Tuesday, July 22, 2014

උරුමය



කුඩා කළ සිටම මට නැගිටින්න හිඳගන්න 
කෙලින් තීරණ ගන්න මට අවැසි ලෙස ඉන්න 
හැමවිටම උදවු දුන්නේ මගේ පිටකොන්ද 
මා උන්නේ නවන්නට නොවේ එය කිසිදිනක 

දිනෙන් දින ගෙවීලා තරුණ විය එළඹිලා 
උපාධිය ලැබීලා රැකියාව සොයාලා
කරකාර බැඳීලා දරු මල්ලෝ ලැබීලා
ලෝකයේ මට උරුම තැනට මා වැටීලා

බස් රියේ තිවංකව යන විටත් එන විටත් 
රැකියාව ගන්නටත් ඉන් ඉහළ යන්නටත් 
පොඩි ඒකා හෝඩියට දමන්නට ගිය විටත්
මට වුණේ නොපැකිලව පිට කොන්ද නවන්ටත්  

මහලු විය එළඹිලා මා හිඳී තනිවෙලා 
මතකයන් එකින් එක මගෙ හිතේ ඇඳීලා 
මගේ පිටකොන්ද දැන් ඇත්තේ වක ගැසීලා
කෙලින් කළ නොහැක එය නවලාම හුරුවෙලා.......................



Thursday, July 17, 2014

එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට...............



එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට
නෙලා නොගත්තේ මගේ බෝසත් කමට...
හැරගිය දිනේ නාවත් මා ගම් දොරට
ආවේ ඇයිද විරහේ සිත අද්දරට......

මගේ අතට නුඹ සර්ව සම්පුර්ණ මලක් වුණේ නෑ...... ඉතිං නුඹට සම්පුර්ණ වෙන්න ඉඩ දීලා මං පසෙකට වෙලා ආදරෙන් ඒ දිහා බලා හිටියා..... මට වැරදුණේ එතනයි කියලා වැටහෙද්දී මම ප්‍රමාදයි..... නෙලාගන්න පුළුවන්කම තිබුණු නුඹව නෙලා නොගත් බෝසත් කම නිසාවෙන් අද නුඹ මට අහිමි වෙලා ගිහිං..... ඒ හැරයාම දරාගන්න අපහසු වුණු නිසා සමුදෙන්න මං නුඹ ළඟට නොආවත් විරහා වේදනාව නම් සිත අද්දරටම ඇවිල්ලා.....   

විස්මිත ගම
 අදහන්නට බෑ තවම
මා හැරදමා නුඹ ගිය මග ගැන අරුම...
සතු කරගන්න මුල් පෙම නොපිදූ බැවින
දුක්බර හිතට කීවෙමි නොහඩන ලෙසින......

මම කවදාවත් හිතුවේ නෑ නුඹව අහිමි වේවි කියලා..... නුඹ හැමදාමත් මං අසළින්මයි හිටියේ..... ඒ නිසාමයි නුඹව සතු කරගන්න මං හදිස්සි වුණේ නැත්තේ..... හැමදාමත් ළඟ හිඳිවී කියලා සිතූ නුඹ ගිය පසු තමයි මට දැනුනේ කොහේ හෝ වරදක් සිදු වෙලා කියලා......  මගේ පෙම මුලින් නුඹට නොහැඟවූ වරද..., ඒ ප්‍රමාදය ගැන දැන් පසුතවිලා පලක් නෑ.... ඒ නිසයි මගේ දුකින් ඉන්න හිතට මං කියාගත්තේ නාඬා ඉන්න කියලා........

සිටිනා කොදෙව්වක නුඹ සැප විඳී නම්
මවෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්...
මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්
තව කුමකටද දුක් ගී කල්පනාවන්.......

නුඹ තවත් මට හිමි නෑ..... ඉතිං ලෝකේ කොහේ කොතැනක හිටියත් නුඹ සැපෙන් හිඳිවා කියලා පතනවා හැරුණාම මට වෙන කරන්න දෙයක් දැන් නෑ..... මං නුඹට ආදරේ කළ තරම දන්නේ මං විතරයි..... ඒ නිසයි මං පතන්නේ මං නුඹට දුන්නු ආදරය එලෙසින්ම ආයෙමත් ලැබෙන්න කියලා..... අපි අතරේ තිබුණු මතකයන්ගෙන් නුඹේ මේ නව දිවියට හිරිහැරයක් නොවේවා කියලා මං පතන්නේ ඒක එහෙම වේවිද කියලා මට සැක නිසයි..... නුඹ ශක්තිමත් මං හිතනවට වඩා..... නුඹ නව ජීවිතය සතුටින් හිඳිවී ඉතිං...... එහෙමනම් මං දුක් වෙන්නේ නෑ..... මං හිත හදාගන්නවා නුඹේ සතුට ගැන හිතලා.......

Tuesday, June 3, 2014

'සරා'...... තරුවක් නොවූ සඳ......


සරා... සරා..... 

මං ගැස්සිලා බැලුවේ ඈත ලෝකෙකින් වාගේ පවනිගේ කටහඬ ඇහුණු නිසා.... 
"අත පොත ළඟ.... පොත හිත ළඟ...... හිත.....?????? "

"හිත ද...... හිත ලෝකේ හැම අතම......" අපි දෙන්නම හිනා වුණේ හරියට university එකේ semester exam ඔක්කොම ඉවර වෙලා හිත බොහෝම සැනසිල්ලෙන් තියෙන කාලෙක වගේ....... 

"අනේ...... පොඩ්ඩක් හිමීට හිනාවෙන්නකෝ..... මම මෙහෙ පාඩම් කරනවා...." ලොක්කි කාමරේ ඉදන් සුපුරුදු බරබරේ දැම්මා.......  "කොහොමද බං හෙමිට හිනාවෙන්නේ..." පවනි හොරාට මගෙන් අහනවා..... "එයාගෙන් ම තමා ඕකත් අහගන්න වෙන්නේ.... පල පල...... පාඩම් කරන්න පොතත් අරං වර....." මං මගේ අතිජාත මිත්‍රයා ව පන්න ගත්තා...... 

මගේ මේසේ පුරාම photo copy notes වැහි වැහැලා..... අපරාදේ කියන්න බෑ.. ලොක්කිගේ නීති ටික කෙසේ වෙතත් notes ලිවිල්ල නිසා exam එකට note හොයන කාලේ මටයි පවනිටයි ඉතුරුයි.... "ලොක්කි" ඒක පවනි "දිනුෂා වීරසිංහ" ට දාපු pet name එක..... බෝඩිමේ ආච්චිට වඩා සිය ගුණයක් නීති අපිට දාන දිනුෂ ට ඇත්තටම ලොක්කි නොකිය අපි ආදරේට වෙන මොනවා කියන්නද..... 

"හෙටින් ඔක්කොම ඉවරයි...." පවනි පොත් ටිකත් අරං මගේ මේසෙට ආයෙම ආවා.... "අපෝ ඔව්. විභාගේ ඉවර වුණු සැනින් මම vanish.... මාස දෙකකින් ගෙදර ගියේ නෑ...." මගේ කට මටත් නොදැනී නෝක්කාඩු කියනවා..... "අයෙත් අහල..... මේකේ හිටිය කියල මක් කරන්නද..... මාස තුනක නිවාඩුවක් නේ..... අනිද්දා උදේම මාත් පියාඹනව ගෙදරට......" පවනි යි මායි දෙන්නම එකම බෝට්ටුවේ වගේ..... 

"කෑ නොගහ පාඩමක් බලාගන්නකෝ..... මගේ ඔළුව රිදෙනවා...." හපෝයි මේ ලොක්කිත් එක්ක කිසි දෙයක් කරන්න බැරි හැටි...... කාමරේට වෙලා සාලේ ඉන්න අපිට කෑගහනවා...... 

"කුප්පියක් දාපන් මචං හොඳ කෙල්ල වගේ..." පවනි ලොක්කිගේ කට නෑහුණු ගාණට මට බටර් ගානව.... "culture & heritage" semester එකක් පුරා ඉගෙන ගත්තු බෝතලේක කරුණු short & sweet කුප්පියක් විදියට පවනි මගෙන් ගත්තේ, අවසානෙට සසර වසනා තුරා කුප්පි දැමීමට හේතු වාසනා වේවා කියලා පිං අනුමෝදන් කරලා...... 



Thursday, February 20, 2014

සරසවි සැමරුම් 03

බෝඩින් ජීවිතය......


ආව මුල් දවස් වල බෝඩිමට වෙලා තනියම ඉන්න වෙලාවට තනිකම දැනෙනවා ඉවසන්න බැරි තරමටම... ඒත් මොනවා කරන්නද.... phone එක තමා හොඳම යාළුවා වුණේ ඒ වෙලාවට.... 3 දෙනාත් එක්ක දවසේ විස්තරේ කියවලා.. කෑම කාලා.. ඉවර වුණාම ගෙවල් වලට call කරනවා පැයක් විතර.... ඊටත් පස්සේ 3 දෙනා ඇඳන් 3 ට වෙලා දන්න දන්න හැමෝටම call කරනවා නිදිමත එනකං.....

අපේ බෝඩිමේ කෙල්ලෝ 12 ට අමතරව හිටියේ අන්ටියි නංගියි මල්ලියි එයාලගේ බල්ලයි විතරයි..... ඇන්ටිලා හිටියේ උඩ තට්ටුවේ.... මල්ලි පොඩියි..... ඒ වුණාට පුදුම දාංගලයක් තිබුණේ.... ඒ මදිවට බල්ලා..... ඌ නම් මහා එපා කරපු බල්ලෙක්..... gate එකෙන් පේන හැම බල්ලටම බුරනවා..... කණක් ඇහිලා ඉන්න නෑ..... ඒකටත් එක්ක හරියන්න බෝඩිමේ set එක.... නියමයි..... එහා room එකේ අක්කලා මෙහා room එකට එනවා සැපදුක් බලන්න සතියකට වතාවක්.....

අපේ room එකේ අක්කට රෙදි, බඩු අස් කරලා පුරුද්දක් නෑ.... නිදාගන්නකොට බඩු ටික මෙසේ උඩට.... වැඩ කරද්දී බඩු ටික ඇඳ උඩට.... බලා ඉන්න බැරුව පවු හිතිලා අපි අස් කරලා දුන්නාම පිං දෙනවා ආත්ම ගාණකට ඇතිවෙන්න.....  

අපේ බෝඩිම ලඟපාතම පන්සලක් තිබුණා.... හැම සෙනසුරාදට ඒකෙ බෝධි පූජාවක් තිබුණා.... ගෙදර යන්න බැරි වෙලා බෝඩිමේ හිටියොත් හවසට පැය ගානක් ගාථා කියනවා  loud speaker එකෙන් අපි අහගෙන ඉන්නවා.....

සමහර දාට අපේ බූරු බල්ලා දන්වැල කඩාගෙන එළියට පැනල දුවනවා.... ඉතිං අපේ ඇන්ටි යෝගට් තියලා gate එක ගාව ඌව රවට්ටලා ආයෙම ගෙන්න ගන්නවා.... නිකං ද අපි ඌට බූරු බල්ලා කියන්නේ.... මහා මෝඩයි ඒකා....

දවසක් අපේ කෙල්ලෝ ටිකක් බෝඩිමට ඇවිත්... උන්ට අමතක වෙලා gate එක වහලා එන්න.... ඇන්ටි අසූ හාරදාහට නැගලා බනිනවා ඒක දැකලා.... “බලන්නකෝ... gate එක අහස් කටට ඇරලා දාලා.... කුඩු කාරයෙක්වත් ආවා නම්.... මගේ වටින මල් පෝච්චි ටික... අරං ගියා නම් හෙම.... මොන දෙය්යන්ට කියන්නද....”  


අනේ දෙවියනේ..... ඇන්ටිට මතක් වුණේ මල් ටික මිස අපි නෙමෙයි....... 


සරසවි සැමරුම් 02

බෝඩිමක් සොයමින්.........


දවස ගෙවිල ගියා.... ඔක්කොම උත්සව ඉවරයි වගේ.... හැබැයි හැමෝගෙම හිතේ ලොකු බරක්..... මොකද hostel ලැබුණේ ඉල්ලපු අයගෙන් හරිම අඩු ගාණකට..... ඉතුරු හැමෝටම බෝඩින් සරණ තමා..... department ceremony එකේදී මගේ ලඟින් හිටපු සිංහල girl හදිස්සියේ වත් ඕනි වුනොත් කියලා මගේ phone number එකත් ඉල්ලගත්තා.....

තාත්තයි අම්මයි මායි බෝඩිමක් හොයන්න කියලා campus එකේ entrance එකට එද්දි මෙන්න මේ girl එයාගේ අම්මත් එක්ක අයෙමත් අපි ඉස්සරහ..... එයාලා ඒ වෙද්දී තැනක් හොයාගෙන.... අපිටත් එතනට යන්න පාර කියල එයාල ගියා..... ජීවිතේ පළවෙනි වතාවට බෝඩිමක් බලන්නේ..... අනේ මංදා..... හොදද නැද්ද කියන්න මං කලින් බෝඩින් දැකලා නෑ නේ....

ඒත් අප්පා කොහොම ඉන්නද මේ කූඩුවේ.... අනිත් අතට හැමතැනම මේ වෙද්දී ළමයි අරං ලු.... ඕනි එකක් කියල අපිත් advance එකක් දීල ආවා... ඔය අතරේ අපේ අම්මලා එක්ක උදේ හිටපු තව family එකකටත් අපි මේ බෝඩිම ගැන කියල එයාලත් ඇවිත් advance දුන්න.... කමක් නෑ... එක batch එකේ 3ක් ම දැන් මෙතන ඉන්නවනේ.... අපි හිත හදාගත්ත..... ඒ වුණාට කාටවත් හිත නෑ ඒ කුකුල් කොටුවෙ ඉන්න....

මේ හැමදේම වුණේ සිකුරාදා.... ඊළඟ සඳුදා උදේම අපි campus ආවා බඩු මුට්ටු පොදි බැඳගෙන සිව් වසරක සරසවි ජීවිතය අරඹන්න හිතාගෙන.....  

අපිව campus එකට දාල අපේ ගෙවල් වල අය අයෙමත් බෝඩින් සෙවීමේ මෙහෙයුම ඇරඹුවා.... අපේ වෙලාව හොඳයි වගේ.... campus එක පේන දුරින් තිබුණු නිසංසල බෝඩිමක 4 දෙනෙක් ගේ room එකක් අපි 3 දෙනාට හම්බුණා..... 4 වෙනියා ඒ වෙද්දි final year එකේ හිටපු අක්ක කෙනෙක්.... බෝඩිම හොඳයි වගේ..... කෙල්ලෝ 12 ක් ඉන්නවා.... පාළුවක් නෑ වගේ.... හැබැයි අම්මලා ට නම් අපිව දාල යන්න බෑ වගේ.... මොනා කරන්නද..... අද නැතත් කවදාහරි දාල යන්න වෙනවනේ..... උපදෙස් කෝටියක් විතර දීල හැමෝම යන්න ගියා......


Monday, February 17, 2014

සරසවි සැමරුම් 01

සිහිනය ඉටු වී......


මගේ ජීවිතේ පලවෙනි වතාවට මම සරසවියකට අඩිය තිබ්බේ මොරටුවට.... (එහෙමත් නැත්නම් හැමෝම ආදරෙන් මතක් කරන කටුබැද්දේ campus ඒකට) ඒ මගේ සරසවි ගමන පටන්ගැන්ම විදියට..... 2009 අවුරුද්දේ ජූලි 17 වෙනිදා..... කවදාවත් අමතක වෙන්නේ නැති දවසක්..... තාත්තගේ අතින් අල්ලගෙන අම්මත් එක්ක එදා මං ඒ බිමට පය තිබ්බේ සතුට වගේම බයකුත් හිතේ ඇතුව..... මොනවා වේවිද... කවුරු මුණගැහේවිද.... හැමදේම නුහුරුයි.... නුපුරුදුයි.... හැබැයි නුපුරුදු බවේ සුන්දරත්වය මං හිත පුරා විඳගත්තා.....

පියවර කිහිපයක් යන්න කලින් අයියලා අක්කලා ඇවිත් අපිව පිළිගත්තා.... අතේ තිබුණු ලියුම බලලා යන්න ඕනි තැනට අපිව යැව්වා.... අම්මයි තාත්තයි එක තැනකට..... මාව තවත් තැනකට..... තවත් ළමයි සිය ගාණක්..... කවුරුත් කතා නෑ... හැමෝම වටපිට බලනවා..... තමන්ගේ Z-Score එක අනිත් කෙනාට වඩා වැඩියි කියලා හිතාගෙන සමහරු ආඩම්බරෙන්..... අපි ආවේ කොළඹින් කියල තවත් අය හිතනවා වගේ.... සමහරු අහිංසක පාටයි.... තවත් අය දෙලොවක් අතර තනි වෙලා වගේ....

Hi..... What is your course? ළඟ හිටපු මුස්ලිම් girl අහනවා මට හීනෙන් වගේ ඇහුණා.... මං වටපිට බැලුවා... අනිත් අය තමන්ගේ ලෝක වල.... මගෙන් තමා අහන්න ඇත්තේ.... හොඳ නෑ නේ සද්ද නැතුව හිටියොත් කියලා මාත් උත්තර දුන්නා...... “Aha... Me too...” ඇති යාන්තං.... මගේ course එක තව අය කරනවා.... කෝ මේ Innogaration Ceremony එක දැන්ම පටන් ගන්නේ නැද්ද මන්දා...

Where are you from? How is your Z-Score? කෙල්ලගෙන් ප්‍රශ්න පත්තරයක් මට...  How about your one? බැරිම තැන මාත් ඇහුවා.... බලද්දි ඒක දෙකයි දශම ගාණක්.... මේ ළමයට මෙහෙම නම් island first ගේ Z එක කොහොමට ඇද්ද කියලා මං ඒ පාර කල්පනා කළා.....
දවල් වෙද්දී Ceremony එක ඉවර වුණා.... මේ වෙද්දී එක්කෙනා දෙන්නා අඳුරගන්නවා..... අම්මලා තාත්තලාත් එහෙමයි.... 

අර මුස්ලිම් girl.... එයා තමා ඒ වතාවේ island first ඇත්තටම..... seniours ලා කියද්දියි ඒක අපි දැනගත්තේ......



ඊළඟට....... 

Monday, October 14, 2013

කේක්....


මේක වුණේ මං පුංචි කාලේ.... අවුරුදු 4 ක් වත් නෑ මං හිතන්නේ... අපේ අම්මා teacher කෙනෙක්.... ඉතිං ඒ දවස් වල අම්ම වැඩ කරපු ඉස්කෝලේ හැම අවුරුද්දකම අවසානේ ළමයින්ගෙ පොඩි උත්සවයක් තියෙනවා.... එක ඉවර කරලා staff එකේ අය එයාලම arrange කරගත්ත lunch එකක් රසවිඳිනවා.... ඕකට හැමෝම තමන්ගේ ගෙවල් වලින් මොනා හරි අරගෙනත් එනවා..... අපේ ගෙදර මාව තියලා යන්න කෙනෙක් නැති වුණු හැම වතාවෙම අම්මා පුරුදු වෙලා හිටියේ මාවත් අරගෙන ඉස්කෝලේ යන්න... ඉතිං මට ඒ ඉස්කෝලෙයි ළමයිනුයි teachers ල යි හොඳටම හුරු නිසා ඔය උත්සවේ දවසට මම කොහොමත් යනවා ම තමයි....

මේ කියන දවසෙත් අම්මා ඉතිං ලස්සන ගවුමකුත් අන්දවාගෙන මාව අරන් ගියා... මාත් හොඳ ළමයා වගේ අම්මට වද නොදී හිටියා.... ඔය වෙද්දී මාව නිකං මල් වට්ටියක් වගේ අතින් අතට යනවා.... එක්කෝ ළමයි අතේ... නැත්නම් teachers ල අතේ.... උත්සවේ ඉවර වුණා... lunch 1 පටන් ගත්තා.... මං ඉතිං ඇණයක් නොවී බතුත් කෑවා.....

ඊටත් පස්සේ අවේ මගේ favorite round එක... ලස්සනම ලස්සන cake එකක් principal ගෙ ගෙදරින් එවලා තිබුණා.... මටත් ඉතිං කේක් කෑල්ලක් හම්බුණා.... ඒ උනාට මගේ හිතට මදි.... අම්මට කරුකුරු ගාලා තව ඕනි කිවුවට යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නෑ... ඒ වෙනුවට එයාගේ එක තමා හම්බ වුණේ.... මට එහෙමත් බෑ.... අන්තිමේදී මං තීරණේ කළා cake එක වෙනුවෙන් සටන් කරන්න.... අවාසනාවට ඒ වෙනකොටත් cake එක ඉවර වෙලා.... කොහොම උණත් මං ඒ වෙනුවෙන් සටන් කළා.... ඇඩුවා... ඇඩුවා... ඇඩුවා... බිම පෙරලි පෙරලි ඇඩුවා... දැන් ඉතිං staff එකේ අයට දුකයි මට ඒක දෙන්න බැරි වුණාට.... අපේ අම්මට නම් ලැජ්ජාවේ බැරුව යසට හිටපු මං cake එකක් වෙනුවෙන් මේ තරම් ඇඩුවට....

අම්මා මාව අරන් ගෙදර ආවා... නිකං නෙමෙයි... ලොකු cake එකකුත් අරගෙන.... ඇවිත් කිවුව දැන් ඉතිං ඇති වෙනකං මේක කනවා කියලා... කොහේ කන්නද.... මට ඒ වෙද්දී cake ආසාව ඉවරයි....


පහුවදා උදේ අම්මලාගේ principal අපේ ගෙදර ආවා එදා වගේම cake එකක් හදාගෙන....