Tuesday, July 22, 2014

උරුමය



කුඩා කළ සිටම මට නැගිටින්න හිඳගන්න 
කෙලින් තීරණ ගන්න මට අවැසි ලෙස ඉන්න 
හැමවිටම උදවු දුන්නේ මගේ පිටකොන්ද 
මා උන්නේ නවන්නට නොවේ එය කිසිදිනක 

දිනෙන් දින ගෙවීලා තරුණ විය එළඹිලා 
උපාධිය ලැබීලා රැකියාව සොයාලා
කරකාර බැඳීලා දරු මල්ලෝ ලැබීලා
ලෝකයේ මට උරුම තැනට මා වැටීලා

බස් රියේ තිවංකව යන විටත් එන විටත් 
රැකියාව ගන්නටත් ඉන් ඉහළ යන්නටත් 
පොඩි ඒකා හෝඩියට දමන්නට ගිය විටත්
මට වුණේ නොපැකිලව පිට කොන්ද නවන්ටත්  

මහලු විය එළඹිලා මා හිඳී තනිවෙලා 
මතකයන් එකින් එක මගෙ හිතේ ඇඳීලා 
මගේ පිටකොන්ද දැන් ඇත්තේ වක ගැසීලා
කෙලින් කළ නොහැක එය නවලාම හුරුවෙලා.......................



No comments:

Post a Comment