Thursday, August 14, 2014

එකමත් එක කතාවක්......



ආදර කතාවක් ද ශෝකාන්තයක් ද එහෙමත් නැත්නම් වෙන මොකක් හරි නමක් මතක් වෙන්නේ නැති එකක්ද කියලා හිතාගන්න බැරි කතාවක් මේ...... මේ විසි එක්වෙනි සියවසේ මිතුදමක තුන් පැත්තක් කියලා හිතගත්තත් කමක් නෑ වගේ.......

ඔහු ඇයට ගොඩාක් ආදරේ කළා......  ඒක නොසිතූ විදියට අවසන් වුනා. ඒ වෙනුවෙන් කාලෙකට පෙර මුණු පොතේ ඔහු තැබූ සමරුව මේ.....

මිරිඟුවක හිත තියලා
නුඹ දුරක ඇදුනා
රංචු ගැහෙනා රෑනේ
තනිකමක් දැනුනා........

ඒත් ඇත්තටම බැලුවොත් ඇයත් ඔහුට ආදරේ කළා...... ඔහු හිතුවාටත් වඩා.... අවසානයක් නොදැන ගමනක් යන්න බෑ කියල තීරණය කරපු නිසයි ඒ ගමනට ඇගේ පැත්තෙන් තිත වැටුනේ..... ඒ නිසයි එදාම ඇගේ සටහන මේ විදියට තිබ්බේ.....

අරුත නොදකින සෙනෙහේ
ඔය නමත් රැඳුනා........

ඉන් පස්සේ රිදුනු හිතත් එක්ක තමන්ගේ ගමන ගිය ඔහුට මුණ ගැහුණේ තවත් අපූරු සහායිකාවක්..... තවත් වසර තුනකට පස්සේ ඒ මිතුදම අවසන් වුනාම ඇය ඒ කතාව කිව්වේ මෙහෙමයි.....

ඇසිල්ලක දුටු හීනෙන්
හිත හුඟක් රිදුනා......

මතක් වෙනවද මේ පද පේළි..... ඒවා ඔක්කොම අයිති එකම ගීතයකට බව.... එකිනෙකාට දැනුනු විදිය වෙනස් වුණත් මේ ඔක්කොම ඇතුලේ එකිනෙකා ගැන දැනුණු හැඟීම..... ආදරය... තනිකම.... අවිනිශ්චිත බව.... දුක.... අහිමි වීම.... වගේම තවත් නොකී කතා ඕනෑ තරම් ඇති......

“මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇදුනා
රංචු ගැහෙනා රෑනේ තනිකමක් දැනුනා
ඇසිල්ලක දුටු හීනෙන් හිත හුඟක් රිදුනා
අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රැඳුනා........”

අහම්බයක් නෙමෙයි මේ..... තුන්කොන් ආදර අන්දරෙකුත් නෙමෙයි.....  එකිනෙකා හරි හැටි හඳුනා නොගත් තුන් දෙනෙක් කියලා හිතුනත් එහෙම කියන්නත් බෑ.... ඒත් අන්තිමේදී බැලුවාම කාලෙන් කාලෙට හැමෝම ගයලා තියෙන්නේ එකම ගීතයක්......

කොහොම වුණත් කවදාවත් මේ ගීතය හරියට තේරුම් නොගත්තු මම මුණුපොතේ තැන් තුනක අපිළිවෙලට වැටුණු මේ තුනෙන් ජිවිත කාලෙටම අමතක නොවෙන විදියට ඒ ගීතය තේරුම් ගත්තා......





No comments:

Post a Comment