Tuesday, October 7, 2014

"ආල වඩන යන තේරුම බෝසත් කම සකි"




ජිවිතේ හරිම පුදුමාකාරයි. අපි හිතන දේවල් නෙමෙයි අපිට අත්විඳින්න වෙන්නේ හැමවෙලේම..... පතන්නේ එක දෙයක්..... ලැබෙන්නේ තව දෙයක්..... ආදරෙත් එහෙමයි..... රජ මැදුරේ ඉඳන් පාරේ ඉන්න හිඟන්නා දක්වාම හැමෝම හැමදාමත් ආදරේට මේ තරම් ආදරේ කරන්නේ ඇයිද කියල මං තාමත් හිතනවා..... ටෝල්ස්ටෝයි ගේ පරම්පරාවේ ඉඳන් ඉඳන් අපේ පරම්පරාවේ සුමිත්‍රා රාහුබද්ධ, සුනේත්‍රා රාජකරුණානායක දක්වාම නේක කතුවරයෝ මේ ගැන එදත් ලිවුවා.... අදත් ලියනවා..... හෙටත් ලියවේවි..........

'ජිවිතේ කවියක් - ආදරේ එහි සොඳුරුතම වදනක්' කියලා නන්දා මාලිනී වරක් කියන්න ඇත්තේ ඒක සදාතනික සත්‍යයක් නිසා වෙන්න ඇති.....

ඒත් ආදරයක් අහිමි වුණාට පස්සේ දැනෙන විරහව මොන තරම් ශෝකී ද.... ජිවිතේ පුදුමාකාර හිස් බවක් දැනෙන්නේ ඊට පස්සේ..... සමහරු අඬනවා.... සමහරු වැළපෙනවා...... තවත් සමහරු තමන්ටම අවේණික විදියට ඒ දුක දරාගන්නවා..... කවි... කතා... ඔය ඕනෑම දුක්බර නිර්මාණයක් ඇතුළේ සැඟවිලා තියෙන්නේ කාගේ හරි කෙනෙක් ගේ දුකක්..... කොහොම වුණත් මොනවා වුණත් මිනිස්සු විදියට අපිට ඒ හැම අත්දැකීමකටම මුහුණ දෙන්න වෙනවා......

ඉතින් ඒ වෙලාවට වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අබිමන් නොකියා වෙන මොනවා කියන්නද...... 

ඊටත් වඩා ඒ ආදරේ කවදාවත් අනිත් කෙනාට නොකියපු ඒක පාර්ශවිය ආදරයක් වුණාම......... හැමදාමත් පැත්තකට වෙලා අනිත් කෙනාව සතුටින් තියන්න හීන මවාපු ආදරයක් වුණාම...... අයිති කරගන්නේ නැතුව දැක සැනසෙන ආදරයක් වෙලා තිබුණාම......... අන්තිමේදී තමන්ට ඒක අහිමි වෙලාම ගියා කියලා දැනගත්තාම හිතට දැනෙන අත්දැකීම මොනතරම් නම් වේදනාකාරීද......

එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට - නෙලා නොගත්තේ මගේ බෝසත් කමට කියලා කියනවා මිස තවත් මොනවා නම් කියන්නද එහෙම වෙලාවක.......

මෙහෙම ආදරයක් අහිමි වුණාට පස්සේ ටිකෙන් ටික හදාගන්න හිතට ආයෙමත් ඒ මතක වද දෙනකොට.... තව දුරටත් හිමි නැති දෙයක් ගැන දුක් වෙලා පලක් නෑ කියල තමන්ගේම හිත සනසවා ගන්නකොට...... 

'මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා' කියලා වෙන්න ඇති හැමෝම හිත හදාගන්නේ.......

ඒත් ඒ ආදර කතා ඔක්කොම අපේ ජිවිත වලින් ඈත් කරලා දාලා ආයෙමත් හිත හදාගත්තාම මොනතරම් සුවිසල් ලෝකෙක වුණත් ඒ අය නැවත නැවතත් තමන්ගේ ජිවිත අසළටම කැරකිලා එද්දී හිත මොනතරම් නම් අසරණ වෙනවද....... ආදරේ නොකර හොඳම යාළුවෙක් වගේ ලඟින් ඉන්න වුණාම................

' ආල වඩන යන තේරුම බෝසත් කම සකි '


කිවුවට අපි ආදරේ කරන මිනිස්සු සදහටම අපෙන් ඈත් වෙලා යන බව දැන දැනම වෙනසක් නැතුව ආදරේ කරන්න නම්....  ඒ ආදරේ නොපෙන්නා හොඳ යාළුවෙක් වගේ ළඟින් ඉන්න නම්........ හැබෑවටම හිතට පුදුම ශක්තියක් තියෙන්න ඕනි නේද........



Thursday, August 14, 2014

පායා ආ ඉර.........


දුරලනු පිණිස ගණඳුර
මා වටා වූ ලෝකයේ පැතිර
ගෙවා කාලය දුෂ්කර
ආමි ගමනක් වෙහෙසකර

විලස මා පැතූ නිතර
ළබැඳියක් විණි මා ඇසුර
පමාවෙන් මගේ පිළිතුර
ඈ ගියා මා තනිකර

ඈට හිමිතැන හිස්කර
ඇගේ මතකය පසුකර
නැගෙන විට නිලඹර
දුටිමි සඳවත තරු අතර

නොදී ඈ හට අවසර
ගත් නිසා සිත දැඩිකර
නවතා ඒ මිතු ඇසුර
ආමි මා සඳ අතහැර

දුෂ්කර ගමන කෙළවර
දුරැල මා ලොව ගණඳුර
බලන කළ නෙත් හැර
වසන්තය හිත අද්දර    

නොවෙමි දුක් නිරතුර
අතීතය මා සිහිකර
වැයේ දැන් සත්සර
ඒ යුගය අවසන් කර.........

   

හිරු ට පෙම් බැඳ...



ඉර 
පායා ආවේ 
එළිය දෙන්නට මිස 
එක් ව 
අහසේ රැඳෙන්නට
නොවන බව 
දැනගතිමි
නැගෙන විට 
දසතින් ම අරුණළු
සරා සඳ 
මම........


එකමත් එක කතාවක්......



ආදර කතාවක් ද ශෝකාන්තයක් ද එහෙමත් නැත්නම් වෙන මොකක් හරි නමක් මතක් වෙන්නේ නැති එකක්ද කියලා හිතාගන්න බැරි කතාවක් මේ...... මේ විසි එක්වෙනි සියවසේ මිතුදමක තුන් පැත්තක් කියලා හිතගත්තත් කමක් නෑ වගේ.......

ඔහු ඇයට ගොඩාක් ආදරේ කළා......  ඒක නොසිතූ විදියට අවසන් වුනා. ඒ වෙනුවෙන් කාලෙකට පෙර මුණු පොතේ ඔහු තැබූ සමරුව මේ.....

මිරිඟුවක හිත තියලා
නුඹ දුරක ඇදුනා
රංචු ගැහෙනා රෑනේ
තනිකමක් දැනුනා........

ඒත් ඇත්තටම බැලුවොත් ඇයත් ඔහුට ආදරේ කළා...... ඔහු හිතුවාටත් වඩා.... අවසානයක් නොදැන ගමනක් යන්න බෑ කියල තීරණය කරපු නිසයි ඒ ගමනට ඇගේ පැත්තෙන් තිත වැටුනේ..... ඒ නිසයි එදාම ඇගේ සටහන මේ විදියට තිබ්බේ.....

අරුත නොදකින සෙනෙහේ
ඔය නමත් රැඳුනා........

ඉන් පස්සේ රිදුනු හිතත් එක්ක තමන්ගේ ගමන ගිය ඔහුට මුණ ගැහුණේ තවත් අපූරු සහායිකාවක්..... තවත් වසර තුනකට පස්සේ ඒ මිතුදම අවසන් වුනාම ඇය ඒ කතාව කිව්වේ මෙහෙමයි.....

ඇසිල්ලක දුටු හීනෙන්
හිත හුඟක් රිදුනා......

මතක් වෙනවද මේ පද පේළි..... ඒවා ඔක්කොම අයිති එකම ගීතයකට බව.... එකිනෙකාට දැනුනු විදිය වෙනස් වුණත් මේ ඔක්කොම ඇතුලේ එකිනෙකා ගැන දැනුණු හැඟීම..... ආදරය... තනිකම.... අවිනිශ්චිත බව.... දුක.... අහිමි වීම.... වගේම තවත් නොකී කතා ඕනෑ තරම් ඇති......

“මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇදුනා
රංචු ගැහෙනා රෑනේ තනිකමක් දැනුනා
ඇසිල්ලක දුටු හීනෙන් හිත හුඟක් රිදුනා
අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රැඳුනා........”

අහම්බයක් නෙමෙයි මේ..... තුන්කොන් ආදර අන්දරෙකුත් නෙමෙයි.....  එකිනෙකා හරි හැටි හඳුනා නොගත් තුන් දෙනෙක් කියලා හිතුනත් එහෙම කියන්නත් බෑ.... ඒත් අන්තිමේදී බැලුවාම කාලෙන් කාලෙට හැමෝම ගයලා තියෙන්නේ එකම ගීතයක්......

කොහොම වුණත් කවදාවත් මේ ගීතය හරියට තේරුම් නොගත්තු මම මුණුපොතේ තැන් තුනක අපිළිවෙලට වැටුණු මේ තුනෙන් ජිවිත කාලෙටම අමතක නොවෙන විදියට ඒ ගීතය තේරුම් ගත්තා......





Wednesday, August 6, 2014

දයාබර තරංග.....



Wrong Numbers කිවුවාම අපි කාටත් සිහිවෙන්නේ හරිම කරදරකාරී මතකයන් වුණාට මගේ අතින් dial වුණු මේ Wrong Number එක ගැන නම් මම කවදාවත් දුක් වෙන්නේ නැත්තේ ජීවිතේ මං ලබපු ගණඳුරු සමයක පායපු රිදී ඉර ඔහු වීම නිසා....

සරසවියට ආව මුල් කාලයේදී මනුස්සයෝ අඳුනගන්න බැරිව දහසක් ප්‍රශ්න වලට මුණ දීපු මගේ අවසන් විකල්පය වුණේ පරණ පුරුදු කටහඬක් අහල හිත සනසව ගන්න එක...... ඉතිං මං අපේ පරණ යාළුවෙක් ට පණිවිඩයක් තිබ්බා මගේ තවත් හොඳ යාලුවෙක්ගෙ no.1 එවන්න කියලා..... ඒ ආව no එකට call කලාම මට ඇහුණේ කවදාවත් අහපු නැති කටහඬක්...... හැබැයි අපි දෙන්නටම ආව ඊළඟ අවුල වුණේ අපි දෙන්නටම no.1 වැරදිලා නැත්නම් මං හොයන කෙනා ඔහු නොවෙන්නේ කොහොමද කියලා.......

අනිත් අතට මං අහපු කෙනා ඔහු දැනගෙන හිටියා.... ඒවගේම ඔහු මේ no.1 මගේ අතට එන්න ඇතැයි කියල guess කරාපු හැමදෙනාමත් මගේ යාළුවො......

කොහොම වුණත් sorry කියල මම phone එක තියලා වැඩි වෙලාවක් ගියේ නෑ අයෙමත් call කරපු ඔහු මම කවුද.... දැන් කොහෙද ඉන්නේ..... මොනාද කරන්නේ.... කියන හැමදේම කියාගෙන ගියා....... මම dial කරාපු no. 1 අපේ සෑහෙන යාලුවෝ ගොඩක් use කළ එකක් වගේම ඒකෙ හැබෑ අයිතිකරු ඔහු බව මම දැනගත්තේ ඒ මොහොතේ.....

එදා ඇරඹුණු ඒ මිතුදම මේ වෙද්දී පස් වසක් සම්පුර්ණ කරලා...... අපි දෙන්නාගෙන් හඳුනගත් තවත් යහළු යෙහෙළි ගණනාවකගෙන් අපේ දයාබර කවය සමන්විත වෙලා..... ගෙවල් වල අය පවා අපි හඳුනගෙන අවසන්..... ඕනිම දුකකදී එකිනෙකාව සනසන්නටත් සතුටේදී එකට එකතු වෙලා හිනාවෙන්නටත් අපිට පුළුවන් වෙලා.....

MC එකේ කඩයක් ඉස්සරහ නතර වෙලා ඇතුළේ තියෙන මාලයක් ලස්සනයි කීවම ඒක ඒ වෙලාවෙම අරං දෙන්න තරමට ම ඔහුගේ මිතුදම දයාබරයි..... ඒ මාලේ පස්සේ කාලෙක අයින් කලත් අදටත් ඒ පෙන්ඩන්ට් එක වෙන මාලයකට දාල මගේ කරේ රැඳෙන තරමටම මගේ මිතුදමත් දයාබරයි...... ඇත්තටම ගොඩක් දෙනෙක් මගෙන් අහපු ඒ ප්‍රශ්නෙට අද තමයි උත්තර ලැබෙන්නේ...... ඔව්. Promise කියලා කොටලා තියෙන ඒ මාල පෙත්තේ තියෙන්නේ හැමදාමත් සතුටින් ඉන්නවා කියලා එකිනෙකාට වුණු නිහඬ පොරොන්දුවක්..... ඒක ඇත්තටම නොබිඳෙන විශ්වාසයක් වගේම එකිනෙකා අතරේ රැඳුනු තේරුම් ගැනිමකුත් කැටි වුණු  දයාබර මිතුදමක සොඳුරු පැතුමක්.....

මට තාමත් මතකයි අතපය දිග රෙදි බෝනික්කෙක් ඕනි කීවාම town එක පුරාම මාත් එක්ක බෝනික්කෝ හොය හොයා වතාවක් ඇවිදපු හැටි...... කැමරාවක් ගන්න MC ගිහිං අන්තිමේදී කැමරා හෙවිල්ල පැත්තකින් තියලා වරුවක් තිස්සේ කෑම කකා කියෝ කියෝ ඉඳලා අන්තිමේදී මහා වරුසාවකට අහුවෙලා මගේ කුඩෙත් අරං ගිය හැටි..... ඒ කුඩේ පස්සේ කාලෙක දිල් ගේ ගෙදර නවාතැන් ගත්තේ ආයෙමත් ඒක මට දෙන්න ගියාට අපි දෙන්නටම සෑහෙන කාලයක් යනතුරාවට අපිව මුණ නොගැහුණු නිසා කියලත් මතකයි මට.....

ලියනවා නම් මේ වාගේ දේවල් තවත් ඕනෑ තරම් ලියන්නට මගේ හිතේ පෙළ ගැහෙනවා.... අනිත් අතට ඔහු කරාපු මේ වාගේ දේවල් ගැන මතකයේ තියෙන්නේ මට විතරක් නෙමෙයි කියලත් මම දන්නවා..... අහලා බැලුවොත් අපි හැමෝම වෙනුවෙන් ඔහු අයෙමත් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී කරපු දේවල් සෑහෙන්න තියෙනවා......ඒත් සටහන දිග වැඩි වෙන නිසයි මෙතනින් හමාර කරන්නට යන්නේ.....

දයාබර තරංග..... ඔබව මිතුරෙකු ලෙසින් ලබන්නට මම සැබැවින්ම වාසනාවන්තයි.... විටෙක පොඩි දරුවෙකුට හමුවුණු නත්තල් සීයෙකු ලෙසත්..... තවත් විටෙක ළබැඳි සහෝදරයෙකු ලෙසත්.... ඔබ මා ළඟ පස් වසක් පුරාවට සිටි අයුරු මගේ හිත පතුලේම රැඳිලා තියෙනවා.....

2014. 08. 09 උදා වෙන විසි පස් වෙනි උපන් දිනත් සමගින් ජීවිතේ රිදී යුගයට පා තබන ඔබට මෙලොව වසන මනුෂ්‍යයෙකුට ලබාගත හැකි සියලු සතුට ලබා ගැනීමට උදා වන හැම දිනයකම වාසනාව ලැබේවා කියලා පතමින් මම මේ සටහනට තිත තබනවා.....   





Tuesday, July 22, 2014

උරුමය



කුඩා කළ සිටම මට නැගිටින්න හිඳගන්න 
කෙලින් තීරණ ගන්න මට අවැසි ලෙස ඉන්න 
හැමවිටම උදවු දුන්නේ මගේ පිටකොන්ද 
මා උන්නේ නවන්නට නොවේ එය කිසිදිනක 

දිනෙන් දින ගෙවීලා තරුණ විය එළඹිලා 
උපාධිය ලැබීලා රැකියාව සොයාලා
කරකාර බැඳීලා දරු මල්ලෝ ලැබීලා
ලෝකයේ මට උරුම තැනට මා වැටීලා

බස් රියේ තිවංකව යන විටත් එන විටත් 
රැකියාව ගන්නටත් ඉන් ඉහළ යන්නටත් 
පොඩි ඒකා හෝඩියට දමන්නට ගිය විටත්
මට වුණේ නොපැකිලව පිට කොන්ද නවන්ටත්  

මහලු විය එළඹිලා මා හිඳී තනිවෙලා 
මතකයන් එකින් එක මගෙ හිතේ ඇඳීලා 
මගේ පිටකොන්ද දැන් ඇත්තේ වක ගැසීලා
කෙලින් කළ නොහැක එය නවලාම හුරුවෙලා.......................



Thursday, July 17, 2014

එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට...............



එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට
නෙලා නොගත්තේ මගේ බෝසත් කමට...
හැරගිය දිනේ නාවත් මා ගම් දොරට
ආවේ ඇයිද විරහේ සිත අද්දරට......

මගේ අතට නුඹ සර්ව සම්පුර්ණ මලක් වුණේ නෑ...... ඉතිං නුඹට සම්පුර්ණ වෙන්න ඉඩ දීලා මං පසෙකට වෙලා ආදරෙන් ඒ දිහා බලා හිටියා..... මට වැරදුණේ එතනයි කියලා වැටහෙද්දී මම ප්‍රමාදයි..... නෙලාගන්න පුළුවන්කම තිබුණු නුඹව නෙලා නොගත් බෝසත් කම නිසාවෙන් අද නුඹ මට අහිමි වෙලා ගිහිං..... ඒ හැරයාම දරාගන්න අපහසු වුණු නිසා සමුදෙන්න මං නුඹ ළඟට නොආවත් විරහා වේදනාව නම් සිත අද්දරටම ඇවිල්ලා.....   

විස්මිත ගම
 අදහන්නට බෑ තවම
මා හැරදමා නුඹ ගිය මග ගැන අරුම...
සතු කරගන්න මුල් පෙම නොපිදූ බැවින
දුක්බර හිතට කීවෙමි නොහඩන ලෙසින......

මම කවදාවත් හිතුවේ නෑ නුඹව අහිමි වේවි කියලා..... නුඹ හැමදාමත් මං අසළින්මයි හිටියේ..... ඒ නිසාමයි නුඹව සතු කරගන්න මං හදිස්සි වුණේ නැත්තේ..... හැමදාමත් ළඟ හිඳිවී කියලා සිතූ නුඹ ගිය පසු තමයි මට දැනුනේ කොහේ හෝ වරදක් සිදු වෙලා කියලා......  මගේ පෙම මුලින් නුඹට නොහැඟවූ වරද..., ඒ ප්‍රමාදය ගැන දැන් පසුතවිලා පලක් නෑ.... ඒ නිසයි මගේ දුකින් ඉන්න හිතට මං කියාගත්තේ නාඬා ඉන්න කියලා........

සිටිනා කොදෙව්වක නුඹ සැප විඳී නම්
මවෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්...
මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්
තව කුමකටද දුක් ගී කල්පනාවන්.......

නුඹ තවත් මට හිමි නෑ..... ඉතිං ලෝකේ කොහේ කොතැනක හිටියත් නුඹ සැපෙන් හිඳිවා කියලා පතනවා හැරුණාම මට වෙන කරන්න දෙයක් දැන් නෑ..... මං නුඹට ආදරේ කළ තරම දන්නේ මං විතරයි..... ඒ නිසයි මං පතන්නේ මං නුඹට දුන්නු ආදරය එලෙසින්ම ආයෙමත් ලැබෙන්න කියලා..... අපි අතරේ තිබුණු මතකයන්ගෙන් නුඹේ මේ නව දිවියට හිරිහැරයක් නොවේවා කියලා මං පතන්නේ ඒක එහෙම වේවිද කියලා මට සැක නිසයි..... නුඹ ශක්තිමත් මං හිතනවට වඩා..... නුඹ නව ජීවිතය සතුටින් හිඳිවී ඉතිං...... එහෙමනම් මං දුක් වෙන්නේ නෑ..... මං හිත හදාගන්නවා නුඹේ සතුට ගැන හිතලා.......