Wednesday, September 9, 2015

~ වෙනස ~



"ඔබ සහ මම වෙනස් වන තැන මම අල්ල ගත්ත. ඔබ එකම නළුව තිර පිටපත් දෙකකට යොදා ගන්නව. මම නළුවො දෙන්නෙක් එක තිර පිටපතකට යොදෝනව.

ඔබට පිටපත් දෙකයි. එක නළුවයි."

ඔව්. ඒක හරි. මම හැමදාමත් හෙව්වේ පිටපත් දෙකටම හරියන එක නළුවෙක්.

වෙනසක් නැහැ. 
තාමත් හොයන්නේ 
එහෙමයි.

වෙනස ~

කාලෙකට පස්සේ
මම 
ආයෙමත් 
"
හොයනවා".............. 



සත්තු වත්ත



බලාගෙන යද්දී 
අපි ඇවිත් තියෙන්නේ 
බෝඩිමකට නෙමෙයි 
සත්තු වත්තකටනේ........


එහෙන් මියෝ
මෙහෙන් උගුඩුවො
අරෙහෙන් පත්තෑයෝ

ඒ මදිවට 
හූනෝ... කැරපොත්තෝ... මකුළුවෝ....

එතකොට 
මෙතනට 
අඩු වෙලා 
ඉඳලා තියෙන්නනේ
අපි විතරද ........



පූසො.....



දැන් කාලේ ඉන්න 
පූසන්ගේත් තියෙන්නේ 
පුදුම ලොකු ලයින්...... 
දෙන දෙයක් කන්නත් බෑ
එන්නේ.... 
උන්ට ඕනි වෙලාවට
අම්මපා
මොකටද 
මෙහෙව් පූසො................. 
ඥාව් ගානවා නම් 
මම 
මැටියෙන් හදාගන්නවා බොල
පූසෙක්
උඹේ ආඩම්බරකම බලන් නැතුව........



ගැහැණිය රාමු කිරීම



ගැහැණිය කියන්නේ කවුද............? කිසිම කෙනෙක් ළඟ ඒකට නිර්වචනයක් නැතුව ඇති. තේරුම් ගන්න අමාරුයි කියනවා.... පිරිමියාට වඩා සංකීර්ණයි කියනවා..... ඇය විවිධ අවස්ථාවල දී විවිධ චරිත රඟනවා.... එක විට චරිත ගොඩක් රඟනවා..... සමාජය මාතෘ මුලික වුණත් පිතෘ මුලික වුණත් ඇගේ දායකත්වය ඕනිම සමාජයක දී අනිවාර්යයි. සමාජයේ තියෙන කුඩාම ඒකකය පවුල නම් එහි ඇගේ කාර්යභාරය මේ යැයි පෙන්වන්නට නොහැකි තරමට ම සෑම දෙයක් තුළම ඇගේ හෙවණැල්ල තියෙනවා.....

අහසටත් පොළොවටත් අම්මටත් නිවනක් නැහැ” කියලා කතාවට කියන්නේ ඒ නිසා වන්නට ඇති.

එහෙත් මේ යන රටාව තුළ තවදුරටත් අපිට ගැහැණිය මේ යයි කියා රාමු කළ හැකිද....?
සැමට අධ්‍යාපනයක් ලැබීමේ සම අයිතිය හිමි වූ විටම ඇය නිවසට සීමා වූ යුගය අහෝසි විණි නම්..... ආර්ථිකය උදෙසා ඇගේ දායකත්වය දිනෙන් දිනම ඉහළ යන බවක් පෙනෙන්නේ නම්........ පිරිමින් පමණක් උරුමකම් කියූ රැකියා අවස්ථා උදෙසා වසරින් වසර ඇයට දොරගුළු විවර වෙමින් ඇත්නම්..... තවදුරටත් ඇයට නිදහස අවශ්‍ය යැයි හඬක් නගන්නට ඇයම ඉදිරිපත් වී ඇත්නම්....... තවදුරටත් ඇය ව සම්ප්‍රදායික රාමුවකට ගත හැකි ද....... මෙතෙක් කාලයක් පුරාවට නිහඬ වී සිටි ආසියාතික ගැහැණියගේ භූමිකාව ටිකෙන් ටික බිඳ වැටෙන විට....... මේ අභියෝගය එල්ල වන්නේ ‘රැකවරණය’ නමින් ඇයව ලොවට මුවා කල ආසියාතික රාමුවට නොවේද...... බිඳ වැටෙන ඒ ආසියාතික රාමුව වෙනුවට, නැගී සිටින්නේ යුරෝපානු සමාජ ක්‍රමය නොවේ ද.......

ආර්ථික ඉලක්ක පසුපස හඹා යන සමාජයක වර්තමාන ගැහැණියත් මිනිසාත් වෙන වෙනම හුදකලා වෙමින් ඉන්නවා වගේම ඒ මානසික වෙහෙස දරාගන්නට දිනෙන් දිනම ඔවුන්ට අපහසු වෙමින් තියෙනවා. මානුෂිය සබඳතා වෙනුවට විද්‍යුත් උපකරණ වටිනාකමින් ඉහළ යමින් පවතිනවා. අජීවී වස්තූන්ට වඩා මිනිසුන් වටිනා බව වගේම අනෙක් මිනිසුන් සමග ගණුදෙනු කිරීම කලාවක් බවත් ටිකෙන් ටික ඔවුනට අමතක වෙමින් යනවා. ඒ කලාව පොත් පත්තර වගේම විවිධාකාර ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය වලින් ඉගෙන ගන්නට වෙහෙසුනත් එය උගන්නන්නට හැකි දෙයක් නොව පාඩම් ඉගෙන ගනිමින් දවසින් දවස ජීවිතෙන් උගත යුතු දෙයක් බව මේ සමාජ රටාව තුල මිනිසුන්ට අමතක වෙමින් තියෙනවා.

එවන් සමාජයක විවාහය ට හිමි තැන........?

අපි පිළිගත්තත් නැතත් ආසියාතික රටවල විවාහය මේ වෙද්දී තීරණාත්මක තැනකට ඇවිත් කාටත් නොදැනීම...... ආසියාතික සමාජයක වැඩෙමින් යුරෝපානු සංස්කෘතියකට සිතමින් යන මේ රටාව තුළ තාරුණ්‍යය වගේම විවාහය කියන සංකල්පයත් අතරමං වෙලා වගේ..... ආසියාතික රාමුව තුළ හිඳිමින් බටහිර නිදහස පතන ගැහැණියත් බටහිර නිදහස අගයමින් ආසියාතික රාමුවකට ගැහැණිය රාමු කරන්නට සිතන පිරිමියාත් අතරේ විවාහය ආදරේකින් තොර සම්මුතියක් පමණක් බවට පත් වෙමින් තියෙනවා වගේ....

කඩදාසියක අත්සන් කල නිසාවෙන්.... දරුවන්ගේ අනාගතය අඳුරු වනවාට බියෙන්..... සමාජ සම්මතය නිසාවෙන්....... දික්කසාද ගැහැණියකට උරුම වන සමාජ ආර්ථික ගැටළු නිසාවෙන්..... සහ තනිකඩව පවතින්නට නොහැක යයි සමාජය කරන බලපෑමෙන් මිදෙන්නට වගේම තමන්ට තනිව කර ගත නොහැකි දේ කරගැනීම උදෙසාත් වර්තමාන සමාජ රටාවේ දී කසාදය විසඳුමක්, විකල්පයක් වගේම නොපෙනෙන රැහැනක් වෙලා .

විවාහය දවසේ ගත්ත මගුල් ෆොටෝ එක විතරක් රාමු කරලා බිත්තියේ ගහන්න අවශ්‍ය වුණත් අවසානයේ දී සැබෑවටම රාමු වන්නට සිදු වන්නේ ඔවුනොවුන්ට......

ඒ තුළ හටගන්නා විවිධාකාර ගැටුම් මත ඉවසීමත් තේරුම් ගැනීමත් නොමැති නම් විවාහය නිත්‍යානුකුලව හෝ නිත්‍යානුකුල නොවන ලෙස නිමාව දැකීමත් ටිකෙන් ටික සුලබ සිදුවීමක් වෙමින් තියෙනවා. එසේ නම් කසාදය වෙනුවට දික්කසාදය කියන මාතෘකාවට අපි හුරුපුරුදු වීමේ ඛේදවාචකයක් පවතින බව තවදුරටත් රහසක් නොවේ.

අධ්‍යාපනය, ගෙවල් දොරවල්, යාන වාහන වගේම මනුස්සයාගේ පෙනුමට ත් මිලක් ඇවිත්. මුදල් මත සියල්ල තීරණය වන ලෝකයක ආදරයට ත් මිලක් නියම වෙලා. අනෙක් අතට, ‘මේ අපේ කතාව වුණාට මට මමත් නුඹට නුඹත් වන්නට තියෙන නිදහස එයින් ඇහිරෙන්නේ නැහැ’ කියන චින්තනයට පෙම් බඳින ගැහැණිය වුවත් තමන්ගේ පාට පාට හීන හැබෑ කරගන්න යන ජීවිතේදී බලන්නේ තමන්ගේ අවශ්‍යතා ලේසියෙන්ම සපුරලා දෙන්න පුළුවන් කෙනා එක්ක බැඳිලා තමන් හීන දැකපු නිදහස ලබන්න..... කැමැත්ත සහ අවශ්‍යතාවය මත දෝලනය වන විවාහයේදී බහුතරයක් දෙනා අවශ්‍යතාවට මූලිකත්වය දෙමින් අලුත් ජිවිත වලට අනුවර්තනය වෙනවා වගේම “ප්‍රයෝගිකව සිතීම” කියන වචනෙන් ඒක සාධාරණිකරණය කරන්නටත් හුරු වෙමින් ඉන්නවා.

ඉතිං........

ජීවිතය වෙන්දේසියේ දී වැඩිම මිලට අලෙවි වන්නටත් මිළදී ගන්නටත් සැරසෙමින් ඉන්නවා නම්,
මේ ගැහැණිය රාමු කිරීම පිළිබඳව නැවත වතාවක් සිතන්නට කාලයයි.



'සැනසීම'



දුවන්නට 
දුවන්නට 
ජීවිතෙන් 
ඈතට ම 

නොලැබේවි 
කිසිදිනෙක 
සැනසීම 
නුඹ සිතට...

නවතිනා 
දිනෙක 
නුඹ 
හති වැටී
ගමන් මග 

හමුවේවි 
සැනසීම 
නුඹ දෙපය 
පාමුල ම.................



'නිවන' සහ මම




සමාවෙන්න 
මගේ හිත
නුඹට 
හැමදාමත් 
සසර ම පමණි 
උරුමය......... 

ආයෙමත්
ආයෙමත් 
ආයෙමත් 
කසාවතට 
අවසර ඉල්ලුවත් 

මම දන්නවා

'නිවන' 

මට 
බොහෝ
දුර බව.............




අබිනික්මනට පෙර...



අම්මා 
මාව හැදුවේ 
විශාකාවගේ පරපුරේ 
විදියට බව 
මම දන්නවා.....

ඒ වුණත්
මම හැදුනේ 
යශෝධරා පරපුරේ 
විදියටනේ........

ඉතිං
ආයෙමත් වතාවක් 
ගොඩාක් ආදරෙන් 
අහන්නේ....

කසාවතකට 
මට 
තාමත් 
පිං මදි ද 
අම්මා....................