවා නෙමෙයි. නිකමට හිතලා බලන්නකෝ වැල්ලේ නිදාගෙන රැල්ලේ සද්දේ අහගෙන අහසේ තරු දිහා බලන් කියෝන තුන් දෙනෙක්.... අන්න ඒ තමා අපි.......

# බඳින්න කලින් ටික කාලයක්වත් ගෙදරින් ඈතට ඇවිත් තනියම ජිවිතයක් ගත කරන්න.

කැම්පස් ඉවර වුනාමත් ගෙදර යන්න විදියක් තිබුනෙත් නැහැ. ඔනිකමක් තිබ්බෙත් නැහැ අපේ අයට. රස්සාවල් තිබ්බේ කොළඹ සහ ඒ අවට නිසා වෙන්න ඇති. මමයි මගේ ගමන් සගයයි දෙන්නත් ඇනෙක්ස් එකකට ආවේ නිදහසේ අපේ වැඩ ටික කරගෙන යන්න ඕනි නිසා. ඉතිං උදේ නැගිටලා රෑට නින්දට යනකල් ම අපේ වැඩ තනියම කරගන්න අපි හුරු වුනා. එදිනෙදා එන ඕනිම ප්‍රශ්නෙකට අපි උත්තර හොයාගත්තා. ගෙදර හිටියා නම් කවදාවත් නොකරාවි කියලා හිතෙන වැඩ තනියම ඉද්දි කරලා පුරුදු වුනා..... ජිවිතේ නිදහස්. ඒ වගේම වගකීම් සහිතයි. දැන් තමා ඒක තදින්ම හිතට දැනෙන්නේ....

පළවෙනි කොටස


දෙවෙනි කොටස


Love and Life !


Do you see me...? Yes.
Do you feel me...? Yes.
Do you like me...? Yes. 

Do you love me....? I'm not sure.





Darkness and Emptiness..



Those were the most prominent words in my life till I found someone who proved that those are just two words in the dictionary. 

Love and Caring... 

Those were the words which grabbed my attention at the next time.

and then I understood that,

The word has no meaning without a feeling !



Am I in LOVE ?




When I see the sky, I see the bright sun on it.. 
When I see the earth, I see the fresh flowers on it..
When I see the people, I see the smiling faces of them..
When I see the mirror, I see the blushing face of mine....



සඳ සාවුන් ළඟ.......




ජිවිතේ කියන්නේ වන්දනාවක් ද නැත්නම් විනෝද ගමනක් ද කියලා මට හැමදාමත් හිතෙනවා... එහෙමත් නැත්නම් ඒ දෙකම ටික ටික තියෙන සංචාරයක් වෙන්න ඇති කියලා අන්තිමේදී මම හිතා ගන්නවා. 

ඒ සංචාරය ඇතුලේ අපිට මුණ ගැහෙන්නේ කවුද.... අපෙන් ඈත් වෙලා යන්නේ කවුද... කියන දේ කාලය විසින් තීරණය කරනවා ඇති. මගේ සංචාරයේදී මට හම්බ වුන මිනිස්සු අතරේ විශේෂිත අය කීපදෙනෙක් ඉඳලත් තියෙනවා. අදටත් ඉන්නවා. ජිවිතේ කියාදුන්නු අය.... ආදරේ කියාදුන්නු අය... ආදරේ එපා කරපු අය.... වගේම කවදාවත් එපා නොවේවි කියලා මම හිතාගෙන ඉන්න අය........ 

නුඹ.......... එයින් එක්කෙනෙක් !

අයිස් වෙලා තිබුණු හිතක් උණුසුම් කරපු... මලානික වෙලා තිබුණු හදවතක ගැස්ම වේගවත් කරපු.... හිනාවක් ඕනි නැති වෙලාවටත් මාව හිනාවෙන් පුරවපු.... නුඹ මගේ දෙවෙනි ඇරඹුම. 

හිස්තැනක් නැතිවෙන්නම කියන තොරතෝංචියක් නැති මගේ කතා අහගෙන ඉන්නවට.... 
අවුරුදු දහයකටවත් ආයේ කතා කරන්නේ නැහැ කියලා තරහා වෙලා ඉද්දී ආයෙමත් මාව කතාවට ඇදලා ගන්නවට.... 'හිනස්සවන්න එපා අයියෝ' කියද්දීත් කියන දේවල් වලින් මගේ හිනාව නොනවතින කොට.... ජිවිතේ පිරිලා කියන හැඟීම විතරයි හිතට දැනෙන්නේ.... 

ඔව්. 'මට කිසිකෙනෙක් ගැන ජෙලස් හිතෙන්නේ නැහැ' කියලා මම නිතරම ආඩම්බරෙන් කියන වචන ටික "අනේ මට ජෙලස්" කියලා වෙනස් වුනේ නුඹ නිසා..... මම ඉන්නේ grown up ස්ටේජ් එකේ කියලා හිතාගෙන හිටිය සිතුවිල්ල අනේ මම තාම childish කියලා වෙනස් වුනේ නුඹ නිසා..... 

ආදරෙයි කියලා මම කියන්නේ නැහැ. 
එහෙම කියලා පලක් නැති නිසා.

කොහොමටත් මේ ෆැන්ටසියට ආදරේ කරන්නේ මම විතරයි කියලා මම දන්නවා. නුඹ දුර දකින නිසාම මට වඩා.. සිහිනයත් යතාර්තයත් අතර වෙනස මටත් නොපෙනෙනවා නෙමෙයි.

ඒත් ඉතින්.... ආදරේ විඳින්නේ නුඹ නිසා.... ආදරේ දැනෙන්නේ නුඹ නිසා.... ආදරේට ආදරේ කරන්නේ නුඹ නිසා.... 

ඒ වගේම ඒ ආදරේට වයස කියන්නේ ඉලක්කමක් විතරයි කියලා දැනෙන්නෙත් නුඹ නිසා...... 

මා නුවන් පුරා නිල් අහස වසා
මා ළවන් පුරා මල් සුවද සදා
මල් හීන වැසි වැටෙනා විල් තෙරේ
උණ පදුරු සෙවනේ
රෝස මල් සිප ඇදෙන පෙම් සුළගේ
ආකාස කුසුම් යහනාවේ
මට දැනෙනවා ආදරේ
මට හැඟෙනවා ආදරේ......

නිල් අහස තරම් ආදරේ අරන්
ඔබෙ නිල් ඇස් දෙකේ හංගලා
ඇසි පිය නොසලන් සිපගන්න හෙමින්
සද වතුර සද දිගේ ගලනවා 
මට ආදරේ හැඟෙනවා 
මට ආදරේ හැඟෙනවා......

මල් සුවඳ තරම් ආදරේ අරන්
මගෙ සිත ලග නතර වෙලා
පෙම් බඹර තුඩින් මුව රද සැනෙහින්
විල් තෙරේ මල් සුවද ගලනවා
මට ආදරේ දැනෙනවා
මට ආදරේ දැනෙනවා.........

Singer: Saman Nishantha
Lyrics: Upul Shantha Sannasgala
Music: Ranga Dasanayake





~~~ සැබෑ වුණු මගේ සිහින ~~~ 02



මේකේ පලවෙනි කොටස කියවන්න ඕනි නම් සටහන අවසානේ තියෙන ලින්ක් එකෙන් යන්න පුළුවන් ඔන්න. 

# ලයනල් වෙන්ඩ්ට් එකේ වේදිකා නාට්ය බලන්න.

මේකේ මම හොයලා බලපු හැම වේදිකා නාට්යම වගේ පෙන්නුවේ හවස 7 ට. ඉතිං දුරක ඉඳන් ගිහිල්ලා ඒක බලලා ආයෙමත් රෑ ට එන එක ප්රායෝගික නැති නිසා මම අදහස අතඇරලා දාලා හිටියේ. එහෙම තියෙද්දී තමයි “දොළහක්” එකේ අවසන් දර්ශනය දෙසැම්බර් වල දී ඒකෙ තියෙනවා කියන ආරංචිය ආවේ. යන්නත් ඕනි. යන්නත් බෑ. හිතේ දුකෙන් ඉන්නකොට යාන්තන් ට්රාන්ස්පොටර් කෙනෙක් සෙට් වුනා. මාවයි මා එක්කලා ආව අනිත් කෙල්ලවයි බෝඩින් වලට ඇරලවන්න. ඉතිං තව මොනාද..... පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිහින් ඒක බලලා ආවා.

ඊළඟ හීනේ නාමෙල් මාලිනි එකේ ඩ්රාමා එකක් බලන්න. හැබැයි තාම සෙට් වුනේ නැහැ.


# විදී ලාම්පු එළියෙන් ඈතට ඈතට ඇවිදගෙන ගිහින් නිදහස් තැනකට වෙලා රෑ අහසේ තරු දිහා බලා ඉන්න.

මමයි මගේ යාළුවයි රාජිත දිසානායකගේ ‘ආපසු හැරෙන්න බෑ’ කියන ඩ්රාමා එක බලපු දවසේ ලයනල් වෙන්ඩ්ට් එකෙන් එළියට ඇවිත් බස් එකට නගින්න යද්දී වටාපිටාවේ තිබ්බ එළිය ඇත්තටම අපි දෙන්නට බල කලේ ඇවිදින්න... ‘ඇවිදින්න නම් නියම දවස’ දෙන්නටම එහෙම හිතුනේ ඒ නිසා වෙන්න ඇති. ‘අයියටත් එන්න කියමුද ඔන්න ඔහේ... නැත්නම් ඉරිසියාවේ පැලෙයි’ රූමි මට කියද්දී දෙන්නටම හිනා. අන්තිමේ යාළුවගේ අයියවත් ගෙන්නගෙන අපි රෑටත් කාලා ඔහේ ඇවිදගෙන ඇවිදගෙන ගියා....

නිදහස් චතුරශ්රෙට ගිහින් තියෙනවද මහ රෑ 12 ට විතර..... රෑ වෙන්න වෙන්න පුදුම නිදහස් තැනක්... අනාරක්ෂිතයි කියලා කියන්නත් බැහැ. අපි පාන්දර 2 වෙද්දීත් එතන... ගල් පොළොවේ නිදාගෙන අහසේ තරු දිහා බලාගෙන පැය ගානක් කියෝ කියෝ ඉඳලා ඒ හීනෙත් හැබෑ වුනා අන්තිමේදී....


පළවෙනි කොටස මෙතනින්



~~~ සැබෑ වුණු මගේ සිහින ~~~ 01


සැබෑ වුනු සිහින තියෙනවද.... ජිවිතේ කවදාහරි දවසක මේ දේ ඉටු කරගන්නවමයි කියලා හිතපු දේවල් වගේම... අනේ මෙහෙම වුනා නම් කියලා දැකපු සිහින සැබෑ වෙලා තියෙනවද.... 

නැති දේවල් වලට අඬන එක නවත්තලා දවසක්දා මම කල්පනා කළා.... මට මතක් වුනු දේවල් වලින් ඇත්තටම මම පුදුම වුනා.... සමහරවිට මම දැකපු හීන, මගේ වයසේ සමහර කෙල්ලෝ දකින ඒවට වඩා වෙනස් ඇති.... එහෙමත් නැත්නම් මේවා හැමෝම දකින බොහොම සාමාන්ය හීන වෙන්නත් ඇති.... 

ඉතිං එහෙනම්..... මේ තියෙන්නේ... මගේ සැබෑ වුණු සිහින ගොඩෙන් කීපයක්.....

# තට්ටු දෙකේ ගෙදරක උඩ තට්ටුවේ බැල්කනියට වෙලා ඉන්න.

ගෙදරින් පිට හිටපු අවුරුදු හය හමාරෙන් තුනහමාරක්ම මම හිටියේ තට්ටු දෙකේ ගෙදරක තිබ්බ බෝඩිමක උඩ තට්ටුවේ.... මුළු ගෙදරම හිටියේ බෝඩර්ස්ලා... කෙල්ලෝ 20 ක්. ලයිට් ගියාම අපි සිංදු කියනවා... කරන්ට් එක තියෙන දවසටත් ලයිට් ඕෆ් කරලා කට්ටිය සෙට් වෙලා බිම ඉඳගෙන පුටුවක් උඩ ලැප්ටොප් එකක් තියාගෙන ෆිල්ම් බලනවා.

එතකොට බැල්කනිය.... අපි හැමෝම මල් කැඩුවේ එතනට වෙලා... එක එක්කෙනා එක එක තැන... එක එක වෙලාවට.... කියෝ කියෝ ඇවිදිනකොට සමහර වෙලාවට පයේ හැපෙනවා වාඩි වෙලා ඉන්න එවුන්. ඉර බැහැගෙන යන වෙලාවට අහසේ මැවෙන වලාකුළු රටා දිහා බලාගෙන කතන්දර ගොතපු හැන්දෑවල් වගේම අහස දිහා බලාගෙන තරු ගැන්න රැයවල් අපිට ඕනි තරම් තිබිලා තියෙනවා... සමහරදාට බැල්කනියේ පුටු තියාගෙන සිංදු කියපු අපි සෙට් එක තවත් සමහරදාට එහා පැත්තේ බෝයිස් හොස්ටල් එකේ එවුන් සිංදු කියනවා බැල්කනියට වෙලා අහගෙන ඉඳලත් තියෙනවා.... හැබැයි ඉතිං උදේ හවා පඩිපෙළ නැගලා බැහැලා අවුරුදු තුනක් යද්දී හීනේ ඇති වුනා.... 

# යන්නේ කොහෙද කියලා නොදැන ඇවිදගෙන යන්න.

හවස් වරුවට ඇවිදින්න මම එදා ඉඳන්ම ආසයි. දෙයියනේ කියල මට හම්බුනා මටත් වඩා ඒකට ආසා කරපු කෙල්ලක් හොඳම යාලුවෙක් විදියට. ඉතිං අපේ ඉන්ටර්න්ෂිප් කාලේ මාසෙකට දවසක් වත් මම ඔෆිස් ඇරිලා යාළුවගේ ඔෆිස් එකට යනවා. අපිට ඉවර වෙන්නේ 4.15 ට. එයාලට 5 ට. ඉතිං එයාගේ වැඩ ඉවර වුනාම අපි දෙන්නා අපි දෙන්නට හිතුනු පැත්තකට යනවා. ගොඩක් දාට ඉතිං මේ ගමන යැවෙන්නේ ඩුප්ලිකේෂන් රෝඩ් එකේ නැත්නම් ගාලු පාරේ තමයි. හිතෙන තැනකින් රෑට කාලා ඇතියි කියලා හිතුනම බෝඩින් වලට යනවා. කොහොමත් රෑ 9 වෙද්දී නම් බෝඩිමට යැවෙනවා. ඒ ගමන් මතක් වෙනකොට අදටත් සිහි වෙන්නේ මෙන්න මේ සින්දුව තමා...

අත්වැල් බැඳගෙන මංමාවත් දිග
ඔහේ ඇවිද ගිය කාලය මතකද
පුංචි ළදැරියන් වගේ සුරතලෙන්
අපි හිනැහුණු ඒ කාලය මතකද.......


To be continued.

උපන්දින සුබ පැතුම්.....



හලෝ ඉර !

කියන්න කිසිම දෙයක් මතක් වෙන්නේ නැතත් මොනවත් නොලියා ඉන්න හිතෙන්නේ නැහැ උපන් දිනේ මතක් වෙද්දී. 

ඔන්න එහෙනම් නොවැම්බර් 09 වෙනිදාවක උපන් පින්වත් කුල කුමරුවාගේ නමට පළවෙනි වතාවට වගේම අන්තිම වතාවටත් මගේ අතින් උපන් දින සුබ පැතුමක් ලියවෙනවා. ඔව්. දැක්ක ගමන් හිතාගන්න බැරි වුණත් මම මෙහෙම දෙයක් කරාවි කියලා මේ ලියන්නේ ඔයාට තමයි කොල්ලෝ. 

අපි අඳුර ගත්තේ මීට අවුරුදු හතරකට කලින්. නිකං ඉන්න බැරුවට ඉලක්කම් ටිකක් චැට් එකේ ටයිප් කරපු කරුමෙට... නැද්ද හා... ඒ ඉලක්කම් ටික ගිය දුර අන්තිමේදී.... කොහොම වුනත් සෙට් වෙලා පළවෙනි පැයෙන් ම ෆිට් වෙච්ච දෙන්නෙක් අපි. එදා ඉඳන් අද වෙනකල්ම වෙනසක් නැතුව පිස්සෝ වගේ හිනාවුණු දෙන්නෙක් අපි.

අවුරුදු තුනක් ගතවෙද්දී අපි දෙන්නා වර්ස්ට් බෙස්ට් ෆ්‍රෙන්ඩ්ස්ලා වෙලා මගේ ඒක පාර්ශ්වීය කුළුඳුල් ප්‍රේමය බවට ඔයා පත්වුණේ නම් පූරුවේ කරුමෙකට හලෝ....

ඔයාට වැඩක් වුනෙත් නැහැ. මට වැඩක් වුනෙත් නැහැ. මොකද මම ඔයාට ප්‍රේම කරද්දී ඔයා වෙන කෙල්ලෙක්ට ප්‍රේමය පුද දී අවසානයි නේ..... ඒකෙන් වෙච්ච එකම වැඩේ මම ලියන්න පටන් ගත්ත එක විතරයි. කෙටිකතා, නවකතා, කවි, නිසදැස්... ඔක්කොම ලියන්න ගත්තේ ඒ කුළුඳුල් ප්‍රේමය නමින් නේ....

අපි තරහා වුනා... අපි රණ්ඩු කළා.... අපි ආයෙමත් යාළු වුණා..... මොකද අපි අපිව තේරුම් ගත්ත නිසා. අපේ අතීතය, අපේ වර්තමානය, අපේ අනාගතය එක්ක අපේ සම්බන්ධතාවය රැඳෙන්න ඕනි විදිය අපි තේරුම් ගත්ත නිසා....


මම ආදරේ කළා, මගේ ආදරේ අහිමිවුනා, මම කඩා වැටුණා, මම ආයෙම නැගිට්ටා..... කොහොම වුනත් තවත් අවුරුද්දක් ගෙවිලා ඉවර වෙද්දී ආයෙමත් වතාවක් තව කෙනෙක්ට හිත පිරෙන්න ආදරේ කරන්න මට දැන් පුළුවන්. බොහොම සැහැල්ලුවෙන්. ආදරණීය විදියට.... මේ වෙද්දී පොඩ්ඩක් පණ්ඩිත වුනත් ඉස්සර තිබුණු දඟකාර මුඩ් එක ආයෙමත් ඇක්ටිවේට් වෙලා තියෙන්නේ දැන්....

මං හිතන්නේ මගේ ඒ සිතුවිල්ල තමයි මේ වතාවේ මට ඔයාට දෙන්න පුළුවන් තිළිණය! මොකද මම දන්නවා මම ඉස්සර වගේ හිනා වෙලා ඉන්නේ නැති එකට ඔයා සෑහෙන්න හිතෙන් දුක් වෙනවා කියලා.... ඔයාටම වරද කියාගන්නවා කියලා..... ගණන් ගන්න එපා හලෝ. ඒක පොඩි වයර් ෂෝට් එකක්. දැන් මොළේ ආයෙමත් වැඩ.

ඉතිං එහෙනම් මොනාද පතන්න ඕනි 29 වෙනි අවුරුද්දට....

මම දන්නවා ඔයා අද ඉන්න තැනට ආවේ රෝස පෙති උඩින් නෙමෙයි කියලා. ඒ අඳුරු මතක හැම එකක්ම නපුරු හීනයක් වගේ හිතෙන් අමතක වෙලා යන්න කියලා පතනවා......
අදින් පස්සේ එන හැම ප්‍රශ්නෙකටම එදාට වඩා හොඳට මුහුණ දෙන්න හිතට සවිය ලැබේවා කියලත් පතනවා......
ඒ වගේම හිතේ සැනසිල්ලයි සතුටයි හැම මොහොතකම දෝරේ ගලාගෙන යන්න කියලත් පතනවා.........

ඔක්කොමත් හරි. මේ අවුරුද්දෙවත් අර කෙල්ලත් එක්ක මරාගන්න එක නැවතිලා අපිට වෙඩින් බෙල්ස් වල හඬ අහන්න ලැබේවා කියලා පතනවා.............

තවත් නම් කියන්න කිසිම දෙයක් මතක් මතක් වෙන්නේ නෑ බං. කොහොම වුනත් අන්තිමේදී අපි දෙන්නගේ සුපුරුදු භාෂාවෙන් සුබ පතනවා නම්,

" අඩෝ Happy Birth Day ! "




වෙලාව 12.00 යි ඔන්න.