Sunday, October 25, 2015

The Empty Nest !



මේ සටහන නුඹ වෙනුවෙන්. වසර ගානක් මගේ පසුපස සෙවණැල්ලක් වගේ හිටිය අදටත් නොවෙනස් ව මට ආදරේ කරන නුඹ වෙනුවෙන්. කවදාවත් මගේ අතින් සටහනක් නොලියවුණු නුඹ වෙනුවෙන් !

විසිපස් අවුරුද්දකට කලින් මම ඉපදෙන්න ඉද්දි නුඹේ හිතේ සුවහසක් සිහින තියෙන්න ඇති. කුළුඳුල් දරුවා දෝතට ගනිද්දී නෙත කඳුලින් තෙමෙන්න ඇති. මගේ කිරි සිනහා දකිද්දී හිත සතුටින් පිරෙන්න ඇති.... මගේ කටහඬ ඇහෙද්දී හිත ආදරෙන් පිරිලා ඉතිරෙන්න ඇති. තාමත් තියෙනවා නේද ඒ පුංචි කටහඬ රෙකෝඩ් කරලා තියෙන කැසට් පීස් එක... මගේ මුල්ම අකුරු තියෙන ඩයරි එක.... මගේ ෆොටෝස් ගන්නම ගත්ත කැමරාව.... මට මතකයි ආදරේ පිරුණු ඇස් වලින් මට ඒවා පෙන්නපු හැටි පස්සේ කලෙකදී... 

" තුන්පත් රෑන "

අපිව දන්න අය එහෙම කිවුවා මට මතකයි. 

අඩන්න නොදී හදපු නිසාම හුස්ම ගන්න අමාරු වෙලා දවසක් දා දොස්තර ලඟට ගියාම 'මේ දරුවට දැන්වත් අඩන්න දෙන්න' කියලා කිවුවලු... වැලි කැටයක් පයේ නොගෑවෙන්න වඩාගෙන හදපු නිසාම පස්සේ කාලෙක මට වැලි පොළොවේ ඇවිදගන්න අමාරු වුනාලු. කන් දෙකත් වැහෙන්න හා තොප්පියක් දාගෙන ගමන් බිමන් ගිහිල්ලම මට සීතල දරන්න අමාරු වුනාලු.... ඒ ආදරේ තවත් දේකට සම කරන්නේ කොහොමද ඉතින් මම. 

ඒත්, කාලේ ගෙවිලා යද්දී ආදරේ වැඩි වෙද්දී මම දන්නේ නැහැ ඇයි මට බය හිතුනේ කියලා.... හදිස්සියේවත් මම මැරුණොත් කොහොමද ඒක ඔය දෙන්නා දරාගන්නේ කියලා සිය දහස් වාරයක් මම හිතලා ඇති. ඔයාලට මගේ ඈත් වීම හුරු කරන්න ඕනි කියන සිතුවිල්ල මට ආවේ හයේ පන්තියේදී.... 

මතකද මම වෙනම කාමරයක් ඉල්ලගෙන තනියම නිදාගන්න පටන් ගත්තා....

ඒත් හැමදාම එහෙම ඉන්න දුන්නෙත් නැහැ ඔයාලා දෙන්නා.... සතියට දවසක් දෙකක් වත් බලෙන්ම ඇවිත් මාව තුරුල් කරගෙන නිදාගත්තා. 

අවුරුද්දෙන් අවුරුද්ද ගෙවිලා ගියා. ඉගෙන ගන්න වැඩ වලට මට ගෙදරින් එන්න වුනා. එක අතකට බැලුවොත් ගෙදරින් එලියට එන්න මම බලා හිටියා වගේ. මට මතකයි මාව බෝඩිමට දාලා යද්දී අම්මා හොඳටෝම ඇඩුවා. තාත්තා ගෙදර ගිහින් මගේ ෆොටෝ එකක් දිහා වරුවක් බලා හිටියා කියලා පස්සේදී මම දැනගත්තා. 

හේතුව හිතාගන්න බැහැ තාමත් මට. ඒත් මම අඩුවේ නැහැ. ඒ වෙනුවට මට ඕනි වුනා තනියම ඉන්න. තනියම ඉගෙන ගන්න. තනියම මගේ දේවල් කරගන්න. කවදාහරි දවසක ඔයාලා නැති ජිවිතේකට මම දැන් ඉඳන් හුරුවෙන්න ඕනි කියලා මම හිතුවා. 

දවස ගානේ ගෙදර යන්න පුළුවන් දුරක මම හිටියත් මම ගෙදර ගියේ සතියකට වතාවයි. කාලයක් යද්දී ඒක මාසෙකට වතාවක් වුනු වෙලාවලුත් නැතුවා නෙමෙයි. 

"සමනනලයෙක්ව හදලා අහසට යන්න දුන්නා. දැන් ඒකව හොයාගන්නවත් නැහැ" 

අන්තිමේදී තාත්තා අම්මට කිවුවා කියලා දැනගත්තම නම් මගේ හිත නොරිදුනා නෙමෙයි. ඉතිං මම මාසෙකට දෙපාරක් වත් ගෙදර යන්න ගත්තා ආයෙමත්... 

අවුරුදු හතරක් ගෙවිලා BMICH එකේ වේදිකාව උඩදී ෆස්ට් ඩිග්‍රී එක ගනිද්දී මම දැක්කේ ආඩම්බර ඇස් වල කඳුළු. ඔය දෙන්නා වෙනුවෙන් මගේ අතින් ලියවුනු කවි, කතා, නිසදැස් කියවද්දී මම දැක්කේ ආදරේ ඉතිරෙන ඇස්. අනිත් අයගේ කටවල් වලින් මම ගැන කියවෙන දේවල් අහලා සෙනෙහස දෝරේ ගලන හැටි මම නොදැක්කා නෙමෙයි මේ ගෙවුණු කාලේදී.... ඒ හැම බැල්මක්ම මගේ ජිවිතේ සුන්දර මතක සටහන්. අමතක නොවෙන කිසිම දෙයක් එක්ක සසඳන්න බැරි මතක සටහන්. 

'දුවේ නුඹ මගේ ප්‍රාණයයි.. සැබෑ වුනු සුබ සිහිනයයි !' කියලා ගෙදර අයගේ සිහින සැබෑ කරලා.. කාලෙකට පස්සේ මම සිහිනයක් දකින්න පටන් අරගෙන.... මගේ ළබැඳියන් හැමෝම අතහැර දමලා දුර ඈතකට යන්න... ආයෙමත් එන්නේ කවදද කියලා නොදන්න ගමනක් අරඹන්න.... හැමදාමත් සිහින දැකපු සංචාරය අරඹන්න මම සුදානම් !

ඒත්, 

'මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න. ඒ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න' කියලා මගේ ජිවිතේ මට දුන්නු.. මගේ සිනහව මට දුන්නු.. මගේ සෙවණැල්ල වුනු.. මගේ ලෝකේ හිරු සඳු දෙන්නට කියන්න තරම් මගේ හිත නරුම නැහැ. ඒ හිත රිද්දලා ලබන සතුට මට වටින්නේ නැහැ. ඔව්. ඒ ආදරේට අත වනලා මගේ ගමන යන්න මම සුදානම් නැහැ.

ජිවිතේ අපිට දෙන්නේ අපිට ඕනි දේවල් ද.. ලැබිය යුතු දේවල් ද කියලා මම තාමත් කල්පනා කරනවා.




No comments:

Post a Comment