Wednesday, September 9, 2015

වසන්තයේ අග හිරුට ලියන වග...



" මම කොහොමද ණය ගෙවන්නේ.....? "

නුඹ මගෙන් අහන මේ ප්‍රශ්නෙට දෙන්න මා ළඟ උත්තරයක් නැහැ.
කවදාවත් තියෙන එකකුත් නැහැ. මොකක්ද මේ "ණය"

ඒ නුඹට දුන්නු ආදරය ද..... හිතවත්කම ද..... මිතුදම ද..... නැත්නම් නමක් දෙන්න බැරි ලෙංගතු බැඳීම ද.......
 
මගේ ආදරය ඉස්සරහ නුඹ නොසෑහෙන්න අසරණ වග මට නොතේරෙනවා නෙමෙයි. පසුපසට අඩියක් ගන්නත් බැරි, ඉස්සරහට පිය මනින්නත් බැරි ශුන්‍යත්වයකට මම නුඹව ඇදලා දාලා නේද.... 

පිළිගන්න අකමැති වුණත්, නොදැනීම වගේ ආදරේ කියන්නේ මොකක්ද කියලා නුඹ මගෙන් ඉගෙන ගන්නවා වගෙයි..... කෙල්ලක් නිසාවෙන් පළවෙනි වතාවට නුඹේ හිතට ලොකු දුකක් දැනෙනවා වගෙයි..... 

විස්වාස කරන්න, නුඹේ හිත රිදවන්නට මට කිසිවිටක උවමනා නොවූ වග.... 

සංසාරය දිග නිසා ඊළඟ ආත්මෙකදී මගේ වෙන්න කියලා මම පතන්නේ නැහැ. එහෙම කළොත් නුඹේ යශෝධරා වන්නට මට හැම ආත්මෙකදී ම ඇයත් එක්ක තරග කරන්නට සිදු වේවි.... ඇගෙන් නුඹව උදුරගන්න හිත හදාගන්නට බැරිව ඒ හැම අවසානයක දී ම මම පසෙකට වේවි..... 

ඒ වෙනුවට මම පතනවා උපදින හැම භවයකම නුඹ මගේ සහෝදරයා වන්නට..... උපන්දා පටන් මියෙන තුරාවට නුඹේ සෙනෙහස ලබාගන්නට.... නුඹව සොයා ජිවිත ගමනේ දිනක් වත් නොවෙහෙසෙන්නට..... කිසිවෙකුත් සමගින් නුඹට අයිතිවාසිකම් කියා තරග නොකරන්නට......

දයාබර අයියණ්ඩි, 
නුඹ 
හැමදාමත් 
මගේ සහෝදරයා.....
සක්වල කැළඹිලා 
ලෝකය උඩු යටිකුරු වුවත් 
උපදින 
හැම භවයකම 
නුඹ මගේම සහෝදරයා.....

ආයෙමත් නුඹ නමට කිසිත් නොලියනවා කියලා හිතුවත් මෙහෙම කියන මම බොහෝ දුරට හෙටත් නුඹ නමට මොනවාම හරි කුරුටු ගාවි කියලා හිත කියනවා.......

කොහොම වුණත් නුඹ නිසාවෙන් කවි හිතක් ඉපදුණු බව නම් ඇත්තයි..... 

ඔව්. 
ආදරය අපේ ජිවිත වෙනස් කරනවා...... 
ඒ වගේම ජීවිතය අපිට ගොඩක් දේවල් උගන්නනවා.......




No comments:

Post a Comment