Friday, June 3, 2016
සනීප වෙන්න ! ඉක්මණින්ම !! හැමදාටම !!!
මගේ ජීවිතේට හම්බුණු විවිධාකාර පිරිමි චරිත අතරේ කිහිපයක් තියෙනවා ඉතාම සුවිශේෂී වුනු.... මගේ කැමැත්තවත් ආසාවවත් නැතුව මගේ සෙනෙහස අරගත්තු.... මට සහෝදර හැඟීමක් දැනුණු.....
ඒ අතරින් මේ ලියවෙන චරිතය විශේෂයි ! දැකපු මුල්ම දවසෙදීම මගේ අවධානෙ අරගත්තු... මගේ උවමනාවෙන් නොවුනත් ඔෆීෂියල් දේවල් නිසාම කතා කරන්න වුනු චරිතයක් නුඹ....
ඔව්. අපි හම්බුණේ මැලේසියා යන්න හිටිය ටීම් එක ඒ ටුවර් එකට කලින් හම්බ වුනු මුල්ම සහ අවසාන වතාවේදී. වීසා වලට ඕනි ලියකියවිලි එක්කලා ටීම් එකේ අයගේ සල්ලි එකතු කලේ මම නිසයි අපි මුලින්ම කතා කලේ. කොහොම වුනත් ටිකට්ස් ලෑස්ති කරපු ඒජන්සි එකේ හොඳකම නිසා ටීම් එකේ විසි පස් දෙනාට යන්න සිද්ධ වුනේ ෆ්ලයිට්ස් කීපයක. මම පළවෙනි එකේ. ඔයා දෙවෙනි එකේ. අපි උදේ දහයට ගියේ. ඔයාලා එද්දී රෑ දහයයි. මගේ රූමි දෙවෙනි ෆ්ලයිට් එකේ එන නිසා මම නොනිදා බලා හිටියේ. අන්තිමේ බලද්දී අපේ රූම් එකට ඉස්සරහා එකට තමයි ඔයාලා ආවේ. ආව ගමන් ඇවිල්ලා ගෙදරට කතා කරන්න වයිබර් යන්න ඕනි නිසා මගෙන් වයිෆයි පාස්වර්ඩ් එකත් ඉල්ලගෙන.. ෆේස්බුක් එකේ මට රික්වෙස්ට් එකකුත් එවෙලේම දාගෙනම තමයි ඔයා ඔයාගේ රූම් එකට ගියේ.
කොහොම නමුත් ඉන් පස්සේ දවස් දහයක් පුරා අපේ ඉස්සරහ ගෙදර වුනේ ඔයාලා. පළවෙනි දවසේ අපි කලින් නැගිට්ටා. එදා වටේම් රූම්ස් වල දොරවල් වලට ගහලා ඇහැරෙව්වේ මම. හැබැයි දෙවෙනි දවසේ ඉඳන් අපි නිදි. ඉතිං උදේම අපේ බ්ලොක් එකේ දොරවල් වලට ගහලා "Good Morning සිරි ලංකන් පීපල්" කියලා ඇහැරවන්න ගත්තේ ඔයා.
දවසින් දවස අපි හොඳ යාළුවො වුණා. ලෙක්චර්ස් වලදී අපි දෙන්නා හිටියේ එක්කෙනාට එක්කෙනා පේන මානේ නිසා බෝරින් ලෙක්චර්ස් අතරමැදදී අනිත් එකා නිදිද බලලා තිබ්බ නිදිමත යන්න හිනාවෙන්න අපි පුරුදු වෙලා හිටියා. හවසට ෂොපින් යද්දී ටීම් එකේ අය දෙන්නා තුන්දෙනා වෙන වෙනම යද්දී අපි එකතු වෙලා බඩු ගන්න ගියා. ගෙවල් වල අයට බඩු තේරුවා... කෑවා... බිව්වා..... කියෝ කියෝ හෙමින් හෙමින් ඇවිදගෙන හොස්ටල් එකට ආවා.... අපි දෙන්නා හොඳ යාළුවො වුනා. උදව් ඕනි හැම වෙලාවකම මගේ උදව්වට ඔයා හිටියා. එදත්.. අදත්...
මම එකක් දැනගත්තා. පළවෙනි දවසේ ඉඳන්ම.
You are a gentleman !
අනිත් අතට ටීම් එකේ අය නොදන්න දෙයක් මම දැනගෙන හිටියා. ඔයා ඉන්නේ හොඳ සෞඛ්‍ය තත්ත්වයක නෙමෙයි. ඒ වෙද්දීත් ඔපරේෂන් තුනක් කරලා හිටියේ. ජනවාරි මාසේ කරපු අන්තිම එක ගොඩක් සීරියස් එකක් වගේම ඒ නිසා ඔයා හිටියේ ගොඩක් පරිස්සම් වෙන්න ඕනි තත්ත්වයක. කැන්සර් එකක් සනීප වෙද්දී ඔයාගේ හාර්ට් එකේ ප්‍රශ්නයක් ඇවිත් තිබ්බේ. ඒ නිසා ඔයා හිටියේ මැෂින් එකක් එක්ක. දුවන්න.... නටන්න.... වගේ දේවල් කරන්න ඔයාට පුළුවන් වුනේ නැහැ. මේ දේවල් දැනගන්න දැනගන්න මට ඕනි වුනෙත් කාලෙකට පස්සේ මට හම්බුනු මේ විශේෂිත සහෝදරයව රැකගන්න. ඒ නිසාමයි පුළුවන් හැම මොහොතකම මම ඔයා ගැන හොයලා බැලුවේ.
අපේ ටුවර් එක ඉවර වෙලා අපි ලංකාවට ආවා. විසි පස් දෙනා ලංකාවේ හැම පැත්තටම විසිරිලා ගියා. ඒත් අපි සති දෙකකට වතාවක්වත් කෝල් කළා. ඒ සුපුරුදු කෝල් එකයි අදත් මම ගත්තේ. ඒත් අහන්න හම්බුනේ නරක ආරංචියක්.
මගේ ආදරණීය සහෝදරයා ආයෙමත් ලෙඩ වෙලා.
හාර්ට් එකේ උදව්වට දාපු මැෂින් එක නිසා ආයෙමත් වතාවක් කැන්සර් එක ඇවිල්ලා. මැෂින් එක වෙන තැනකට නොදැම්මොත් රේඩියෝ තෙරපි කරන්න වෙන්නේ නැති ලු. මේ හැමදේම කලත් අනාගතේ අවිනිශ්චිතයි.
"අඟහරුවාදා ඔපරේෂන් එක නංගි"..........
මම මොනවද කරන්නේ..... කරන්න ඕනි මොනාද කියලා මම දන්නේ නැහැ. අයියට හොඳටම අසනීපයි කියලා විතරයි මට දැනුණේ. ඒත් කරන්න පුළුවන් කිසිම උදව්වක් නැහැ.
මට පුළුවන් ලියන්න විතරයි.
ඉතින් මම ලියනවා.
ඒ වගේම හැම මොහොතකම පතනවා.....
මගේ ආදරණීය සහෝදරයට සනීප වෙන්න කියලා.....
සසර වසන තුරු කවමදාවත් මේ වගේ දුකක් නොවෙන්න කියලා.........
බුදු සරණයි !!!
________________________________
ප.ලි.
මේක කියෙව්වම එන මූලික ප්‍රශ්න ටිකටත් මේ ගමන්ම උත්තර දීලා ඉන්නම්කො.....
මේ අයියා බැඳලා. ඒක වැලි කෙලියේ පටන් තිබ්බ ආදර අන්දරයක්. හරිම හොඳ අක්කා කෙනෙක් අයියට ඉන්නේ. පොඩි ළමයි දෙන්නෙකුත් ඉන්නවා. අයියා රූපවාහිනී මධ්‍යයේ සක්‍රිය චරිතයක්. ඒත් නිරහංකාර, සමාජශීලි, හිත හොඳ මහත්මයෙක්. ඉතින් මේ කොල්ලා අසනීපෙන් ඉද්දි හිනාවෙලා ඉන්න අපිටත් අමාරුයි. ගොඩක් දුකයි. ඒත් කරන්න කිසිම දෙයක් නැහැ ප්‍රාර්ථනාවක් මිස.
අපි ගොඩක් ඉන්නවා මෙතන. පුළුවන් නම් හැමෝම එකතු වෙලා එයාට නිදුක් නිරෝගී ජිවිතයක් ප්‍රර්ථනා කරමු. මම විස්වාස කරනවා ඒ ප්‍රර්ථනා වලින් වෙනසක් වේවි කියලා... යහපතක් වේවි කියලා....................
අනාගතය අදයි !
ඔෆිස් එකේ වැඩ සියක් අස්සේ කොහේදෝ මන්දා රේඩියෝ එකක් හඬ තලනවා....
"රණ්ඩු කරගෙන යාලු වෙන්නට
හිටියේ මට ඔබ විතරමයි........
අනේ මන්දා.... හිත එහාට යනවා.... මෙහාට එනවා.... සමහර යාළුකම් අමතක කරන්න සෑහෙන්න අමාරුයි අප්පා...... සමහර බැඳීම් ඒ තරමටම හිත ළඟ රැඳිලා.... මොකද කියන්නේ සඳේ..... කොමාවක් ද තිතක් ද තියන්නේ මේ මතක රචනාවට.
ලියනවා නම් ලියන්න දේවල් ඇති තරම්. ඒත් බෑ හිතෙනවා. 2016 ට ඇවිල්ලා කරන්න තියෙන දේවල් එකින් එක කරලා දාන්න මොහොතකටවත් ආපස්සට හැරිලා බලන්නේ නැතුව කියලා යටි හිත දෙස් දෙවොල් දෙනවා. එක දෙක තුන හතර..... කියලා දහයට ම ගැනලා... ඔක්කොම අමතක කරලා කතාවට අලුත් පරිච්චේදයක් එකතු කරන්න කාලේ හරි වගේ....
ඔව්. අනාගතය අදයි !
තනිකම සහ මම !
මම පවුලේ එකම දරුවා. ඒ නිසාම වෙන්න ඇති පුංචි කාලේ ඉඳන් අද වෙනකල්ම නොවෙනස්ව මා ළඟ තිබුණු දේ වුනේ "තනිකම".... සෙල්ලම් කරන්න ගියත් තනියම... කන්න, බොන්න, පාඩම් කරන්න, යන්න, එන්න... ඔය ඕනිම දෙයක් තනියම.... ඒ තනිකම මැකුණේ අම්මයි තාත්තයි ළඟ ඉද්දි විතරයි....
හැබැයි මම තනිකමට හුරු වුණා. තනිකමට පෙම් බැන්දා... සතියක් මාසයක් අවුරුද්දක් තනියම හිටියත් මගේ හිතට පාළුවක් දැනිලා නැත්තේ ඒ නිසා වෙන්න ඇති.
කාලේ ගෙවුනා. ටිකෙන් ටික වයසින් වැඩි වෙද්දී මගේ මිතුරු වළල්ල පැතිරෙන්න ගත්තා..... යන යන හැමතැනම මට යාළුවො හිටියා. ඉස්කෝලේ... අමතර පන්තිවල.... සරසවියේ.... බෝඩින් වල.... හැමතැනම යාළුවො....
ඒත්, පුංචි කාලේ ලඟින් හිටිය තනිකම කවදාවත් මාව අත ඇරලා ගියේ නැහැ.
දහස් මුවකින් නැගෙන ඔල්වර
සිනා හඬ දසතින් ඇසේ
දහස් ගණනක් සෙනග අතරේ
මහා තනියක් මට දැනේ.
කියලා මහගම සේකර 'නොමියෙමි' පොතේ ලියලා තිබුණු දේ මම තේරුම් ගත්තේ මගේම අත්දැකීමෙන්. ඒ තනිකම මැකෙන්න කාලෙන් කාලෙට හිත ළඟ සක්මන් කරපු අය නොහිටියා නෙමෙයි. ඒත්, වෙනසක් තිබුණා. නිදා නොනිදා හිත පතුලේ තිබ්බ සේයාවක් හැම වෙලාවෙම මාව තනියම තිබ්බා. ඒ හෙවණැල්ලට පණ පෙවිලා මගේ ඇස් මානෙට අහුවෙන මොහොත දක්වාම..... ඒ නිසාම වෙන්න ඇති මගේ ජීවිතේට ආව හැමකෙනෙක් ඇතුලෙම මම ඒ සේයාව හෙව්වේ...
තනිකම දැනෙනා මොහොතේ
නුඹව මතක් වෙන්නා
තනියට ළඟ උන්නා නම්
හොඳයි කියා සිතෙනා
තනිමග යන්නට මා දුටු
සිහිනය බොඳ කරනා
තනි හිත දෙතැනක රන්දන
නුඹ කොතැනද සිතුණා..........
වරක් දෙකක් නෙමෙයි. සිය දහස් වාරයක් තනිකම දැනිලා ඇති. මට මාව මදි වෙලා ඇති. මම දන්නේ නැහැ. ඒ තනිකම මකන්නට එන්න ඉන්න නුඹ ඉන්නේ මගෙන් හුස්මක දුරද.... නැත්නම් සත් සමුදුරෙන් එහාද කියලා...
ඒ වෙනුවට මම දන්නේ එකම එක දෙයයි.
මගේ තනිකම මකන්නට..
කවදාක හෝ
"නුඹ"
එනකල්..
මේ හිත බලාගෙන ඉන්නවා....
කුණාටුව නිමාවිය !
අහම්බෙන් හමුවෙලා
නිතර දොඩමලු වෙලා
ජිවිතේ සිනහවෙන්
කල් ගෙවා කල් ගෙවා....
සංසුන්ව කල් බලා
අඳින සිතුවම කලා
මා නමින් ඇඳෙන්නට
සියක් පෙරුමන් පුරා......
ජීවිතය ඉල්ලලා
සුසුම්වැල් පටලලා
හඬ දෙමින් සිනහවෙන්
නුඹේ ලොව කළඹලා......
මගේ ලොව නුඹේ ලොව
වැනසෙතැයි සිත සිතා
නුඹෙන් දුර ඈත ගිය
ළබැඳි සිත මා තමා...........
ඇගේ ඇස අග.....
"එක අතකට රිලේෂන්ශිප් එකක් නැති එකත් හිතට නිදහසක්...."
මං එහෙම කිවුවේ මුහුදු හුළඟට.....
"ඇයි එහෙම කිවුවේ?"
අනිවාර්ය ප්‍රශ්නයක් කණ ළඟින් ඇහුණා.....
"නෑ ඉතින්.... එහෙම වුණා නම් ජිවිතේ මීට වඩා සෑහෙන්න සංකීර්ණ වෙන්න තිබ්බා කියලා හිතුණා....."
අපේ හිනාවෙ සද්දෙට වටේ පිටේ හිටිය අනිත් නිශාචරයොත් බැලුවද මන්දා....
---------------------------------------------------
"ඔයා හඳයගේ අලුත් ෆිල්ම් එක බැලුවද...."
දවාලේ මගේ ෆෝන් එකෙන් හදිස්සියේම ගිය මෙසේජ් එකට හැරෙන තැපෑලෙන් උත්තරේ ආවා.
"නෑ. අද බලමු ද?"..................
මට හිනා ගියා.
"OK. අද හවසට බලමු එහෙනම්. හැබැයි මට ට්‍රාන්ස්පෝර්ට් ඕනි ආපහු යන්න"..................
"No problem".......
---------------------------------------------------
ෆිල්ම් එක ඉවරයි. මුහුද පෙනී පෙනී යන්න පුළුවන් ද එහෙම.... වැස්සක් කඩා නොවැටුනා නම් අපිට තව සෑහෙන වෙලාවක් එතන ඉන්න තිබ්බා....
පිස්සෝ දෙන්නෙක් වගේ.... එක වෙලාවකට කාරෙක දෙවනත් වෙන්න මහා හයියෙන් සිංදු දාගෙන.... තව වෙලාවකට ෆිල්ම් එකේ සිද්ධි සමාලෝචනය කරගෙන..... අපි ආවා..... කාලෙකට පස්සේ....
මගේ මතකේ ආයෙමත් වතාවක් ආපස්සට ගියා......
Let her cry.......!
සුදු නෙළුම !
ඔව්.
මම ආසම සුදු නෙළුම් මලට......
ඒ පිරිසිදු බවට.... ඒ නිකැළැල් බවට..... ඒ ශාන්තිමත් බවට.... මම හැමදාමත් ආදරෙයි..... වෙන කිසිම මලකින් මට ඒ නිදහස්.... ඉවසිලිමත්, සංසුන්බව දකින්න බැහැ. මම සුදු නෙළුමේ දකින්නේ පිරිපුන් බවක්..... ඕනිම වෙලාවක පුදසුනකට යන්න සූදානමක්........
සුදු නෙළුම පිපෙන්නේ ඉර එළිය දිහා බලාගෙන.... පෙත්තෙන් පෙත්ත දිග ඇරෙන්නේ කලබලයක් නැතුව..... හොඳ ඉවසීමකින්..... මඩ ගොඩක පිපුණත් මඩ බිඳක් වත් නොගෑවෙන්න තරම් පරිස්සම්..... කාලේ ආවාම තමන් ගැන ලොකු විස්වාසෙකින්... තනියම පිපෙනවා........
මම දන්නේ නැහැ ඇයි කියලා... ඒත් මට සුදු නෙළුම මතක් වෙද්දී දැනෙන්නේ ලොකු සැනසීමක් හිතට... වෙන කිසිම මලකට ඒ වෙනස කරන්න බැහැ.
සුදු නෙළුම අහිංසක නැහැ. හැබැයි ඒ සංසුන් ආකර්ෂණය වෙන මලකට ගන්නත් බැහැ.
~~~ සැබෑ වුණු මගේ සිහින ~~~ 03
මේකේ මුල් කොටස් කියවන්න ඕනි නම් සටහන අවසානේ තියෙන ලින්ක්ස් වලින් යන්න පුළුවන් ඔන්න.
# මුහුදු වෙරළට වෙලා ඉන්න.
මට කවදාවත්ම එපා වෙන්නේ නැති තැන තමයි මුහුදු වෙරළ. කවුරු හරි ඇහුවොත් යන්න ආසා කොහෙද කියලා ඒත් මගේ උත්තරේ ඒක තමයි. කොහොමින් කොහොම හරි ගල්කිස්සේ බීච් එකේ රිසර්ච් එකක් කරන්න අපිට සෙට් වෙන්නේ මේ අතරේ... සති අන්තවල වගේම සතියේ දවස්වලත් උදේ හයේ ඉඳන් හවස හත වෙනකල් බීච් එකේ ඉන්න පුළුවන් වුනේ ඒක නිසා....
අනිත් අතට මමයි මගේ රූමියි එයාගේ අයියයි... අපි තුන් දෙනාම ආසයි ඇවිදින්න. ඉතිං රෑ හතට විතර බීච් ගිහින් වැල්ලට වෙලා ඉඳලා රටේ ලෝකේ තියෙන ඔක්කොම වල්පල් කියෝලා දහයට විතර ආපහු එන පුරුද්දකුත් අපිට නැතුවා නෙමෙයි. නිකමට හිතලා බලන්නකෝ වැල්ලේ නිදාගෙන රැල්ලේ සද්දේ අහගෙන අහසේ තරු දිහා බලන් කියෝන තුන් දෙනෙක්.... අන්න ඒ තමා අපි.......
# බඳින්න කලින් ටික කාලයක්වත් ගෙදරින් ඈතට ඇවිත් තනියම ජිවිතයක් ගත කරන්න.
කැම්පස් ඉවර වුනාමත් ගෙදර යන්න විදියක් තිබුනෙත් නැහැ. ඔනිකමක් තිබ්බෙත් නැහැ අපේ අයට. රස්සාවල් තිබ්බේ කොළඹ සහ ඒ අවට නිසා වෙන්න ඇති. මමයි මගේ ගමන් සගයයි දෙන්නත් ඇනෙක්ස් එකකට ආවේ නිදහසේ අපේ වැඩ ටික කරගෙන යන්න ඕනි නිසා. ඉතිං උදේ නැගිටලා රෑට නින්දට යනකල් ම අපේ වැඩ තනියම කරගන්න අපි හුරු වුනා. එදිනෙදා එන ඕනිම ප්‍රශ්නෙකට අපි උත්තර හොයාගත්තා. ගෙදර හිටියා නම් කවදාවත් නොකරාවි කියලා හිතෙන වැඩ තනියම ඉද්දි කරලා පුරුදු වුනා..... ජිවිතේ නිදහස්. ඒ වගේම වගකීම් සහිතයි. දැන් තමා ඒක තදින්ම හිතට දැනෙන්නේ....
පළවෙනි කොටස
දෙවෙනි කොටස
Subscribe to:
Posts (Atom)






