Friday, March 20, 2015

ශාන්...... මේ නුඹට යි......!



හැමදාමත් හිතුවා නුඹේ නමට යමක් ලියන්න ඕනි කියලා.... ඒත් මොකක්දෝ හේතුවකට මගේ අතින් ඒක මග ඇරිලා ගියා.... හිතට දුකක් දැනුණ ද... මම නුඹව නොසළකා හැරියා කියලා.....

නැහැ. මොහොතකටවත් නැහැ.

එදා 2011 අවුරුද්දේ ජුනි පළවෙනිදා නුඹට මුණුපොතෙන් මුණ ගැහුණු නැගණිය අදත් එදා වගේම ළබැඳියි.... පුළුවන් හැමවෙලාවෙම නුඹේ දුරකතනය ඇමතුවේ නැතිවාට.... සතියෙන් සතියට කෙටි පණිවිඩ තියලා දුක සැප නොසෙව්වාට නුඹ දන්නවා මගේ සිතින් නුඹ ඈතට නොයනා වග.....

ජීවිතය කෙටියි 
සිතනවාට වඩා..
වසරින් වසර ගෙවෙනවා
අපිටත් නොදැනීම..
දිනෙන් දින
පරිණත වෙනවා
නුඹත් මමත්..
හැමදේම වගේ 
අපිත් වෙනස් වෙනවා 
ඒත්
සමහර දේවල්  
කවදාවත්ම වෙනස් වෙන්නේ නැහැ. 

දන්නවා ද...... 
  
මගේ හිතේ 
නුඹ ගැන තියෙන 
දයාබර හැඟීමත්  
අන්න ඒ වගේ.......

නුඹ මෙඩ්ඩෙක් නිසා වෙන්න ඇති, මම අසනීප වුණු හැම වතාවකදීම නුඹ මගේ දුක සැප හොයලා බැලුවා.... කිසිදිනෙක මට එය අමතක වන්නේ නැහැ අයියණ්ඩි..... 

නුඹ පිංවන්තයි..... නුඹව හැඳින ගන්නට තරම් මමත් වාසනාවන්තයි..... 

ඉතිං 2015 මාර්තු විසි එක් වෙනිදට උදාවන 27 වෙනි උපන් දිනේ දී, 

ඉසිවර වෙදැදුරෙක් වී ලෝකයක් සුවපත් කරන්නට නුඹට ශක්තිය ලැබේවා කියලා ගොඩාක් ආදරෙන් මම සුබ පතනවා....!!!

  

ඉපැදුණු කවි සිත........


සදාකාලික 
කවියෙක් වන්න 
එක් වරක් 
ආදරය කරන්න 
කීවා ලු දිනෙක 
මිනිසෙක් 
ලෝකයට හඬගා......
නොසිතුවෙමි 
එහි අරුත 
කිසිදිනෙක 
ආදරය 
මගේ කවි සිත 
අවදි කරනා තුරාවට................

Sunday, December 28, 2014

නුඹ මගේ නොවුණට කම් නැතී............


අමතක කරන්න මොන තරම් ඕනි වුණත් ඉබේටම හිතට එන ආදරයක් ගොඩක් හිත් වලට පොදුයි..... අහිමි වූ නිසාවෙන් වටිනාකම වැඩියෙන් දැනෙන එක හැමෝටම පොදු දහමක් වෙන්න ඇති..... ඒ වුණත් හිමිවීම් වලට වඩා අහිමිවීම් වැඩි මේ ලෝකේ හිතට දුකක් නැතුව අතීත මතක සිහි කරන්න පුළුවන් නම්......

කොහේ හෝ නුඹ නතර වී 
කාට හෝ ජීවිතය දී
තුටින් නම් මට ඒ ඇතී
මගේ නොවුණට කම් නැතී
නුඹ මගේ නොවුණට කම් නැතී

ආදරය කියන හැඟීම ඇතුලේ ආත්මාර්ථයක් තියෙනවා වගේම අනිත් කෙනාගේ සතුට ගැන හිතන පරාර්ථකාමී ගතියකුත් තියෙනවා..... හිමි කරගන්න තිබුණා නම් කියලා හිතෙන අතරේම අහිමි වුන ආදරය දිහා ආදරෙන් බලන්න පුළුවන් අයත් ලෝකේ නැතුවාම නෙමෙයි. වඩා වටින්නේ මම ආදරේ කරපු කෙනා මට හිමි වෙන එක නෙමෙයි, කාත් එක්ක හරි සතුටින් ඉන්න එක කියලා හිතෙන්නේ එහෙම අයට වෙන්න ඇති..... 

උන්නු දා අපි අපේ වී නුඹ 
දුන්නු සෙනෙහස අරුමෙකී
ලෝබ නෑ හිත අහිමි දා අද 
මමත් අද මට හිමි නැතී

අපිට අපිව හිමිවුණ යුගයක් තිබුණා අතීතයේ..... නුඹට මට පමණක් ම වෙන් වුණු අතීතයක්..... ඒ අතීතයේ හිපපු අපි මොන තරම් ආදරණිය ද කියලා හිතට තදින්ම දැනෙන්නේ තවදුරටත් ඒ කාලය අයිති අතීතයට පමණක් වුණාම.... කොහොම වුණත් හිතට ලෝබ දැනෙන්නේ නෑ ඔබව මට අහිමි වුණා කියලා..... ඒ වෙනුවට මට හිතෙනවා මේ අරුම පුදුම ලෝකේ ඇතුලේ මට මාව වත් හිමි නෑ නේද කියලා......

නුඹ ලඟත් මතකය ඇතී
නමුදු අපි වෙන් වී ඇතී
එපා රිදවුම් ගන්න දිවියට
අපට හිමි ජිවිත ඇති......

මතක උරුම මට පමණක් වෙන්න බෑ..... අමතක කරන්න ඕනි වුණත් නැතත් ඒ මතකයන් ඔය හිතෙත් ඇති..... ඒත් තවදුරටත් අපි ඉන්නේ ඒ අතීතේ නෙමෙයි. ඉතිං ඒ ගැන හිතලා හිත රිදවගන්න එපා.... මොකද අපිට හිමි වුණු ජිවිත තියෙනවා මේ වෙද්දී.... ඒවායේ වගකීම අපිට තියෙනවා..... අපේ ඒ හැබෑ ජිවිත වලට වෙනස්කමක් කරන්න අපිට අයිතියක් නෑ මොනම හේතුවක් නිසා වත්....... 

ජිවිතේ පසුපසට යන්න බෑ අපි කාටවත්..... සිදු වුණු දේවල් වෙනස් කරන්නත් බෑ..... අනිත් අතට දැන් අපිට උරුම වෙලා තියෙන ජිවිත වඩා වටිනා ඒවා වෙන්න පුළුවන්..... අපි ජිවිත කාලයක් පුරාවට කැපවීම් කලේ අද ඉන්න තැනට මේ ජිවිත ගොඩ නගා ගන්න...ඉතිං ඒ ලෝකේ හැබෑ අයිතිකරුවෝ තමා අද අපි ළඟ ඉන්නවා ඇත්තේ.... සසර පුරා පතාගෙන ආව විදියට තමා දේවල් සිද්ධ වෙන්න ඇත්තේ..... ඒ නිසාම අපිට අයිතියක් නෑ මේ වර්තමානේ ඉන්න ආදරණියයන්ට කිසිම සිත් තැවුලක් දෙන්න, අපේ අතීත කතා සිහි කරලා.....

ඉතිං අපි ජිවත් වෙමු..... අපිට හිමි මේ ජිවිතේ සතුටින්...... කවුරු කොහොම කිවුවත් වඩා වටින්නේ හිතේ සතුට නේ......


ගායනය : කරුණාරත්න දිවුල්ගනේ 
සංගීතය : දර්ශන වික්‍රමතුංග 
පද රචනය : ශාමිලා හුසේන් 








Saturday, December 27, 2014

තාලය වැරදුන ද බැස යා නොහැකි රඟමඩල.........



පවතින රාමුවෙන් 
පලා යනු බැරි හෙයින් 
රඟන්නට සිතුයෙන් 
වේදිකාවට පැමිණියෙමි............

කෙල්ලක් නිසාවෙන් 
නොබිඳෙමින් නොවැටෙමින් 
සෙමෙන් මුත් තිර ලෙසින් 
රැඟුම මා ඇරැඹීයෙමි.............

රිද්මය නොනසමින් 
පා තබා පැකිලෙමින් 
සිටියදී රඟමින් 
තාලය වැරදුනි..............

කරනු කිසිත් නැති හෙයින් 
බැස යන්න සිතමින්
සිත මගේ සැලෙමින් 
අවට බැලීමි.............

අඬමින් වැලපෙමින් 
ජීවිතය පරදිමින් 
බැස යාම පහසුවෙන් 
කරන්නට නොසිතුණි...........

කෙසේ හෝ දිනමින් 
අවසන හිනැහෙමින් 
නරඹන්නන් කෙරෙන් 
යන්නට සිතුවෙමි............ 

මගේ ම ආරකින් 
රිසි සේ රඟමින් 
යම් දිනෙක මා ඉතිං 
ඒ රැඟුම නිම කරමි.................


තහනම් නෑ තවත් මගේ හද වැහි දිය ට.....................


නා කපනා වැස්සට මා තෙමෙන විට 
මතකය මගේ නොදැනිම යයි අතීතෙට 
සැමරුම් එකින් එක අමතක වී යන්ට 
කල් යල් බලා වැහැපන් වැස්සක් හදට 


Thursday, December 11, 2014

ආදරයක් මිතුදමකින් අවසන් කරන්න පුළුවන් ද...



“Friendship often ends in love; but love in friendship, never” කියල ශේක්ෂ්පියර් කිව්වේ මං ඉපදෙන්න ආත්ම ගාණකට කලින් වෙන්ඩ ඕනි දන්නා තරමින් නම්...... හැබැයි ඉතිං කියලා තියෙන කතාව නම් අමූලික ඇත්තක් බව තේරෙනවා මේ වෙද්දී...... නාදුනන දෙන්නෙක් යාළුවෝ වෙන්නේ අහම්බෙන් වෙන්න ඇති..... මේ කාලේදී රණ්ඩු වෙන එක සාමාන්‍ය දෙයක් වුණත් සමාව ඉල්ලගෙන ආයෙමත් සුපුරුදු සබඳතාවට යන්නේ ඒකෙ වටිනාකම හිතට දැනෙන නිසා වෙන්නත් ඇති....... කාලේ ගෙවිල යද්දී හිතට හොරා යාළුකම් ආදර කතා වෙන්නෙත් ඒ නිසාම වෙන්න ඇති.....

ඒ වුණත් ආදරයක් යාළුකමකින් අවසන් කරන්න පුළුවන් ද............................?

අත්හැරුණු දීගේ හෙවනැල්ලත් ඇදයි කියනවා වගේ අනිත් කෙනා කරන කියන හැමදේම වැරදියට පේනවා නම්..... පොඩි අතපසු වීමක් වුණත් දෙන්නටම දැනී හෝ නොදැනී ම ඒක රණ්ඩුවක නිමිත්තක් වෙනවා නම්.... අනිත් කෙනා නිසා තමන් ජිවිතේ විඳවනවා කියලා දැනෙනවා නම්...... තවදුරටත් ඒ සම්බන්ධතාවේ වටිනාකමක් දෙන්නටම නොපෙනෙනවා නම්....... අඩුම තරමේ යාළුකමක් වත් ඉතුරු වේවිද අවසානේ........

මම කැමති වුණේ දැන් ඉන්න කෙනාට නෙමෙයි පරණ හිටපු කෙනාටයි කියල හිතෙනවා නම්.............

මට නම් දැනෙන්නේ ආත්ම ගාණකට කලින් ශේක්ෂ්පියර් කිවවා හරියටම හරි වෙන්න ඕනි...... මේ වගේ දේකදී ආපස්සට අඩියක් තියන්න හිතන තරම් ලේසි නෑ.... එක්කෙනෙක් ඉදිරියට යද්දී අනිත් කෙනාට දුක් වෙවී මග නතර වෙලා ඉන්නත් බෑ...... මෙහෙම වෙලාවක දී  ගොඩක් වෙලාවට හිතට එන්නේ තීරණ දෙකයි..... එක්කෝ අනිත් කෙනාගෙන් ඈත් වෙන එක..... නැත්නම් කිසිම කෙනෙක්ට ආදරේ නොකර "ආදරෙන්" ඈත් වෙන ඒක..... එහෙම නැතුව මේක ලෝකේ හැටි කියල හිත හදාගෙන අලුත් ජිවිතෙකට යන මිනිස්සු හරි අඩුයි ලෝකේ......

මනුස්සයෙකුට වෛර කරනවා වත්.... ඉරිසියා කරනවා වත් කියන එක.... හොද දෙයක් කියල මම හිතන් නෑ කිසිම වෙලාවක...... දියුණු ලෝකෙක ඒක නිකං ගෝත්‍රික අදහසක් වගේ...... අනෙක් අතට ලෝකේ විශ්ව පවුලක් තරමට පුංචි වෙමින් තියෙන කාලෙක සදහටම මුණ නොගැසී..., කතා නොකර ඈත් වෙලා ඉන්න පුළුවන්ද කියන එකත් සැකයි......  

ඒත් එක්කම නිකමටවත් හිතල බැලුවද ආදරේට වෛර කරන එක හොදයි ද කියලා...... ආයෙමත් කවදාවත් ආදරේ කරන නෑ... ආදරේ කියන්නේ පවතින දෙයක් නෙමෙයි වගේ දෙයක් කියලා තනිකඩව ඉන්න එකවත්...... ආදරයක් නැතුව රටේ ලෝකේ මිනිස්සුන්ට ඕනිවට කසාදයක් බැඳගන්න එකවත් හොදයි කියල හිතෙනවද...... ඒ අලුත් ජීවිතේට ඒක සාධාරණයි කියල හිතෙනවද.....


ඉතිං එහෙම බැලුවාම ආදරයක් මිතුදමකින් අවසන් කරන්නම බැරිද.......? 

මට හිතෙනවා පුළුවන් කියලා..... හිත රිදවාගෙන ඈත් වෙලා ඉන්නවට වඩා.... පරණ දේවල් දෙපැත්තකට වෙලා මතක් කරලා දුක හිතනවට වඩා....දෙන්නටම පුළුවන් නම් එකිනෙකාව හොදින් තේරුම් අරගෙන අනිත් කෙනා අපහසුතාවයට පත් නොකර ඉන්න..... තමන්ගේ අලුත් ජිවිතේ ගැන තොරතුරු අනිත් කෙනාගේ හිත රිදේවි කියල සඟවන්නේ නැතුව, ඇත්ත තිත්ත වුණත් කියනවා නම්........ 

මොහොතකට හිත රිදුණත්, දිගුකාලීනව දෙන්නට දෙන්න ගැන තියෙන විශ්වාසෙ බිඳිලා නොයාවි නේද...... මොන දේ වුණත් වඩා වටින්නේ විශ්වාසයයි කියලයි මට නම් හිතෙන්නේ...... මොකද ආදරයක් අහිමි වීමකට වඩා මනුස්සයින්ගේ හිත රිදෙන්නේ "මොන දේ වුණත් අනිත් කෙනා තමන්ට ඇත්ත කියනවා" කියලා හිතලා ඒ ගැන තියාපු විශ්වාසය බිඳිලා යන එක නෙමේද ඇත්තටම බැලුවොත්...... 

ඒ නිසා ආදරය කරන්න බැරි වුණත් අනිත් කෙනාට...., පුළුවන් නම් එයා තමන් ගැන තියාපු විශ්වාසෙ නොකඩා ඉන්න බොරුවක් නොකියා.... තමන්ගේ ජිවිතේ ගැන වුණත්...... මං හිතන්නේ යාළුකමකින් ආදරයක් අවසන් කරන්න ඒ හොදටම ඇති..... 

මොකද යාළුකමක් වත් වෙන සම්බන්ධතාවක් වත් විශ්වාසෙකින් තොරව රඳා පවතින්නේ නැති නිසා...... 


Tuesday, October 7, 2014

"ආල වඩන යන තේරුම බෝසත් කම සකි"




ජිවිතේ හරිම පුදුමාකාරයි. අපි හිතන දේවල් නෙමෙයි අපිට අත්විඳින්න වෙන්නේ හැමවෙලේම..... පතන්නේ එක දෙයක්..... ලැබෙන්නේ තව දෙයක්..... ආදරෙත් එහෙමයි..... රජ මැදුරේ ඉඳන් පාරේ ඉන්න හිඟන්නා දක්වාම හැමෝම හැමදාමත් ආදරේට මේ තරම් ආදරේ කරන්නේ ඇයිද කියල මං තාමත් හිතනවා..... ටෝල්ස්ටෝයි ගේ පරම්පරාවේ ඉඳන් ඉඳන් අපේ පරම්පරාවේ සුමිත්‍රා රාහුබද්ධ, සුනේත්‍රා රාජකරුණානායක දක්වාම නේක කතුවරයෝ මේ ගැන එදත් ලිවුවා.... අදත් ලියනවා..... හෙටත් ලියවේවි..........

'ජිවිතේ කවියක් - ආදරේ එහි සොඳුරුතම වදනක්' කියලා නන්දා මාලිනී වරක් කියන්න ඇත්තේ ඒක සදාතනික සත්‍යයක් නිසා වෙන්න ඇති.....

ඒත් ආදරයක් අහිමි වුණාට පස්සේ දැනෙන විරහව මොන තරම් ශෝකී ද.... ජිවිතේ පුදුමාකාර හිස් බවක් දැනෙන්නේ ඊට පස්සේ..... සමහරු අඬනවා.... සමහරු වැළපෙනවා...... තවත් සමහරු තමන්ටම අවේණික විදියට ඒ දුක දරාගන්නවා..... කවි... කතා... ඔය ඕනෑම දුක්බර නිර්මාණයක් ඇතුළේ සැඟවිලා තියෙන්නේ කාගේ හරි කෙනෙක් ගේ දුකක්..... කොහොම වුණත් මොනවා වුණත් මිනිස්සු විදියට අපිට ඒ හැම අත්දැකීමකටම මුහුණ දෙන්න වෙනවා......

ඉතින් ඒ වෙලාවට වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අබිමන් නොකියා වෙන මොනවා කියන්නද...... 

ඊටත් වඩා ඒ ආදරේ කවදාවත් අනිත් කෙනාට නොකියපු ඒක පාර්ශවිය ආදරයක් වුණාම......... හැමදාමත් පැත්තකට වෙලා අනිත් කෙනාව සතුටින් තියන්න හීන මවාපු ආදරයක් වුණාම...... අයිති කරගන්නේ නැතුව දැක සැනසෙන ආදරයක් වෙලා තිබුණාම......... අන්තිමේදී තමන්ට ඒක අහිමි වෙලාම ගියා කියලා දැනගත්තාම හිතට දැනෙන අත්දැකීම මොනතරම් නම් වේදනාකාරීද......

එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට - නෙලා නොගත්තේ මගේ බෝසත් කමට කියලා කියනවා මිස තවත් මොනවා නම් කියන්නද එහෙම වෙලාවක.......

මෙහෙම ආදරයක් අහිමි වුණාට පස්සේ ටිකෙන් ටික හදාගන්න හිතට ආයෙමත් ඒ මතක වද දෙනකොට.... තව දුරටත් හිමි නැති දෙයක් ගැන දුක් වෙලා පලක් නෑ කියල තමන්ගේම හිත සනසවා ගන්නකොට...... 

'මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා' කියලා වෙන්න ඇති හැමෝම හිත හදාගන්නේ.......

ඒත් ඒ ආදර කතා ඔක්කොම අපේ ජිවිත වලින් ඈත් කරලා දාලා ආයෙමත් හිත හදාගත්තාම මොනතරම් සුවිසල් ලෝකෙක වුණත් ඒ අය නැවත නැවතත් තමන්ගේ ජිවිත අසළටම කැරකිලා එද්දී හිත මොනතරම් නම් අසරණ වෙනවද....... ආදරේ නොකර හොඳම යාළුවෙක් වගේ ලඟින් ඉන්න වුණාම................

' ආල වඩන යන තේරුම බෝසත් කම සකි '


කිවුවට අපි ආදරේ කරන මිනිස්සු සදහටම අපෙන් ඈත් වෙලා යන බව දැන දැනම වෙනසක් නැතුව ආදරේ කරන්න නම්....  ඒ ආදරේ නොපෙන්නා හොඳ යාළුවෙක් වගේ ළඟින් ඉන්න නම්........ හැබෑවටම හිතට පුදුම ශක්තියක් තියෙන්න ඕනි නේද........