කාලාන්තරයක් පුරාවට
රාජකීයත්වය
වන්දනාමාන කරලා
තවත් කාලාන්තරයක්
අධිරාජ්‍යවාදයට
දණ නමලා
නිදහසෙන් පස්සෙත්
අපමාන දේශපාලනයට
හිස නමන
අපි
තාමත්
සිංහ වංශයේ ලු.
මුවා වී කඩතිරට
දියකුස ම බලන විට
දුටිමි මම ප්‍රමදා ව
විලස හිස් බඳුනක් ව
වෙහෙසිලා බිඳෙන් බිඳ
අයෙක් පුරවයි සිලිල
පැමිණ තවෙකෙක් එවිට
පල ගනී ඒ සිලිල
අන්තයේ පැමිණෙනා
නාඳුනන්නෙක් සෙමින්
බිඳ දමයි ඒ බඳුන
සම්මතය කියා එය
නොහැකි මුත් සිඳින්නට
ඒ කටුක සත්තාව
අවැසි මට පළමුවෙන්
මුදන්නට කඩතිරය........
ඒ මගේ අලුත්ම නම.....
අහංකාර හිත, සේයා වුණාට ලියන හිත වත් ලියන විදිය වත් වෙනස් වෙන්නේ නෑ...
ඉතිං කලින් වගේම ඇවිත් යන්න ඉරක් තිතක් නැති ජීවිතයක නිදහසේ හැඩතලය විඳින්න.....
මං ඉස්සර ඉඳන්ම කැමතියි ඇවිදින්න.... ඒත් ඉස්කෝලේ වැඩයි අම්මලාට නිවාඩු නැති නිසයි වැඩිය ඇවිදින්න හම්බ වුණේ නෑ ඉතිං.... ඔය අතරෙ තමා මාව කැම්පස් තේරුණේ.... මගේ ඩිග්රි එකේ හැටියට පුදුම ෆීල්ඩ් විසිට් යෑමක් තමා තිබුණේ... ඒ නිසාම අවුරුදු හතරක් තුළ ලංකාවෙ ගොඩක් පැති වලට ගිහින් එන්න මට වාසනාව ලැබුණා... ලස්සන අත්දැකීම් ගොඩක් ජීවිතේට එකතු වුණා..
යාපනය.. අම්පාර.. මඩකලපුව.. හම්බන්තොට... වගේ පැති වලට යන්න බැරි වුණත් අනිත් හැම පැත්තකටම වගෙ යන්න අපිට පුළුවන් වුණා... ඒ මතකයන් හරිම සුන්දරයි.....
බැච් එකක් විදියට අපි ප්‍රොජෙක්ට්ස් වලට ගියාම අඩුම දවස් හතරක්වත් නවතිනවා කොහේ හරි තැනක... එහෙම උණාම අපේ වැඩ වලට දවසම ඇවිදල මහන්සි වුණත් රෑට එකතු වුණාම සිංදු කියලා ජොලියක් දාන්න අපේ අය අමතක කරන් නෑ...
ඒ වගේම තමයි හැමෝම නිදාගන්න ගියාම බැච් එකේ ඉන්න හොඳම හොල්මං ටික සෙට් වෙනවා නිදි අයව බය කරන්න.... අන්තිමේදි හොල්මං කරලා කරලා ළමයිව බය කරලා බය වුණ අයගෙ බය ඇරලා නිදගන්න යද්දි කොහොමත් පාන්දර දෙක තුන වෙනවා.....
මතක සටහන් නම් අනන්තයි.... අපමාණයි....
ඒත් මේ වෙලාවෙ හැමදේම මතකෙට එන්නේ නෑ....
එකින් එක මතක් කරලා වෙලාවක් ලැබුණු වෙලාවට ලියන්න ආසයි..... බලමු පුළුවන් වේවිද කියලා......
මේ දවස් වල අපි training නිසා සතියෙ මුල් දවස් 3 ඉන්නේ ඔෆිස් එකේ... සමහර දාට site වල.... කොහොම වුණත් වැඩක් නැතුව ඉන්න තියෙන දවස් නම් හරිම අඩුයි... මට මර්ලින් TV series එක හම්බ වුණේ වාසනාවට වගේ ඔෆිස් වැඩ අඩු වුණු කාලෙක... ඒ නිසාම මං හිතුවා වැඩ ඉක්මනින් ඉවර කරලා මර්ලින් බලන්න...
ඉතින් පුදුමාකාර වුවමනාවකින් වැඩ ටික ඉවර කරලා මගේ word document එකත් open කරගෙන KM player එක මට පුළුවන් උපරිමේටම minimize කරගෙන මං මර්ලින් බලන්න ගත්තා... නැත්නම් දකින අය හිතන්නේ මම වැඩ නොකර මේක බලනවා කියලනේ...
Season one... Episode two...
මගේ රූම් එකේ දොරට පොඩි තට්ටුවක් එක්කම දොර ඇරුණා... හදිස්සිය වැඩි කමටම මට close බට්න් එක හොයාගන්නත් බෑ...
නංගි මගේ හෙඩ් සෙට් එක ඔතන ඇති.. ඒක දෙනවද..
හා අයියේ..
ආ මර්ලින් ද... ඕ.කේ.
ඇයි අප්පා මටම වෙන්නේ.... උදේ ඉඳන් වැඩ කලා... කවුරුවත් බැලුවේ නෑ.... ඉඳලා ඉඳලා මේක බලන්න ගත්තා විතරයි හැමෝම මෙතන... ඒ මදිවට මේ තරම් minimize කරන් බලලත් අඳුරගත්තනේ මර්ලින් කියලා.... ලැජ්ජාවට මට යන එන මං නෑ...
අයියෝ මර්ලින්...
ඒ මර්ලින්ගෙ ඉරණම... මේ මගේ ඉරණම...!!!!
මේක වුණේ අපි උසස් පෙළ කරන කාලෙ..... ඒ දවස් වල අපි අමතර පන්ති ගියාම දවල්ට කෑම කන්නෙ කට්ටිය සෙට් වෙලා..... මට මතක විදියට අපි 7ක් නැත්නම් 8ක් හිටියා ඒ සෙට් එකේ.... දවසක් අපි කාගෙ හරි බත්මුලක බටු තිබුණා...
එළබටු....
අපෙ සෙට් එකේ එක කෙල්ලකගේ බටු පිළිබඳ දැනීම අන්තිමයි.... ඒ තියෙන්නේ මොන බටු ද අහනවා.... ඉතින් අපේ අනිත් එවුන් ටික බටු පිළිබඳ මහාචාර්ය දේශනයක් දුන්නා සාමූහිකව....
සියළු බටු වර්ග ගැන කියා දුන්නට පස්සේ යාළුව අපේ මූණු දිහා බලාගෙන බොහොම අහිංසක විදියට මෙහෙම ඇහුවා....
"දැන් එතකොට මේ තියෙන්නේ වම්බටු ද...? "
දවසක් මං අහගෙන රෝසි ගෙ අම්මා රෝසිට බත් කවන්න ගත්තා හරිම ආදරණීය විදියට.....
"පුතා දන්නවද අර ලස්සන මොනරු ඉන්නේ.... මාත් ඔයාට ඒ විදියට ලස්සනම ලස්සන ගවුමක් මහලා දෙනවා අඳින්න... අම්මත් ඒ වගේම ගවුමක් ඇඳ ගන්නවා... රැළි දාලා... තට්ටු දාලා..... ඊට පස්සේ ඒ මොනරු වගේ අම්මයි පුතයි නටනවා..... ඉතින් පුතේ කන්නකෝ කටක්....."
ඔන්න ඔහොම බත් කවන්න ගත්තට මේ පොඩ්ඩට එහෙම ලේසියෙන් කවන්න බෑ.... ඒකා හිතාගෙන ඉන්නේ මේ ලොකේ තියෙන එපාම කරපු කෑම බත් කියලා වෙන්න ඇති.... කොහොම වුණත්.. මොනවා කිවුවත්.. බත් කටවල් 10 කට වඩා කවාගන්න බැරි වුණාම අම්මට යකා නගිනව.....
"ඔය ළමය දන්නවද.... අර අතන බුලත් යකෙක් ඉන්නවා.... කෑවෙ නැත්නම් දෙනවා යකාට හරිද..."
දැන් ඇරඹිලා තියෙන්නේ හොඳින් නැත්නම් නරකින් හරි කවනවා කියන වෙලාව තමා කියලා එතකොට පොඩි එකාට තේරෙනවා.... හැබැයි කෙල්ලත් එහෙම ලේසියෙන් යටත් වෙන්නේ නෑ.... ඉතින් අම්මා දන්න යක්කු ඔක්කොම ගෙන්නනවා... අන්තිමේදි කෙල්ල යක්කුන්ට බය වෙලා අඬද්දි අම්මා අයෙත් ඒ යක්කු ටික පන්නනවා.....
කොහොම වුණත් අහම්බෙන් හරි මේක ඇහුණු මට හිනා ගියේ මොනර නැටුමෙන් පටන් ගත්ත බත් කෑම තොවිලෙකින් ඉවර වුණු නිසා....